Print this Article


සිහි නුවණ දියුණුවට ඇප කැප වන්න

සිහි නුවණ දියුණුවට ඇප කැප වන්න

කායගතාසති භාවනාව දියුණු කිරීම මඟින් ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත හැකි වෙයි. තමාගේ දැනුම හොඳින් තේරුම් බේරුම් කරගන්නට සමත් වෙයි. මේ නිසා කායගතාසතිය සැවොම දියුණු කර ගත යුතු වෙසෙස් භාවනාවකි. සම්බුදුරදුන් සප්ත විශුද්ධි ධර්මයෙන් නිවන් මඟ පැහැදිලිව ම දේශනා කළ සේක. එනම්, ශීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය, දෘෂ්ටි විශුද්ධිය, කාංක්ෂා විතරණ විශුද්ධිය, මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය සහ ඥාන දර්ශන විශුද්ධිය යි.

ශීල විශුද්ධිය යනු ශීලය පිළිබඳ පිරිසුදු වීම යි. එනම්, පංච ශීලය , අට සිල්, දස සිල්, සාමණේර සිල් සහ උපසම්පදා ශීලය යි. තම තමන්ට අයිති ශීලය බොහොම හොඳින් ආරක්ෂා කර ගත්තේ නම් ඒ ශීලය තමන්ට හොඳින් දියුණු කළ හැකි වෙයි. එයින් ලබන විශුද්ධිය නොහොත් පිරිසුදු බව ශීල විශුද්ධිය නම් වෙයි.

චිත්ත විශුද්ධිය යනු සිත පිරිසුදු කර ගැනීම යි. ධර්ම ශ්‍රවණය , භාවනාව මඟින් සිත සමාධි ගත කළ යුතු යි. ප්‍රථම ධ්‍යානය, ද්වීතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ථ ධ්‍යානය ආදී ධ්‍යානයන් මඟින් සිත බොහෝ විට යහපත් මඟකට ගෙන එන්නට පුළුවන්. සිත අපිරිසුදු නම් ප්‍රපාතයට ම ඇද වැටෙයි. සිතේ පිරිසුදු බව යනු අලෝභ, අදෝශ, අමෝහ ආදී චේතනාවන් පහළ වීම යි. ප්‍රභාෂ්වර වූ සිතෙහි ලෝභ, ද්වේශ, මෝහ, මද, මාන්න, ඊර්ෂ්‍යා ආදී පාපී සිතිවිලි මතු වූයේ නම්, ඒ සිත විනාශයට පත් වෙයි. බිළිඳු දරුවාගේ සිත බොහොම ප්‍රභාෂ්වර යි. එහෙත් ටිකෙන් ටික වර්ධනය වන දරුවාගේ සිතෙහි මුලින් තිබූ ප්‍රභාෂ්වර බව අඩුවී යයි. ඒ ඊර්ෂ්‍යාව, තරහව , තණ්හාව, මෝහය, මාන්නය ආදී පාපී සිතිවිලි ගලා ආ නිසයි. අකුසල් සිත් අතීත සංසාරයට ගෙන ආවේ නැතත් මෙලොව දිවිමඟට එකතු කර ගත්තා. මේ ගැන සිතා චිත්ත විශුද්ධිය තේරුම් බේරුම් කරගත යුතු යි.

දෘෂ්ටි විශුද්ධිය යනු මිසදිටුකම දුරු කර සම්මා දිට්ඨිය පිහිටා කටයුතු කිරීම යි. එවිට තමන්ගේ සිතේ දියුණුව , තමන්ගේ සිතේ යහපත සකස් කර ගන්නට පුළුවන්කම තිබෙයි. එහි දී මෙලොව, පරලොව, සංසාරය පිළිබඳ ව, විවිධාකාර ඇදහිලි විශ්වාසයන් ගැන, ඇතිවන්නා වූ වැරැදි අවබෝධය දුරු කරගත යුතුයි.

කාංක්ෂා විතරණ විශුද්ධිය යනු සාංකාවෝ දුරු කරගෙන සිත පිරිසුදු කර ගැනීම යි. නිවන් මාර්ගය පිළිබඳ ව, මෙලොව පිළිබඳ ව මාර්ග ඵල සහ නිවන පිළිබඳ ව තම තමාගේ සිතේ තිබෙන සැක සාංකා දුරු කර ගැනීම යි.

මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය යනු යා යුතු මඟ , නොයා යුතු මඟ හොඳින් තේරුම් බේරුම් කරගෙන නොමඟ යාමෙන් වැළකීම යි. සුමඟ ගමන් කරමින් මැදුම් පිළිවෙත නිවැරැදි ව අනුගමනය කළ යුතු යි. ශීල, සමාධි, ප්‍රඥා දියුණු තියුණු කරගනු ලැබුවොත් මෙලොව පරලොව යහපත සලසාගෙන ඉදිරියට පිවිසීමට හැකියාව ලැබෙයි.

ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය යනු නිවනට යා යුතු ප්‍රතිපදාව හොඳින් වටහා ගැනීම යි. එය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත , සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙන් අංග අටකින් සමන්විත යි. අංග අටකින් යුතු ප්‍රතිපදාවෙහි ගමන් කර මාර්ග ඵල අවස්ථාවන්ට සමීපව විදර්ශනා නුවණ දියුණුවෙන් ඉදිරියට යන්නට පුළුවන්.

ඥාන දර්ශන විශුද්ධිය යනු නිර්වාණ අවස්ථාව යි. සෝවාන් , සකෘදාගාමී , අනාගාමී, අර්හත් මාර්ග ඵල අවස්ථාවන්ට පත්වීම, නිවනට පත්වීම ඥාන දර්ශන විශුද්ධිය යි. මෙලෙස නිසි මඟ යන්නට කායගතා සති භාවනාව බොහො ම උපයෝගී වෙයි.

