Print this Article


ශ්‍රී දළදා පුරාණය - 11: ශ්‍රී දළදා මාලිගාව හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර

ශ්‍රී දළදා මාලිගාව හා බැඳි චාරිත්‍ර වාරිත්‍ර

"පොහොය දිනවල දී තේවාව භාර ස්වාමින් වහන්සේලා විශේෂයෙන් ම රැවුල් බා හිස් නානය කරමින් , එදිනට පමණක් විශේෂිත වූ සිවුරු කට්ටලයක්,පොරවා ගනී. තුන් සිවුර , අඳනය, තනිපොට සිවුර සහ දෙපොට සිවුර සඟලක් වැටෙන ආකාරයට සිවුරු කට්ටලය අලුත්ම සිවුරු කට්ටලයක් ලෙස පොරවාගෙන එම දිනයට වැඩම කරනු ලබයි. එම දිනයට විශේෂිත සිවුරු කට්ටලයක් ලෙසත් ,සෙසු දිනවල දී තුන් සිවුරෙන් යුක්තව පටි බැඳ ගනිමින් සියලු චාරිත්‍ර, වාරිත්‍ර සිදුකිරීම සඳහා වැඩම කරනු ලබයි. නානු මුර මංගල්‍යය සිදුකරනු ලබන බදාදා දිනයට පමණක් විශේෂිත බවක් උසුලයි. දළදා තේවාවට වැඩම කරනු ලබන භික්ෂූන් වහන්සේලාට විශේෂිත සැළකිල්ලකුත්, විශේෂිත ගෞරවයකුත් ,විශේෂිත වරප්‍රසාදයකුත් හිමි වෙයි. දළදා තේවාවේ නියුක්තව සිටින කාලය තුළ දී ඉතාම ළා බාල භික්ෂූන් වහන්සේ නමක් වුවත්, දාන ශාලාවෙහි කටයුතු සිදුවන අවස්ථාවෙහි දී වුව ද, වැඩිමහලු භික්ෂූන් වහන්සේලාට ඉදිරියෙන් වැඩ සිටී."

උන්වහන්සේලා පස්නමට වෙනම ආසන පනවනු ලබන අතර උන්වහන්සේලා එම ආසන පහ තුළ වැඩ සිටී. මහා නායක මා හිමිපාණන් වහන්සේ, අනුනායක මා හිමිපාණන් වහන්සේ ලා හැරුණු කොට වැඩිමහලු භික්ෂූන් වහන්සේලා වැඩම කරණු ලැබුවත්,එම ස්වාමීන් වහන්සේලා පස්නමට අනිවාර්යෙන්ම එම ආසන පහ වෙන්කර තිබීම දළදා තේවාවේ නියුතු ළාබාල භික්ෂුවකට වුව ද,ලැබෙන ගෞරවයක් වරප්‍රසාදයක් ලෙස සඳහන් කළ හැකියි. උන්වහන්සේලා දළදා තේවාෙවි නියුක්තව සිටින නිසා දියවඩන නිලමේතුමා ඇතුළු සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර වෙයි. මේ ආකාරයෙන් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ භික්ෂූන් වහන්සේලාට දළදා තේවාව සිදු කිරීමේ දී පවතින විවිධ චාරිත්‍ර, වාරිත්‍ර අනුගමනය කරමින් නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රමුඛ සියලුම භික්ෂූන් වහන්සේලා විසින් තේවා කටයුතුවල නිරතව වැඩ සිටිති.

