අම්පාරේ හිඟුරාන
උත්තර ජයමහා විහාරස්ථානය
රමණී සුබසිංහ
උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතියට ද, සමාජයීය , ශාස්ත්‍රීය සංවර්ධනයේ ද
තෝතැන්නක් වූ හිඟුරාන උත්තර ජය මහා විහාරස්ථානය ඓතිහාසික පින්බිමකි. එහි ඉතිහාසය
සද්ධාතිස්ස රාජ සමය දක්වා ඈතට දිවයයි. දැනට විහාරස්ථානයේ ඇති සෙල්ලිපියක සඳහන් වන
ලෙස සද්ධාතිස්ස රජු දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකළ ආරම්භක සමයේ ම මෙම
විහාරස්ථානය ද ගොඩනඟා ඇති බව පැහැදිලි වේ. විහාරස්ථ ගල් කටාරමෙහි ඇති සෙල්ලිපියට
අනුව මෙම ස්ථානය පෙර උත්තර ලෙනක් ලෙස හැඳින්විණි. සද්ධාතිස්ස රජුගේ බිසවක් වූ
උත්තරා දේවිය ගේ නමින් එය උත්තර ලෙන නමින් වූ අතර ඇය පරිහරණය කළ ලෙන පසුකාලීනව මහා
සංඝරත්නයට පූජා කොට විහාරස්ථානයක් ලෙස ගොඩ නංවා ඇත.
සද්ධාතිස්ස රාජ සමයෙන් පසු විවිධ ආක්රමණිකයන්ගේ විනාශකාරි ක්‍රියා හමුවේ දිගාමඩුලු
පුරවරයේ ඓතිහාසික වැදගත්කමින් යුතු බොහෝ සිද්ධස්ථාන විනාශ වී ඇත. හිඟුරාන උත්තර
ජයමහා විහාරස්ථානය ද එ සමයේ වල් බිහි වී විනාශයට ගොස් ඇත. මෑත ඉතිහාසයේ මෙම පුණ්‍ය
භූමිය නැවත සංවර්ධනය කොට බොදු ජනතාවගේ වන්දනාමානයට යොමු කෙරෙන්නේ අම්පාර මඩකළපුව
දෙපළාතේ ප්‍රධාන සංඝ නායක හිමිපාණන්ව වැඩ විසූ වරකාපොළ සිරිරතන නා හිමියන් වහන්සේගේ
උත්සාහයේ ද, මඟ පෙන්වීමේ ද ප්‍රතිඵලයක් ලෙසට ය.
එවකට අක්කරපත්තුව ශ්‍රී විජයාරාම විහාරයේ අධිපති ධූරය හෙබවූයේ උන්වහන්සේ ය. උත්තර
ජයමහා විහාරයේ දියුණුව ද, එමඟින් සම්බුද්ධ ශාසනයට කළ හැකි උදාර සේවය පිළිබඳව ද
නිරන්තර අවධානය යොමු කළ උන්වහන්සේ මෙම පින් බිමෙහි සිරිධම්මරතන පිරිවෙන ආරම්භ
කිරීමට ද මූලිකත්වය ගෙන කටයුතු කළහ. එමඟින් ප්‍රදේශයේ සාමණේර භික්ෂූන් වහන්සේගේ
අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට අවස්ථාව උදාවුණි.
1987 වසරෙන් පසු ත්රස්තවාදීන්ගේ සැහැසිකම් හමු වේ වුව පිරිවෙනෙහි අධ්‍යාපන කටයුතු
නතර වූයේ නැත. වර්තමානය දක්වා ම එහි කටයුතු සාර්ථක ව කරගෙන යන්නට හැකි වී තිබීම අවට
ප්‍රදේශයන් හි සාමණේර හිමිවරු ලද භාග්‍යයක් ද වන්නේ ය. දුෂ්කර වෙහෙරබිම්වලින්
දුෂ්කරතා මධ්‍යයේ වුව වැඩම කරන සාමණේර භික්ෂූන් වහන්සේ 60 නමක් පමණ වර්තමානයේ එහි
අධ්‍යාපනය හදාරති.
ප්‍රදේශයේ බොදු දරුවන් ධර්ම ඥානයෙන්, විනයෙන් , ශික්ෂණයෙන්, පොහොසත් කරන්නට, යහමඟට
ගන්නට, කරුණා , දයා, මෛත්‍රී ගුණයෙන් හෙබි පරපුරක් ලෙස අනාගතයේ රටට දායාද කරන්නට
අමිල මෙහෙවරක් සිදුවෙන විහාරස්ථ ධර්ම විද්‍යාලයෙහි 300 ක් පමණ දරු දැරියෝ දහම්
අධ්‍යාපනය ලබති.
එදා මේ පින්බිම සෙවනේ දහම් අධ්‍යාපනය ලද සාමණේර භික්ෂූන් වහන්සේ අද දෙස් විදෙස් හි
ධර්මදූත මෙහෙවරෙහි නියැළෙමින් උතුම් ශාසනික සේවාවක නිරතවෙති.
හිඟුරානේ සිරිධම්ම හිමි |
උපසපන් භික්ෂූන් වහන්සේ නොමැති වීම නිසා හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථානය අවට
ප්‍රදේශයන්හි විහාරස්ථාන වැසීයාමේ අවධානම නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් එම
විහාරස්ථානයන් නැවත ගොඩ නංවන්නට, උපසපන් භික්ෂූන් වහන්සේ යොමු කරවීම සඳහාත්, කුල
දරුවන් සසුන්ගත කරවමින් සම්බුද්ධ ශාසනයට බුද්ධ පුත්‍රයන් වහන්සේ දායාද කිරීම සඳහාත්
වත්මන් විහාරාධිපති ශාස්ත්‍රපති හිඟුරානේ සිරිධම්ම හිමියන් ගන්නා උත්සාහය
අත්‍යුදාරය. තමන් වහන්සේගේ අති දුෂ්කරවූ ද, අවිවේකී වූ ද, පැවිදි ජීවිතයේ එවන්
ශාසනික මෙහෙවරයන්, වගකීමක්, යුතුකමක් ලෙස සලකනු විනා කෙතරම් ආරාධනා ලැබුණ ද මෙම
ප්‍රදේශය හැර වෙනත් විහාරස්ථානයකට වැඩම කරන්නට තමන් වහන්සේ කිසිවිටෙකත් කටයුතු
නොකරන බව උන්වහන්සේ පවසති.
කොපමණ දුෂ්කරතා මධ්‍යයේ වුව ද ප්‍රදේශයේ බොදු දනන්ගේ දහම් පවස සංසිඳුවන්නට, ඔවුන්
ධාර්මික දිවිපෙවෙතකට යොමු කරන්නට ඇවැසි ධර්ම ඥානය ලබා දෙන්නට වියත්, ධර්ම කථික,
ස්වාමීන් වහන්සේ මගින් මාසයකට වරක් විහාරස්ථානයේ ධර්ම දේශනයක් පැවැත්වීම පැසසුම්
කටයුතු ය.
තමන් වහන්සේ වෙත ලැබෙන පිරිකර, පරිත්‍යාග, පිණ්ඩපාත මඟින් ලැබෙන පිරිකර ආදි සියලු
දේ යොදවා අඩුපාඩු සහිත විහාරස්ථානවලට ඒවා ලබා දීම, ප්‍රදේශයේ තෝරාගත් පාසල් දරුවන්ට
පොත් පත් ඇතුළු අධ්‍යාපනික උපකරණ ලබා දීම, ගර්භනී මවුවරුන්ට නිරෝගී දරු සම්පත් බිහි
කරන්නට කායික ශක්තිය ලබා දීම සඳහා අවශ්‍ය ආහාර පාන පරිත්‍යාග කිරීම, මනස ශක්තිමත්
කර ගුණ සුවඳින් යුතු දරුවන් බිහි කිරීම සඳහා උපකාරි වන ‘ගැබිණි මවයි සිල් සුවඳයි’
වැනි වැඩසටහන් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීම ආදිය උන්වහන්සේගේ සමාජයීය මෙහෙවරෙහි අංශු
මාත්‍රයක් පමණි.
මිනිසුන් වෙනුවෙන් වූ මේ කරුණාවන්ත බව නිසා ම අති දුෂ්කරතා මධ්‍යයේ සිදුකරන විසල්
ආගමික,සාමාජීය , මෙහෙවර නිසා ම උන්වහන්සේ අගය කරමින් තව තවත් උනන්දු කරවීම සඳහා ද
බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකගේ ම අවධානය යොමු වීම උතුම් කරුණකි. නැගෙනහිර පළාතේ
දුෂ්කර විහාරස්ථාන නඟා සිටුවීමේ අරමුණින් යුතුව කොළඹ ප්‍රදේශයේ වැඩසිටින කුකුල්පනේ
සුදස්සි ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවකට අනුව කඨින පින්කම් සියයක් පැවැත්වීමට යොමු
වූ අවස්ථාවේ හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථානය ද තෝරා ගත්හ. මෙලෙස වසර කිහිපයක් පුරා
ම කොළඹ රත්මලාන ප්‍රදේශයේ පින්වත් දායක දායිකාවන්ගේ ශක්තියෙන් ,ධෛර්යයෙන්,
ප්‍රදේශයේ ජනතාවගේ ද දායකත්වයෙන් මෙම විහාරස්ථානයේ කඨින පින්කම් ඉතා සාර්ථක ලෙස ඉටු
කිරීම විහාරස්ථ දායක දායිකාවන් සේ ම ප්‍රදේශය ම ලද භාග්‍යයකි. කඨින පින්කමකට සහභාගි
වී කුසල් රැස් කරගන්නට අවස්ථාව හිමි කර දීම ද පුණ්‍යවන්ත ය.
මෙවර ද හිඟුරාන උත්තරජයමහා විහාරයීය කඨින පින්කම් මාලාවේ ප්‍රධාන දායකත්වය බාරගෙන
කටයුතු කරන්නේ ද ගල්කිස්ස ප්‍රදේශයේ දායක දායිකාවන් පිරිසකි. කුකුල්පනේ සුදස්සි
හිමියන්ගේ අනුශාසනා මත ලබන 7,8 යන දිනයන් හි එම පින්කම්මාලාව උත්කර්ෂවත් ලෙස
පැවැත්වීමට නියමිත ය. බොහෝ දුර බැහැර සිට දුෂ්කර ප්‍රදේශයක මෙවන් පුණ්‍ය කර්මයක්
සිදු කිරීම අපහසු වුව ද වස්සාන කාලය පුරාම විහාරස්ථානයේ කටයුතු මනාව සොයා බලමින් ,
මහා සංඝරත්නයට ඇප උපස්ථාන සිදු කරමින්, විහාරයේ අඩුපාඩු සකසමින් ඔවුන් මේ මහා
පින්කම වෙනුවෙන් දායකත්වය ලබා දීම අගය කළ යුතු බව ද එමඟින් මහා කුසල් රැස් කරගන්නා
බව ද සිරිධම්ම හිමියෝ පවසති.
මේ සියලු කටයුතු සඳහා ප්‍රදේශයේ බොදු දනන්ගේ සහයෝගය ද, සහභාගිත්වය ද උන්වහන්සේ අගය
කරති. |