සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත්
දම් දෙසුම ලිපි මාලාව අංක - 02: මලින් මලට අමුණන මල්දම වාගේ ගත සිත සනසයි බණ පද ගානේ
ත්‍රිපිටකාචාර්ය,
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි
පින්වතුනි, ධර්ම ශ්‍රවණය කිරීම නිවන් දොරටුවක්. මේ ධර්මය අප ශ්‍රවණය කළ යුත්තේ කෙසේ
ද?
‘සද්ධා ජාතෝ උපසංකමති’
පින්වතුන් තුළ ඇතිවුණා, මුලින් ම පහළ වුණා ‘ශ්‍රද්ධාව‘ තුණුරුවන් කෙරෙහි පැහැදීම,
ගෞරවය, විශ්වාසය, මේ ශ්‍රද්ධාව උපන්න නිසා තමයි “උපසංකමති’ මේ ධර්මය ශ්‍රවණය කරන්නට
එළඹුණේ.
‘උපසංඛමන්තෝ පයුරුපාසති’
මෙතැනට පැමිණි නිසා ස්වාමීන් වහන්සේලා ඇතුළු කොට ඇති මේ සත්පුරුෂයන් ඇසුරු කරන්නට
ලැබුණා.
‘පයුරුපාසන්තෝ සෝතං ඕදහති’
එසේ ඇසුරු කරමින් තමන්ගේ දෙසවණ දැන් සිහි නුවණින් යොමු කරයි.
‘ඔහිතසෝතෝ ධම්මං සුණාති’
අන්න සිහි නුවණින් ධර්මය ශ්‍රවණය කරන්නට ලැබුණා. ඒ වාගේ ම ශ්‍රවණය කරගත්ත ධර්මය
දරාගන්න පුළුවන්කම ලැබෙනවා. දරාගත්ත ධර්මය අනුගමනය කරමින් නිවන් මඟ පාරමි පුරාගන්න
පුළුවන්කම ලැබෙනවා. මෙසේ නිවන් මඟ පාරමී පුරාගැනීමට පුළුවන් ආකාරයට නැතිනම් නිවනට
පිවිසීම පිණිස අප කෙසේ ධර්ම ශ්‍රවණය කළ යුතු ද?
‘අට්ඨිකත්වා, මනසිකත්වා සබිබං චේතසෝ
සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුණාති’වශයෙන් බොහෝ සූත්‍ර දේශනාවල දකින්න ලැබෙන
මාතෘකා පාඨයක් මෙය බෙදාගන්න පුළුවන් අපට වචන වශයෙන්.
අට්ඨිකත්වා ධම්මං සුණාති’
මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් සිතන්න ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදු බණ පදයක්
අපට අසන්ට ලැබෙන්නෙ කලාතුරකින් කල්ප ගණන්, කල්ප කෝටි ගණන්, කල්ප කෝටි සතසහශ්‍ර ගණන්
‘බුද්ධෝ’ කියන වචනය වත් ඇහෙන්නෙ නැහැ පින්වතුනි. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය
කෙරෙහි අසීමිත ගෞරවයක් පෙරටු කරගෙන කුසල් සිතින් ධර්මය ශ්‍රවණය කිරීමයි.
‘අට්ඨිකත්වා ධම්මං සුණාති’ කියලා කියන්නේ. පින්වතුන් අහලත් ඇති අපේ ශාසන කාලයේ,
විශේෂයෙන් මේ ලංකාද්වීපයේ මහ පුදුමාකාර උත්තමයො ජීවිත පරිත්‍යාගයෙන් බණ අහල
තියෙනවා. බොහොම සුප්‍රසිද්ධ කතාවක් තමයි ඈත අතීතයේ සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ කාලයේ
රජ සමයේ සිටි කාලබුද්ධරක්ඛිත මහා රහතන් වහන්සේ කළුදිය පොකුණ ළඟ කළු තිඹිරි ගහක් යට,
කළුවර පොහොය දවසක තුන්යම රාත්‍රිය පුරාවට ම කාල කාරාම සූත්‍රයෙන් ධර්මය දේශනා කළා.