ශ්‍රී දළදා මාලිගාවේ පුද පූජා පවත්වන තේවාව භාර නායක හාමුදුරුවන් වහන්සේලා විසින් එකී පුද පූජාවන් පවත්වනු ලබයි. ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරි නිලධරයන් සඳහා වෙන්වන ස්ථාන හා දළදා තේවාව ප්‍රධාන කරගත් සිරිත් විරිත් ,පුද පූජා, වන්දනාමාන සඳහා අත්‍යවශ්‍ය උපකරණ තැන්පත් කිරීම උදෙසා භාවිත කරන ස්ථාන කිහිපයක් පිළිබඳව සඳහන් කළ හැකි ය. එහිදී ප්‍රධාන වශයෙන්ම ගඳ කිළිය හෙවත් උඩ මාලය යනුවෙන් හඳුන්වන වැඩ සිටිනමාලිගාවත්,පල්ලේමාලය,ගෙපලුම්බරාද, කත්තිය බරාද, හඳුන්මණ්ඩපය,සලුමණ්ඩපය , කවිකාර මඩුව, හේවිසි මඩුව, මුළුතැන්ගෙය, චෛත්‍ය රාජයාණන් වහන්සේ ,උඩ මාලය ,පත්තිරිප්පුව සහ අලුත් මාලිගාව යන ස්ථාන හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි දෙව්රම් වෙහෙරෙහි වැඩසිටින ස්ථානය ගඳ කිළිය හෙවත් සුගන්ධ කුටිය නමින් හඳුන්වා ඇත. වර්තමානයෙහි ද ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින කරඬුව තැන්පත් කර ඇති කුටිය ද ගඳ කිළිය නමින් ව්‍යාවහාර වේ. ගන්ධකුටිය තුළ තේවාව කටයුතු සිදු කරන අවස්ථාවෙහිදි බැතිමතුන්ට වැඩි ෙවිලාවක් රැඳී සිටීමට අවස්ථාවක් නොලැබෙයි. අමුතු මුළුතැන් බුද්ධ පූජාව හා අතිරේක මුරුතැන් බුද්ධ පුජාවට පැමිණෙන පින්වතුන් සීමිත ප්‍රමාණයකටත් ,දළදා වහන්සේ්ට ළදරුවන් පුජා කිරීමට පැමිණෙන බැතිමතුන්ට හා විශේෂ අමුත්තන්ට පමණක් ගන්ධකුටියට ඇතුලුවීමට අවස්ථාව ලැබෙයි.

සෙසු බැතිමතුන් සියලු දෙනාටම පිරිත් මණ්ඩපය අසළ සිට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා ඇත. ගන්ධකුටිය තුළ තේවාව සිදුකරන අවස්ථාවෙහි දී තේවාව භාර නායක හාමුදුරුවන් වහන්සේලා පමණක් වැඩසිටිනු ලබයි. පල්ලේ මාලය යනුවෙන් හඳුන්වනු ලබන ස්ථානයෙහි හේවිසි මණ්ඩපය ඉදිරියෙන් දෙමහල් මාලිගාව ප්‍රදර්ශනය වෙයි. වැඩසිටින මාලිගාව, පාත මාලය හා උඩමාලය යනුවෙන් මහල් තුනකින් සමන්විත ෙවි. පාත මාලය ඉදිරිපිට සඳකඩපහණක් දැකිය හැකිය. එහි ඉදිරිපිට පාෂාණමය මකර තොරණක් ද මනහර කැටයමකින් බබළන රිදී දොරක් ද දැකිය හැකිය. එම ස්ථානයෙහි ඇතුළත මැණික් පිළිම වහන්සේ නමක් වැඩසිටීම විශේෂත්වයක් බවට පත් වී ඇත. ඒවගේම ගෙපලුම්බරාද වශයෙන් අප හඳුන්වනු ලබන ස්ථානය ප්‍රධාන ගදකිළිය පිහිටා තිබෙන ස්ථානයෙහි පිහිටා ඇත. එම ස්ථානයෙහි කවිකාර මඩුවේ භාණ්ඩ තැන්පත් කිරීම සිදුකරනු ලබයි. හඳුන්කුඩම හෙවත් හඳුන්මණ්ඩපය යනුවෙන් හඳුන්වනු ලබන ස්ථානය පාතමාලයේ සිට පියගැට පෙළින් උඩට පිවිසෙන විට උඩමාලයේ පිහිටා ඇත. එයට අමතරව එම ස්ථානයට පැමිණීම සඳහා ඉහළ මාලයේ සිට පිරිත් මණ්ඩපයට ඇතුළු වන දොරක් ද දැකිය හැකි ය. මුළුතැන් පුජාව, අතිරේක පුජාව පවත්වනු ලබන බැතිමතුන්ට රැඳී සිටීම සඳහා එම ස්ථානය වර්තමානයෙහිදී භාවිත කරනු ලබයි. එම ස්ථානයෙහි මහනුවර යුගයේදී විචිත්‍ර ආකාරයෙන් කරන ලද සිතුවම් දැකිය හැකිය.

