අභිජ්ඣා:
දැවෙන තැවෙන
දේ එපා
පස්යාල නාඹුළුව
සිරි මංගලාරාමාධිපති හා
මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙනේ
ආචාර්ය
ශාස්ත්‍රවේදී
පනාවල නාරද හිමි
බුදු දහමට අනුව මිනිසා සසර සැරි සරන්නේ තම සන්තානගත කෙලෙස් මුල්කොටගෙන ය. නැති නොකළ
කෙලෙස්, අවිද්‍යාවාදී හේතු නිසාත් සත්ත්වයා නැවත නැවත ඉපදෙමින්, මිය යමින් අනවරත
ගමනක යෙදී සිටී. එය කෙළවර වන්නේ සන්තානගත සියලු කෙලෙස් නැවත නූපදින ලෙස නැති කොට
නිවන් දැකීමෙනි.
ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ඥානයෙන් අවබෝධ කොට
ලෝකයාට දේශනා කළ සේක. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේත්, ඉන්පසුවත් ඒ මාර්ගය ඔස්සේ
නිවනින් නිවී සැනහී ගිය සත්ත්වයන්ගේ ප්‍රමාණය සුළු පටු නොවේ. ධර්මය පිළිබඳ දැනුමක්
නැති, අවිද්‍යා අන්ධකාරයේ ගිලී ගිය බොහෝ දෙනෙකු මේ කෙලෙස් පිළිබඳ නොදැන සිටීම
පුදුමයට කරුණක් නොවේ. බොහෝ දෙනෙකු සිය සන්තානයේ ඇති මේ වැරැදි, නො එසේ නම් කෙලෙස්
කෙලෙසකවත් නොදකිති. එයින් තමාටත්, අනුන්ටත් පොදුවේ සමාජයටත් සිදුවන අයහපත පිළිබඳ
අංශු මාත්‍රයක හෝ අවබෝධයක් නැති බොහෝ දෙනෙකු බෞද්ධයන් අතර පවා නැත්තේ නොවේ.
කෙලෙසුන්ගෙන් මිදීම කෙසේ වුවත්, මේවා නිසා තමා කෙලෙසීමට පත්වන බව අවබෝධ කොටගෙන
තිබීමත් එක්තරා විදියක යහපතකි.
වරද වරදක් බව අවබෝධ කර සිටීම ඉන් මිදීමේ පළමු පියවරයි. සියලු කෙලෙස් පිළිබඳ විග්‍රහ
කිරීම හෝ ඒ පිළිබඳ කරුණු දැක්වීම මෙබඳු ලිපියකින් කළ හැකි නොවේ. මෙහි ප්‍රධාන අරමුණ
වන්නේ ඒ කෙලෙස් අතර ප්‍රධාන ක්ලේශ ධර්මයක් වන අභිධ්‍යාව නිසා සමාජයට වන හානිය ගැන
සාකච්ඡා කිරීම ය. මිනිසා විසින් සිදු කරනු ලබන පව්, ‘වැරදි’ යන වචනයෙන් ද විග්‍රහ
කෙරේ. කයින්, වචනයෙන් මෙන් ම සිතින් ද වැරැදි සිදුවේ.
දස අකුසල කර්මයන්හි වැටෙන අභිජ්ඣාව එක් පැත්තකින් සිතින් කරන වැරැදි සංඛ්‍යාවට
ගැනේ. ‘අභිජ්ඣාව‘ යන්න ධර්ම ග්‍රන්ථවල විග්‍රහ කර ඇත්තේ අන්සතු වස්තුවක් දැක එය මට
තිබුණේ නම් හොඳයි යන අදහසින්, ඒ පිළිබඳව සිතමින්, එයටම නැමී ලෝභ වශයෙන් සිතීම
අභිධ්‍යාව නමින් අදහස් කරන බවයි.
තමා සතු දෙය ගැන වුවද දැඩි ලෙස ඇලීම ලෝභකමකි. පවකි. අන්සතු වස්තුවක් දැක එය තමන්
සතු කරගැනීමට සිතීම ඊටත් එහා ගිය ලෝබකමක් සේ ම බලවත් පාපකර්මයක් ද වන බැවින් එය දස
අකුසල කර්මයට ම වැටේ.
සොරකම හෙවත් අදත්තාදානය පිළිබඳ ඉගැන්වෙන බොහෝ කරුණු අභිජ්ඣාවටද අදාළ වන බව පෙනේ.
අන්සතු දෙයක් සොරකම් කිරීමට අදහස් කළ පමණින් අදත්තාදාන අකුසල කර්මය සම්පූර්ණ
නොවන්නා සේ අන්සතු වස්තූන් තමා සතු කර ගැනීමට අදහස් කළ පමණින් අභිජ්ඣාව ද සම්පූර්ණ
වේ. ලෝබ සහගත සිතින් අන්සතු දේ තමා සතු කරගත් විටම සම්පූර්ණ පාප කර්මය සිදුවන බව
ධර්ම ග්‍රන්ථවල සඳහන් වේ.
