දස පාරමිතා කතා 04:
ප්‍රඥා පාරමිතාව
උම්මග්ග ජාතකය
අතීතයේ දඹදිව සිරිවඩ්ඪන නම් සිටු තුමාටත්, සුමනා දේවියටත් පින්වත් කුමාරයෙක්
ලැබුණා. ඉපදුණු මොහොතේ සඳුන් ගැටක් එසේත් නැතිනම්, ඖෂධයක් අතමිට මොළවාගෙන සිටි නිසා
ඒ කුමාරයාට මහෞෂධ යන නම තැබුවා. මේ කුමාරයා හරි ම ඥානවන්තයි. අනුන් පුදුමයට පත්
කරවන්නට තරම් දක්ෂ ලෙස ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. මේ බව දැනගත් මියුලු නුවර වේදේහ
රජතුමා කුමාරයාගේ නුවණ පරීක්ෂා කරන්නට සිතුවා. විසඳන්නට ගැටලු රාශියක් දුන්නා. ඒ
හැම ගැටලුවක් ම ඉතා පහසුවෙන් විසඳන්නට ඔහුට හැකි වුණා. සතුටට පත් වූ රජතුමා, එතුමාට
තමන්ගේ ප්‍රධාන පුරෝහිත තනතුර පිරි නැමුවා. මහොෟෂධ පඬිතුමා තමන්ගේ රාජකාරිය ඉතා
මැනවින් දක්ෂ ලෙස ඉටු කරන්නට සමත් වුණා.
පුත්‍ර ප්‍රශ්නය
දිනක් අම්මා කෙනෙක් තමන් ගේ පුංචි පුතා පොකුණක් අසල ගොඩින් තබා දිය නාන්නට පටන්
ගත්තා. ඒ අතරේ තවත් ගැහැනියක් එතැනට ආවා. ඇය මිනිස් වෙස්ගත් යකින්නියක්. දරුවා
සමීපයට ගිය ඇය ‘අනේ හරිම හුරතල් දරුවා. නැගණියනි, මේ දරුවා ඔබගේ ද?’ දිය නාමින්
සිටි අම්මාගