සුන්දර වූ කයේ අසුන්දරත්වය දැක සුන්දර මනසක් ලද
සුන්දරී නන්දා මහරහත් තෙරණින්
වහන්සේ
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
සුන්දර වූ රූපයක උරුමය ලැබෙන්නේ පෙර කරන ලද උසස් කුසලයකින් ම ය. ආකර්ශනීය වූ මන
බඳින්නාවූ බාහිර රූපයක් ඇති සුන්දරියකට එහි අසුන්දරත්වය දකින්නට ඇත්තේ ඉතා සීමිත
ඉඩකි. අවම උත්සාහයකි. එවන් රුවක් ලැබ සැබෑ යථාර්ථය පසක් කර ගනිමින්, ප්‍රඥාවෙන්
සුන්දර මනසක් උරුමකරගත් සුන්දරී නන්දා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳ සිත පහදවා මහසඟ
ගුණ සිහිපත් කරමු.
මිනිස් ආයුෂ සියක් දහසක් වූ කල පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි
නන්දාවෝ මහාසාර සිටුකුලයක උපත ලැබුවා ය. උන්වහන්සේගෙන් ශ්‍රේෂ්ඨ වූ සද්ධර්මය ඇසීමේ
භාග්‍ය ඕ තොමෝ ලැබුවා ය. සුපසන් සිත් ඇතිකොට ගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු
මහා සංඝරත්නය උදෙසා මහා දානයක් පූජාකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් මුල වැටී
ධ්‍යානලාභී භික්ෂුණීන්ගෙන් අග්‍රස්ථානය ලැබේවායි ප්‍රාර්ථනා කළා ය.
එම ප්‍රාර්ථනා සමෘර්ධ වන බැව් දැන ජීවිතාන්තය දක්වාම මෙත්සිතින් යුතුව බුදුරජාණන්
වහන්සේට සිව් පසයෙන් නිරතුරුව උපස්ථාන කළා ය. කරන ලද්දාවූ මහත් වූ කුසල බලයෙන්
මිනිස් සිරුර අතහැර තව්තිසා දෙව්ලොව උපත ලැබුවා ය. ඉක්බිති යාමය, තුසිතය,
නිම්මාණරති, වසවත්ති යන දෙව් ලෝ හී මහත් වූ සැප විඳ කල්ප ගණන් සසර සැරිසරා අප ගෞතම
බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ මේ උතුම් බුද්ධෝත්පාද සමයෙහි දී කපිලවස්තුවෙහි උපත
ලැබුවා ය.
ඕ තොමෝ ඉතාමත් රූපසෝභාවෙන් යුතු වූවා ය. ඒ නිසා ශාක්‍යය වංශය මහත් සතුටට පත් ව මනහර
වූ නන්දා, සුන්දරී නන්දා යන නාමයෙන් හඳුන්වන්නට විය. කපිල වස්තු පුරයෙහි යුවතීන්
අතර රූප ශ්‍රීයෙන් අගතැන්පත් වූ හෙයින් ජනපද කල්‍යාණි නමින් ද ප්‍රකට වූවා ය.
ශාක්‍යමුනීන්ද්‍රයන්වහන්සේගේ සදහම් සුවයෙන් සැනසුනු, පාරමී දම් සපුරාලු නන්ද කුමරු
හා රාහුල කුමරු පැවිදිව රහත් භූමියේ ලාභය ලැබූ සේක. උත්තරීතර දිරිය මාතාව වූ මහා
ප්‍රජාපතී දේවිය, යශෝධරා කුමරිය ප්‍රවෘජ්ජාභූමියට පත්ව සංසාර සාගරයෙන් එතෙර වූ සේක.
හුදකලා වූ සුන්දරී නන්දා කුමාරිය රාජමාළිගාවේ තනිවුව ද ඇයට පැවිද්දේ සුව විඳීමේ
මහත් වූ කැමැත්තක් නොවූවා ය. එකල්හි මහා ප්‍රජාපතී ගෝතමී මරහතන් තෙරණින් වහන්සේ
විසින් අවවාද කොට ඇයව නඟා සිටවූයේ මහත් වූ කරුණාවෙනි.
නන්ද විසින් අත්හරිනු ලැබුවා වූ ඔබ, ගිහිගෙහි තනිව ම කුමක් කරන්නෙහි ද? යෞවනය
ජරාවෙන් අවසන් වෙයි. රූපය අපවිත්‍ර වූවකි. ජීවිතය මරණයෙන් අවසන් කොට ඇත්තේ ය. එසේ
වූ මේ රූපය සුබය. කාන්තය, මනහරය, අබරණවලින් අලංකාර වී ශෝභාව එක්තැන් වූවක් වැනි ය.
ඇස්වලට රසඳුනකි. පිනින් පහළ වූ කාන්තිය දනවන්නකි. ඔක්කාක කුලයට මහත් සතුටකි. නොබෝ
කලකින් ම ජරාවෙන් මැඩෙයි. ගිහිගෙය අතහැර ගොස් ධර්මයෙහි හැසිරෙව.