කායගතා සති භාවනාවෙන් තම දිවි මඟට යහපත සලසා ගන්නට පුළුවන්කම තිබෙ යි. ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නට පුළුවන්කම තිබෙ යි. මේ සිරුර රන් , රිදී , මුතු, මැණික් වලින් සැකසී නැහැ. එය කෙස්, ලොම් , නිය, දත්, සම්, මස් ආදී පිළිකුල් සහගත කොටස් තිස්දෙකකින් සැකසී තිබෙයි. මියගිය සත්ත්වයාගේ දෙතුන් දිනක් ගත වූ මෘත ශරීරයෙන් හමා යන්නේ මහා දුර්ගන්ධයක්. අපට ඇත්තේ මෙවැනි පිළිකුල් සහගත සිරුරක්. මේ ගැන වටහාගෙන පිළිකුල හොඳින් මෙනෙහි කරන්න. එවිට තම තමන්ට විශාල ශක්තියක් ගොඩ නංවා ගන්නට හැකි වෙයි. ඒ ශක්තිය අපට විශේෂිත ව අවශ්‍යය යි.

දැන් අපි කායගතාසති භාවනාවේ තවත් කොටසක් මෙනෙහි කරමු. පිත්තං(පිත), සෙම්හං(සෙම), පුබ්බෝ(සැරව), ලෝහිතං(ලේ), සේදෝ (දහදිය), මේදෝ(මේද තෙල– සිරුරෙහි විවිධ තැන්වල මිදුණු තෙල) යනුවෙන් මේදයෙන් අවසන් කර ඇති කරුණු හය මේද චක්කය යි.

මේද චක්කය දෙස බැලීමේ දී තමන්ට පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල නමැති කුණුප කොටස් ගැන හොඳින් වැටහිය යුතු යි. මේ කුණුප කොටස් පෙර සේ ම මෙනෙහි කරන්න. මේ ශරීරයේ පිත වර්ණයෙන් පිළිකුල් ය, සටහනින් පිළිකුල් ය, ගන්ධයෙන් පිළිකුල් ය, ආශ්‍රිත කුණුපයන්ගෙන් පිළිකුල් ය , පිහිටි තැන් වශයෙන් පිළිකුල් ය . මෙලෙස මේද චක්කයේ අනෙක් කොටස් ද මෙනෙහි කරන්න.

මෙය නුවණැත්තන්ට පහසුවෙන් පැහැදිලි කර ගත හැකි වෙයි. මේ මඟින් භාවනාව තවත් ගැඹුරට මෙනෙහි කළ හැකි යි. නමුත් ගැඹුරට භාවනාව මෙනෙහි කළ නොහැකි ඇත්තෝ මේ කයෙහි පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල පිළිකුල් බව මෙනෙහි කළත් ප්‍රමාණවත් වෙයි. එහෙත්, භාවනාව ගැඹුරට මෙනෙහි කරන පින්වතුන් මේ කයෙහි පිත සත්ත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ, නිසත්ත්ව වූ, නිජීවි වූ, ශූණ්‍ය වූ , අචේතනික වූ, අව්‍යාකෘත වූ, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු මාත්‍රයකි. එම නිසා මේ කයෙහි පිත අනිත්‍යය යි, දුක යි, අනාත්ම යි, යනුවෙන් ඉතිරි කුණුප කොටස් ගැන ද මෙනෙහි කරන්න.

කායගතාසති භාවනාව අනුන් ගැන නෙවෙ යි. තමන් ගැනම යි. මේ සියල්ල තම ශරීරයේ පිහිටි කුණුප කොටස් වෙයි. මේ පිළිකුල් සහගත දසුන කෙනෙකුට දකින්නත් අපහසු යි. ඒ ගැන සිතා කවුරුත් තමන්ගේ චිත්ත සන්ථානය මෙන් ම නුවණ දියුණු කර ගැනීමට ඇප කැප විය යුතු යි. එවිට සිතට ලැබෙන ශක්තිය, බලය අපමණ යි. භාවනාව යනු සිතේ වැඩීම යි. සිතේ වැඩීමෙන් බෝධි පාක්ෂික ධර්ම තිස්හත ම එක චිත්ත වීතියක් පාසා ම පහළවී යයි. එසේනම්, බෝධි පාක්ෂික ධර්ම තිස්හත ම සෑම සිතක් පාසා ම පහළ වුණොත් කෙතරම් ශාන්තියක් ලැබෙයි ද? එය කෙතරම් පිනක් ද? එසේනම්, දානමය පින්කමකින් පමණක් සෑහීමකට පත් නොවී හැකිතාක් තමන්ගේ දිවි මඟට භාවනාව සමීප කරගත යුතු යි. මේ භාවනාව මදක් ගැඹුරු යැ’යි සිතෙනවා නම් පමණක් පෙර ලිපි මඟින් සඳහන් කළා සේ ම කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ කරුණු පහ පමණක් ජීවිත කාලය පුරා ම මෙනෙහි කරන්න. මේ මඟින් රහත් මඟ ඵල ලැබූ උතුමන් අපමණ බව සිතා සතුටට පත් වන්න. බණ , භාවනා ක්‍රම හොඳින් දියුණු තියුණුවෙන් මෙලොව, පරලොව යහපත සලසාගෙන, සුගතියක වාසයෙන් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් ශාන්ති ලක්ෂණ නිවන් සම්පත් පිණිස ම හේතු වාසනා වේවා!