Print this Article


ලොවට වැඩ සදන සිත

ලොවට වැඩ සදන සිත

" මිනිසෙකු ලෙස උපත ලැබුව ද තිරිසන් සතෙකු ලෙස උපත ලැබුව ද සසර දුකකි. සැප යැයි අප අල්ලා ගන්නා කිසිවක් සැප නොවේ. සියල්ල අනිත්‍ය ය. වෙනස්වන සුළු ය. මෙයට පිළියම සසර ගමන නවතාලීම පමණි."

ජීවන ගමනේ දී සියක් ආයු ලැබීමට පුහුදුන් මනුෂ්‍යයෝ ආශා කරති. ධර්මය නො දන්නේ නම් එවන් ජීවිතයෙන් කිසිවකුට එලක් නැත. දම් රස දැන එක් දිනක් ගත කළ ද අගනේ ය. දහම් රසය හඳුනන්නෝ දිනෙන් දින දියුණුවටම යති. ධර්මයෙන් දුරස්ව ජීවිතය සොයා යන්මෝ විනාශයට ම යොමුවෙති. වත්මන් සමාජයෙහි ධර්මයට ලොබ බදින්නන් දුලභ ය. ඇසින් රූපයටත්, කනෙන් ශබ්දයටත්, නාසයෙන් සුගන්ධයටත් සිත යොමු කරති. විටෙක රසමසව්ළු සොයමින් දිව දුකින් පසු වේ. සියුම්, සැපවත් ස්පර්ශයන් සොයන කය වෙහෙසටම පත්වේ.

පස්කම් සැපයේ ම ඇලී සිටින්නෝ ලෞකික මෙන් ම ලෝකෝත්තර වශයෙන් ද පරිහානියට යති. ධර්මයේ මනා වූ අර්ථය කිසිදිනක වටහා නො ගනිති. ඇතැම්හු අර්ථයෙන් නොව හුදෙක් තම තත්ත්වය දැක්වීමට පින්කම් කරති. ප්‍රදර්ශන විලාසයකින් ධර්මයේ හැසිරෙන බව පෙන්වති. අන්අය අතර තරග කරමින් මහා දාන මාන පවත්වති. සිල් සමාදන් වෙති. ප්‍රදර්ශන ශ්‍රද්ධාව ඉහළ ය. අවසන මෝහයෙන් මුලා වී සසර ගමන දිගු කර ගනිති. අනේක වූ දුක් දොම්නස් විඳිමින් සසරේ ගමන් කරති.

වර්තමානයේ ඇතැම් තැනෙක ධර්මය සම්බන්ධ කරුණුවල දී පුරුෂ පාර්ශවයේ මැදිහත්වීම ඉතා පහළ මට්ටමක පවතී. බුදුන් වහන්සේ වැඩසිටි අවදියේ දම් සභාවල පෙරටුව සිටියේ පුරුෂයින් ය. සංඝ ශාසනය ආරම්භ කළ පස්වග මහණුන්ගේ සිට බුදුසසුන රැකීමට උරදුන්නේ පුරුෂයින් ය. කාන්තාවන්ට ඊට අවස්ථාව ලැබුණේ මහා ප්‍රජාපති ගෝතමී දේවියට සසුනට ඇතුලු වීමට අවසර ලැබීමෙන් පසු ය. ඉන්පසුව ස්ත්‍රී පුරුෂ දෙපිරිස ම සංඝ ශාසනය රැකගැනීමට කැපවූහ. වත්මන් සමාජයේ සියල්ල වෙනසට ලක්වන ආකාරයක් පෙනෙන්නට තිබේ. දම් සභාවල වැඩි වශයෙන් සිටිනුයේ ස්ත්‍රීන් ය.

ඉන් බහුතරය ද වයස්ගත මව්වරුන් ය. ඇතැම් අවස්ථාවල දී තරුණ ප්‍රජාව ද ධර්මයට යොමුවනු දක්නට ලැබේ. ධර්මය දැකීමට, ඇසුරු කිරීමට නිශ්චිත වූ වයසක් හෝ වෙනත් සුදුසුකමක් ඇතැයි බුදුන්වහන්සේ කිසිදිනක දේශනා කර නැත. කිසිදු සීමාවක් පනවාද නැත. අවශ්‍ය වන්නේ ප්‍රමාද නො වීම පමණ ය. එනම් අප්‍රමාදීව ධර්මය සොයා යාම ය.

ධර්මයට මනාව සිත පුරුදු කළ යුතු ය. සෙසු ආගම්වල ආදර්ශයන් නිහතමානීව පිළිගත යුතු ය. එය විවිධ ආගමිකයන් අතර සංහිඳියාව ඇති කරයි. විවිධ ආගම්වල ආදර්ශයන්, ක්‍රමවේදයන් විවිධ ය.එහෙත් සියලු ආගම්වල අවසන් අරමුණ පොදු වූවකි. ඒ සියලු මිනිසුන් යහපත් මිනිසුන් කිරීම ය. සෙසු ආගම්වලින් යම් පෙළඹවීමක් තිබුණ ද බෞද්ධ ඉගැන්වීම් හි පෙළඹවීමක් නැත. අවශ්‍ය වන්නේ උනන්දුව පමණි. උනන්දුව, අවශ්‍යතාවය පිටතින් එන්නත් කළ හැකි දෙයක් නොවේ. තම සිතින් ම වර්ධනය කරගත යුත්තකි. ධර්මය අනුව යන සිත දෙ ලොවටම වැඩ පිණිස පවතී. සැමට සුවයම සදයි. ඉන්, ලැබූ මිනිස් භවයට අර්ථයක් එක් වේ. කුඩා අවධියේ සිටම සිත දහමට හුරුකරවිය යුතු ය. ධර්මය වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම අවශ්‍ය ය. එය මුලින් ම නිවසින් ආරම්භ කිරීම වටනේ ය.

තරගකාරී ජීවිතයෙන් මඳකට මිදී ධර්මය සොයායාම වඩා වැදගත් ය. හැකි පමණ පින්කම්හි නියැලීය යුතු ය.

සසර ගමන දුකක් බව අවබෝධ කරගත යුතු ය. මිනිසෙකු ලෙස උපත ලැබුව ද තිරිසන් සතෙකු ලෙස උපත ලැබුව ද සසර දුකකි. සැප යැයි අප අල්ලා ගන්නා කිසිවක් සැප නොවේ. සියල්ල අනිත්‍ය ය. වෙනස්වන සුළු ය. මෙයට පිළියම සසර ගමන නවතාලීම පමණි. එය එක් දිනකින් සිදුකළ හැකි දෙයක් නොවේ. එහි ඇරඹුම තමා විසින්ම කළ යුතු ය. පින් සිතිවිලි ඉපිදවිය යුතු ය. එවිට ගෙවන මේ නිමේෂය ද සැපවත් වනු ඇත. එය හෙට නොව අද සිටම ඇරඹිය යුතුව ඇත.