සළුමණ්ඩපය නමින් හැඳින්වෙන ස්ථානයට කිසිවෙකුට ඇතුලුවීමට අවස්ථාව ලැබෙන්නේ නැත.එම ස්ථානය පැරැණි රජවරුන් මාලිගාවට පිවිසුණාට පසුව, ගෞරවාන්විතව දළදා හාමුදුරුවන් වහන්සේ ඉදිරියට යාමට පෙර තමන් ඇඳ පැළඳ සිටි පැමිණි සුවිශේෂිත සලුපිලි එම ස්ථානයෙහි තබා දළදා වහන්සේට වන්දනාමාන කිරීමට කටයුතු කර ඇත.

කවිකාර මඩුව යනුවෙන් හඳුන්වන ස්ථානය හඳුන්කුඩමට දකුණු පසින් පිහිටා ඇත. බදාදා දින පවත්වනු ලබන නානුමුර මංගල්‍ය, ඇසළ මාසයේ පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍ය ආදී අවස්ථාවන්වල දී මාලිගාෙවි නියමිත කවිකාර පුද්ගලයන් එම ස්ථානයෙහි රැඳී සිටිමින් දළදා වහන්සේ උදෙසා බැතිගී පවත්වනු ලබයි.

හේවිසි මණ්ඩපය නමින් හඳුන්වනු ලබන ස්ථානය ගඳකිලියට ඇතුළුවන පාත මාලය ළඟ දොරටුව ඉදිරිපස පිහිටා තිබේ. එම ස්ථානයෙහි ජනතාවට රැඳී සිටීමට අවස්ථාව ලැබුුණද, තේවාව සිදුකරන අවස්ථාවෙහිදි කිසිවෙකෙªටත් එම ස්ථානයට ඇතුළු වීමට අවස්ථාවක් නොලැබෙයි. එම ස්ථානයෙහි පංචතූර්ය වාදනය සිදුකරනු ලබයි. කුඩා චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් දළදා මාලිගාව ඇතුළත පිහිටා තිබේ. දළදා මාලිගාව තුළ තැන්පත් කර ඇති කුඩා චෛත්‍යය පාත්‍රා ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ස්ථානය ලෙසද සලකනු ලබයි.

නමුත් දළදා වහන්සේට පුජා කළ වටිනා භාණ්ඩ තැන්පත් කරන ලද චෛත්‍යය ලෙස වර්තමානයෙහි පිළිගනු ලබයි.ඒ ආසන්නයෙහිම කෙළවර දළදා වහන්සේ වැඩමවාගෙන පැමිණි හේමමාලා කුමරිය දන්ත කුමරු යන දෙදෙනාගේ චිත්‍ර මූර්තිමත් කර ඇත. මේ ස්ථානයෙහි සිට ඉහළට යන අවස්ථාවෙහිදී පියගැට පෙළ නගින විට උඩමාලයේ බිත්තිය නමින් හැඳින්වෙන උඩබ්ත්තියෙහි කොටස විශාල ලෙස සකස්්කර ඇති බැවින් බැතිමතුනට වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසෙන ස්ථානයක් ලෙසද සඳහන් කළ හැකිය.


ශ්‍රී දළදා පුරාණය - 10: දළදා තේවාව හා බැඳුණු මල්වතු අස්ගිරි මහා විහාරයන්හි චාරිත්‍ර වාරිත්‍ර