මෙම අභිජ්ඣා පාප කර්මය ද අල්ප සාවද්‍ය, මහා සාවද්‍ය යැයි කොටස් දෙකකට බෙදේ. එතරම්
වටිනාකමක් නැති, කිසියම් වස්තුවක් ලෝබ සහගත සිතින් තමා සතු කර ගැනීම අල්ප සාවද්‍ය
අභිජ්ඣා අකුසලයකි. වැඩි වටිනාකමක් ඇති යමක් අභිජ්ඣාවෙන් ගත් කළ එය මහා සාවද්‍ය ගණයට
වැටේ. එසේ ම ශිලා දී ගුණයෙන් හීන වූවකුගේ යමක් ගැනීම ද, අල්ප සාවද්‍ය අභිජ්ඣාවකි.
එසේ වුවද ශීලාදීගුණයෙන් උසස් අයෙකු සතු වටිනාකමක් නැති දෙයක් වුව ද අභිජ්ඣා සිතින්
ගැනිම මහා සාවද්‍ය වේ. පුද්ගල ගුණ මහත්වය එයට හේතු වේ. අන්සතු වස්තුවක් වීම, එය ලෝබ
සහගත සිතින් තමා සතු කර ගැනීම යනු අංග දෙක සම්පූර්ණ වූ විට අභිජ්ඣා නම් වූ අකුසල
කර්මය සිදුවන බව ධර්ම ග්‍රන්ථයන් හි සඳහන් වේ. බොහෝ විට අදත්තාදානය හෙවත් සොරකම ද
කාම මිථ්‍යාචාරය හෙවත් අන් ස්ත්‍රී, පුරුෂ සේවනය ද අභිජ්ඣාව මුල්කොටගෙන සිදුවන්නකි.
පුද්ගලයන් කීප දෙනකුගේ එකතුවක් සමාජයක් ලෙස අර්ථ දැක්වීම බොහෝවිට සිදු වුවද එය
නිවැරැදි නොවේ. පුද්ගලයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධකම් පැවතීම සමාජයකි, යන්න සමාජය
නම් කුමක්ද? යන ප්‍රශ්නයට දියයුතු පිළිතුරු ය. එබඳු සමාජයකට අභිජ්ඣා වැනි අකුසල
ධර්මයක් ඇතිකරන බලපෑම සුළුපටු නොවේ. සමාජගත මිනිසාගේ අදහස්, උදහස්, හැකියාවන්, රුචි
අරුචිකම් මෙන්ම අධ්‍යාපන මට්ටම ආදී විවිධ හේතු නිසා සමාජ තත්ත්වයන් තුළ අඩු වැඩි
කම් දක්නට ලැබේ. බුද්ධ දේශනාවට අනුව කුසල වැඩි කර්ම ශක්තියද, සමාජය තුළ විවිධ
වෙනස්කම්වලට බලපාන්නකි. පුද්ගලයාගේ විවිධත්වයට හේතුව කුමක්දැයි බුදුරජාණන්
වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේ වදාළේ සමාජය (පුද්ගලයා) උසස් පහත් තත්ත්වයට පත්
කරනු ලබන්නේ කර්මය විසින් බවයි.
ලද දෙයින් සතුටු විය හැකි නම් එය සතුටට හේතුවක් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට
වදාළහ. එසේ සතුටුවිය නොහැකි අයගේ සදාතනික උරුමය අසහනයයි. බුදුරජාණන් වහන්සේ වැනි
උතුම් ශාස්තෘවරයෙකු ගේ මග අනුගමනය කරන බෞද්ධයන් වන අපට සැනසිලිදායක ජීවිතයක් ගතකළ
නොහැකි කර්මය මිස අන් කවර හේතුවක් නිසාද?
අන්සතු වස්තූන් පිළිබඳව ආශාව හෙවත් අභිජ්ඣාව ගින්නක් වැනි ය. එය ඇවිළගත්විට
මුලින්ම, නිරන්තරයෙන් තමා දවයි. පසුව ඒ ගින්නෙන් මුළු මහත් සමාජය ද දවයි. මෙලොව
දැවෙන්නා සේ ම මරණින් මතු දුගතිවල ඉපදී අනන්ත අප්‍රමාණ කාලයක් දැවෙන්නට, තැවෙන්නට
අභිජ්ඣාව මඟ සලසයි. එබැවින් සෑම විටම තමන් ලද දෙයින් තෘප්තිමත්ව ජීවත් වෙමු. අන්සතු
දෙයට ආශා නොකරමු. එය ගිනි අඟුරු ගොඩක් සේ සලකමු. එබඳු සිතිවිලිවලින් යුතු අපගේ
ජීවිත සහනයෙන් සතුටින් පිරී යනු ඇත. ඒ සැනසිලිදායක මඟ සැහැල්ලු දිවි පෙවෙත ඔබගේ මතු
ජීවිතයට සුවදායක ය. |