යනුවෙන් අවවාද කරන්නට වූවා ය. වචනයට සවන් දී පැවිදි භූමියට පත් වූවා ය. තම
හිතෛශීන්ට පි‍්‍රය ව පැවිදි වුව ද සිතින් පැවිද්ද ස්පර්ශ නොකළා ය. රූපය නිසා උපන්
රූප මදයෙන් හෙබියා වූ ඕ තොමෝ බුදුන් රූපය හෙළාදකිති. ගරහති. නොයෙක් අයුරින් රූපයෙහි
ආදීනව පෙන්වති. යනුවෙන් සිතමින් බුදුරජාණන් වහන්සේ දැකුමට නොගියා ය. ඉක්බිති
මහාකාරුණික වූ බුදුරජාණන් වහන්සේ රූපයේ ආස්වාදය විඳින්නා වූ සුන්දරී නන්දාවගේ සිත
දැක කාමයෙහි කළකිරවනු පිණිස රූපනන්දාවට වඩා අධික රූප ශෝභා සම්පන්න වූ දර්ශනීය
ස්ත්‍රී රූපයක් මැවූ සේක.
එම රූපයෙහි ඇලුණාවූ සුන්දරී නන්දාවෝ එම සුරූපී කාන්තාව සමඟ මහත් සේ හිතවත් වූවා ය.
සුරූපිනිය සුන්දරී නන්දාවගේ ඇකයෙහි හිස තබාගෙ වැතිරුණා ය. එසේ සිටින විට ඇයගේ නළල
මත දියමකුළුවෙක් වැටුණේ ය. ඌ වැටෙන කල්හි නළලෙහි දියබුබුලු පැන නැංගේ ය. ඒවා පිපිරී
සැරව සිරුර පුරා පැතිර ගියේ ය. මුහුණ විරූපි විය. කුණුගඳහමාගිය අතර ඉදිමී
නිල්පැහැවී සිරුර පුරාම සැරව ගලන්නට විය. වෙව්ළමින් සිටි ඒ සුන්දරිය නිතර සුසුම්
හෙලමින් දරුණු වේදනාවෙන් වැළපෙන්නට වූවා ය. එසේ දුක්විඳින ඇයගේ දුක දැක සුන්දරී
නන්දාවෝ මහත් සේ දුක්වූවා ය. මුහුණේ සෝභාව මැකී ගියේ ය. සියල්ලක් ම කැඩී බිඳී
කුණුවී දුගඳවහනය වන්නට විය. තුවාල වී ඇති නිසා මස්මඩුවක් සේ පෙනිණ. අශුචිවලින්
පිරුණාක් වැනි ය. බාලයන් පි‍්‍රය කරන සිරුර පිළිකුල් දනවන සොහොන් පිටියක් වැනි
වෙතැයි සුන්දරී නන්දා තෙරණියට සිත් විය. තෙරණියගේ සිත කමටහනට යොමු විය. මහාකාරුණික
බුදුපියාණන් වහන්සේ ඇයගේ සිතිවිලි දැක ධර්මය දේශනා කොට වදාළ සේක.
නන්දා, රෝගී වූ, අපවිත්‍ර, වූ කුණු වූ මේ සිරුර දෙස බලන්න. සිත එකඟ කරගෙන අසුභ
නිමිති කෙරෙහි සිත මෙහෙයවන්න.
‘යථා ඉදං තථා ඒතංයථා ඒතං තථා ඉදං
දුග්ගන්ධං පූතිකං වාති බාලානං අභිනන්දිතං’
මෙය යම්සේ ද, මෙය එසේම ය., එය යම් සේ ද එය එසේ ම ය, දුගඳ පිළුණුබව හමයි, බාලයෝ
එහිලා ඇලෙති.
දිවා රූ දෙක්හි මෙසේ බලමින්, ඉක්බිතිව ස්වකීය ප්‍රඥාවෙන් එහි කළකිරී යථාර්ථය
දකින්න. සුන්දරී නන්දා තෙරණියෝ සම්බුද්ධ දේශනාව අනුව ඤාණය යොමුකොට සෝවාන් පළයෙහි
පිහිටියා ය. තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ ‘සිරුර මස්, ලේවලින් ආලේප
කරනු ලැබුවා වූ ඇටවලින් සාදන ලද නගරයකි. මෙහි ජරාව, මරණය, මානය, ගුණමකුබව ද බැසගෙන
ඇත.’
එම අවවාදයෙන් නැගී සිට මහත් වූ වීර්යෙන් සියල්ලෙහි කළකිරී භාවනාවෙහි යෙදී මහා කාම
ආශ්වාදයන්හි ආදීනවය, නිස්සරණය ප්‍රඥාවෙන් දුටුවා ය. අතීත කුසල සංස්කාරයන් හේතු වී
මහරහත් භූමියට පැමිණ ධ්‍යානානුයෝගීව විසුවා ය. පුරන ලද පාරමී ඇත්තා වූ සුන්දරී
නන්දා මහරහත් තෙරණින් වහන්සේ පැහැදුනු සිත් ඇති බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුදු
සසුනෙහි ධ්‍යානලාභීන් අතර අගතනතුරෙහි තබා වදාළ සේක.
මේ අයුරින් සුන්දර වූ මනබඳින්නා වූ රූපයක් ලබා එහි ආදීනව දැක නිස්සරණ සිතක් උරුම
කරගත් සුන්දරීනන්දා මහ රහත් තෙරණින් වහන්සේ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ඵල නෙළාගත් හ.
සංසාර සාගරයෙන් එතෙර ව ලබාගත් ශාසනික උරුමය සැබවින් ම සම්මා සම්බුදුපියාණන් වහන්සේ
පිදීම ම වනු ඒ කාන්ත ම ය. |