උන්වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරනවාත් සමඟම සද්ධාතිස්ස රජ්ජුරුවොත් පැමිණියා බණ
අසන්නට. එතුමා හිටගෙනයි පිරිස කෙළවර හිටියේ. එළිවෙනකම්ම හිටගෙන ධර්මය ශ්‍රවණය කරන්ට
තරම් එතුමා භාග්‍යවන්ත වුනේ ඇයි? සිතේ ඇතිවුණ ශ්‍රද්ධාව, ගෞරවය, ප්‍රසාදය සහ කල්ප
කෝටි ගණනකින්වත් අසන්ට නොලැබෙන දේශනාවක් අසන්ට ලැබෙන නිසා නේ ද?
ඒ විතරක් නෙවෙයි. ඈත අතීතයේ සිතුල් පව්ව, තිස්සමහාරාම, මහාචේතිය, චේතියපබ්බත,
කුඩුම්බිගල ආදී පැරණි ආරණ්‍යසේනාසනවල ස්වාමීන් වහන්සේලා එළිවෙනකම් ධර්මය දේශනාකර
තියෙනවා. සිතුල්පව්ව පූජනීය ස්ථානයේ වර්ෂයක් පාසා ආර්යවංශ දේශනාව අතීතයේ සිද්ධවෙලා
තියෙනවා. වස්කාලයක් තුළ වස් ආරම්භ වන දවසෙ වස් පවාරණය වෙන දවසේ තමයි එවැනි දේශනාවන්
කරන්නෙ. එක සැදැහැවත් අම්මා කෙනෙක් මේ බණ අහන්ට ගියා කිරිකැටි දරුවාත් වඩාගෙන. ගිය
වෙලාවේ ඉන්න තැනක් නෑ. ආසනශාලාව පිරී ඉතිරී ගිහින්. නමුත් මේ අම්මාගේ තිබුණු
ශ්‍රද්ධාවේ අඩුවක් නැහැ. බණ ඇසෙනමානේ ගහක් මුලට ගිහින් දරුවා නිදිකරවලා මේ අම්මා බණ
අහන්න පටන්ගත්තා. මධ්‍යම රාත්‍රියේ මේ අම්මා බලා සිටියෙදී ම සර්පයෙක් දෂ්ඨ කළා මේ
දරුවාට. ඒ වේලාවේ අම්මා හිතුවේ මොකක් ද? ‘අනේ සංසාරේ මම මොනතරම් නම් දරුවො වදලා ඇති
ද, හදල ඇති ද ඒ වගේ ම එසේ වදපු හදපු දරුවන්ට මේවාගේ විපත් කොච්චර නම් වෙලා ඇති ද?
නමුත් මට බුදුපියාණන් වහන්සේගේ බණ පදයක් ඇසෙන්නෙ කලාතුරකින්’ කියලා දරු සෙනෙහස
පැත්තකට දාලා ධර්ම සෙනෙහස පහළ කරගෙන බණ අහන්න අම්මා පටන් ගත්තා. ක්‍රම ක්‍රමයෙන්
දේශකයාණන් වහන්සේ දේශනා කරන දහම් පදයක් පදයක් ගානේ මනාව සිහිය පිහිටුවාගෙන බණ
අසමින් ඉන්නවා. දෙසුම් කෙලවර මේ අම්මා සෝවාන් මාර්ගඵල අවබෝධ කරගත්තා. එසේ නිවන්
අවබෝධ කරගෙන සත්‍යක්‍රියාවක් කරනවා තමන්ගේ දරුවා ළඟට ගිහිල්ලා ‘එළිවෙනකම් මම
ශ්‍රවණය කරගත්ත ධර්මය ඒකාන්තයෙන් ම සත්‍යයි. නෛර්යාණිකයි නිවනට පමුණුවන ධර්මයක් මම
ශ්‍රවණය කළේ. ඒ සත්‍යානුභාව බලයෙන් මගේ දරුවා සුවපත් වේවා’ කියලා අධිෂ්ඨාන කරන විට
ශරීරගත විෂ සියල්ලක් මහ පොළොවට උරාගෙන නිදාගෙන පිබිදෙන්නා සේ මේ දරුවා අවදි වුණා.
පුදුම ආශ්චර්යක් නේද?
