Print this Article


සතර මහා භූත රූප:  වායෝ ධාතුව ජීවත්වීම, ආරක්ෂාව, විනාශය සලසන වායෝ ධාතුව

- වායෝ ධාතුව -

ජීවත්වීම, ආරක්ෂාව, විනාශය සලසන වායෝ ධාතුව

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් සියලු සත්ත්වයන් ජාති, ජරා, ව්‍යාධි මරණ ආදී අනේක විධ දුක් වේදනාවන්ට පත්වන්නේ අවිද්‍යාවෙන් නිසා බව දේශනා කළ සේක. එනම් නාම-රූප පිළිබඳ ව අවබෝධයක් නොමැති වීමයි. නාම-රූප යනු පඤ්චස්කන්ධයයි. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්කපවත්තන” සූත්‍රයේ දී “සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” යනුවෙන් දේශනා කළේ, සියලු සංස්කාර ධර්මයන් දුක් සහගත බවයි.

ලෝකය හා සත්ත්වයා පිළිබඳව යථාර්ථය මැනවින් අවබෝධ කරගැනීමට හැකි වනුයේ මෙම සංස්කාර ධර්මයන් අවබෝධ කර ගැනීමෙනි. සසර සැරි සරන සත්වයා බැඳෙන බලගතු ම බන්ධනය මෙම සතර මහා භූතයන්ගෙන් නිර්මිත පඤ්චස්කන්ධය පිළිබඳ බැ¼දීමයි. සත්ත්වයා භවයෙන් භවයට ගමන් කරන්නේ ත් ආත්මභාව මාරු කරන්නේ ත් දුක-සැප දෙකට භාජනය වන්නේ ත් මෙම බැ¼දීම නිසාවෙනි. මෙම බැ¼දීම වනාහී සත්ත්වයා ග්‍රහණයට හසු කරගන්නා උගුලක් වැනි ය. එයින් බේරීමට මඟක් නොමැත.විශ්වය නිරතුරුව ම වෙනස් වෙමින්, කැකෑරෙමින් පවතින පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් සමන්විත ය. මේවා භූතයන් ලෙස හඳුන්වා ඇත්තේ මායාකාර, මිනිසුන් රවටන, අත්භූත ස්වභාවයෙන් යුතු නිසා ය. අත්භූත යමක ස්වභාවය නම් මිනිසුන් බිය කරමින් නැති දෙයක් පිළිබඳ ව මවාපෑමයි. එමෙන් ම මහාභූතරූප ද මිනිසුන් මුළා කරන බව “මහාභූත සාමඤ්ඤානි මහාභූතානි” යනුවෙන් දැක්වේ. එනම් ඒවා තුළ ඇති බිහිසුණු බව යටපත් කරමින් සිත්කලු ස්වභාවයෙන් මිනිසුන් මුලාකිරීමයි. ඒ නිසා ම සත්ත්වයා සතර මහා භූතයන් සමඟ ඇලීම ගැටීම හේතුවෙන් නිරතුරුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට භාජනය වේ.

මෙම සතර මහා භූතයන් පිළිබඳ ව සූත්‍රපිටකයේ මෙන් ම අභිධර්ම පිටකයේ ද සඳහන් ව ඇත. සූත්‍රපිටකයේ “ධාතුවිභංග“ සූත්‍රයේ දී ඉන්ද්‍රිය, අතින්ද්‍රිය ප්‍රතිබද්ධ කොතනක හෝ පවත්නා සැලෙන ස්වභාවය වායෝ ධාතුව ලෙස හඳුන්වා ඇත. එමෙන් ම පිම්බෙන, පුම්බන, රුකුල් දෙන ස්වභාවය ද වායෝ ධාතුව තුළ ඇත. පඨවි ධාතුවෙන් යුක්ත යම් වස්තුවක් හැකිළෙන්නට නොදී පවතින්නේ වායෝ ධාතුව නිසාවෙනි. වායෝ ධාතුව යමක නොපැවතුණහොත් පඨවී ධාතුව ද විනාශයට යයි. වායෝ ධාතුවේ ස්වභාවය කොට්ටයක් තුළ ඇති පුළුන් මෙන් යැයි සඳහන් කළ හැකි ය. කොට්ට උරය හැකිළෙන ස්වභාවයෙන් යුක්ත ය. පුළුන් නිසා කොට්ට උරය පිම්බෙන ස්වභාවයෙන් යුතු වන්නේ එහි ඇති වායෝ ධාතුව නිසා ය.

එමෙන් ම ගසක්, ගෙයක්, ගොඩනැඟිල්ලක් කඩා වැටීමට හේතු වන්නේ ද වායෝ ධාතුවයි. අප ශරීරයේ වායෝ ධාතුව යනු ශරීරය අභ්‍යන්තර ව හෝ බාහිරව තිබෙන වායු ධාරාවන් ය. ඒවා නිතර ම ඉහළට පහළට බසින නගින අතුණු (බඩවැල්) තුළ පවතින ශරීර අඟපසඟ අනුව හැසිරෙන ආශ්වාස හා ප්‍රාශ්වාසයන් ය. මේ අනුව අපට පැහැදිලි වන්නේ මුළු ලෝකයේ ඇති පණ ඇති හා පණ නැති සෑම ද්‍රව්‍යයක්තුළ ම ඇත්තේ මෙම මහා භූත සතර පමණක් බවයි.

පුද්ගලයෙකුගේ චිත්ත ශක්තිය පවතින තාක් මෙම භූත රූප සතර ම පවතින නමුත්, චිත්ත ශක්තිය ස්කන්ධයෙන් ඉවත් වූ විට මෙම මහා භූතරූප ක්‍රමයෙන් අභාවයට යයි. මේ නිසා ම වායෝ ධාතුව ලෝකය නිර්මාණය වීමට ද බලපා ඇත. ස්වභාව ධර්මය සතු මේ නිර්මාණය කවර බුද්ධිමතෙකුටවත්, ශක්ති සම්පන්න පුරුෂයෙකුටවත් නිර්මාණය කළ නොහැකි ය. වෘක්ෂලතා පිළිබඳව වූ ද සත්ත්ව ශරීරය පිළිබඳව වූ ද මෙම වායෝ ධාතුව ඔවුන්ගේ ජීවත්වීම, ආරක්ෂාවීම සේ ම විනාශය සැලසෙන පරිදි සකස් වී ඇත. ලොව මිනිසුන් සෑම හපන්කමක් ම කරන්නේ වායෝ ධාතුව නිසාවෙනි.

මෙම වායෝ ධාතුව ඇතුළු සතර මහා භූතයන්ගෙන් නිර්මිත සංස්කාර පිළිබඳ ව අවබෝධයක් නොමැති නිසාවෙන් මහ මුහුදේ අතරමං වූ තැනැත්තා පිපාසය සංසිඳවා ගැනීමට ලුණුදිය බොන්නා සේ ම අවිද්‍යාවෙන් අන්ධ වූ පුද්ගලයා රාගාදී ක්ලේෂයන්ගෙන් තැවි තැවී ආශ්වාදයටම ඇලී ගැලී ප්‍රාණඝාතාදී අකුසලයන් කරමින් කටුක දුක් විපාක ලබා ගනිමින් සංස්කාරයන්ගේ ඇලී ගැලී කටයුතු කරයි. මෙලෙස ජීවත් වන පුද්ගලයාට ධර්මාවබෝධය ලබා ගැනීමට නම් “සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති” යනුවෙන් සියලු සංස්කාරයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් යම් කලෙක පුද්ගලයා නුවණින් දකී ද ඔහු හට මෙම සංස්කාර දුක්ඛයන්ගෙන් අත් මිදී නිවන් අවබෝධය ලද හැකි ය. එමෙන් ම දිනක් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා භික්ෂුවක් විමසා සිටින්නේ ස්වාමීනි, මේ සතර මහා භූතයන් වූ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ඉතිරි නොවී නැවත නූපදනා පරිදි කෙසේ විනාශ කරන්නේ ද? යනුවෙනි.

එයට පිළිතුරු ලබා දෙන බුදුහිමියන් නුවණින් දැන ගත යුතු වූ, ඇසින් නොදැකිය හැකි, ඉපදීම් නැතිවීම් නැති, ධර්මයෙන් ම පැමිණිය හැකි නිර්වාණ ධාතුවට යමෙක් පැමිණියේ නම් එම පුද්ගලයා තුළ සතර මහා භූතයන් පිහිටීම නොලබයි. එනම් මෙම සතර මහා භූතයන් නිසා ඇති වන නාම-රූප දෙක ඉතිරි නොවී විනාශ වේ. මේ අනුව අප අවබෝධ කොට ගත යුත්තේ සතර මහා භූතයන්ගෙන් නිර්මිත පඤ්චස්කන්ධය නිවන් දැකීමෙන් පමණක් දුරු කළ හැකි බවයි.