ඔය වගේ එකක් දෙකක් නෙවෙයි පින්වතුනි, මෙසේ සිහිනුවණින් බණ අසන විට අප්‍රමාණ ආනිසංස
ලැබෙනවා. ඉතින් අර හිතන්නට ඕනේ කලාතුරකින් අහන්න ලැබෙන ධර්මයක් කියන අදහසින් බණ
අසනවානම් තමයි ‘අට්ඨිකත්වා ධම්මං සුණාති’ කියලා කියන්නේ.
‘මනසිකත්වා ධම්මං සුණාති’
මෙනෙහිකරමින් මෙනෙහිකරමින් බණ පදයක් පාසා සිහිය පිහිටුවාගෙන ධර්මය ශ්‍රවණය
කිරීමයි.
‘සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ධම්මං සුණාති’සම්පූර්ණයෙන් ම තමන්ගේ සිත විවෘත කරගෙන
සිත අවදියෙන් තියාගෙන යෝනිසෝමනසිකාරය පෙරටු කරගෙන ධර්මශ්‍රවණය කරනවා. සිත අවදියෙන්
සිත විවෘත කරගෙන ඉන්න වෙලාවේ බාහිරින් එන අරමුණු කිසිම දේකට සිත යන්නේ නෑ. හරියට
මල් මාලාවක් එකින් එකට අමුණාගන්නා සේ මේ බණ පදයක් පදයක් ගානේ සිහිය පිහිටුවාගන්ට
පුළුවන්කම ලබෙනවා. එසේ සිහිය පිහිටුවාගෙන බණ අසන පිළිවෙලයි. ඒ විතරක් නෙවෙයි එහෙම
සිහිනුවණින් ධර්මය අසාගෙන යන විට ඇසූ ධර්මය අමතක වෙන්නේ නෑ. තමන්ගෙන් මග හැරෙන්නේ
නෑ. රන් කටාරමකට සිංහ තෙලක් දැම්මොත් කවදාවත් මේ සිංහතෙල හිඳෙන්නෙ නෑ. ඒ වාගේ අසන
ධර්මය මනාව ධාරණය වෙනවා. ධාරණය කරගත්ත ධර්මය නැවත නැවත අනුගමනය කරමින් තමන්ගේ
ජීවිතේ ආලෝකමත් කරගන්න පුළුවන් වෙනවා, එසේ බණ ඇසීමෙන්.
මේ පින්වතුන් දන්නවා ඇති අපේ ලංකාවේ වැඩසිටි මලියදේව මහ රහතන් වහන්සේ. උන්වහන්සේ
ඉගෙන ගත්තේ වට්ටාරාම කියන විහාරස්ථානයේ, දැන් වර්තමානයේ වට්ටාරාම කියල කියන්නේ
අතීතයේ මණ්ඩලාරාමය. මේ විහාරස්ථානයේ ඉගෙන ගන්න කාලයේ, වස්සාන කාලයක් වුණා.
උන්වහන්සේ ගෙන්ගෙට පිණ්ඩපාත වඩින ගමන්, එක අම්මා කෙනෙක් ආරාධනා කළා. ‘ස්වාමීනි ඔබ
වහන්සේ අපේ නිවසටම පිණ්ඩපාතයට වඩින්න මම උපස්ථාන කරන්නම්’ කියලා මේ ස්වාමීන් වහන්සේ
දිනපතා ම පිණ්ඩපාතය වඩිනවා ඒ කාලයේ රහත් වෙලා නෑ පෘථග්ජනයි. උන්වහන්සේට මේ
සැදැහැවත් අම්මා දානේ පූජාකරනවා. හැබැයි කිසිම දවසක බණ පදයක් දේශනා කළේ නෑ.
සුඛිතාහෝතු දුක්ඛා මුච්චතු’
‘සුවපත් වේවා දුකින් අත් මිදේවා’ කියලා පමණයි ආශිර්වාද කරන්නෙ.
පසළොස්වක අවඅටවක, අමාවක සහ පුර අටවක යන සතර පෝදා දිනයන්හි ම පළවන ලිපි මාලාවේ දෙවන
කොටස මෙසේ පළවේ. මෙහි තෙවන කොටස ඔක්තෝබර් 19 වන දා වප් අමාවක පෝදා පත්‍රයේ පළවේ. |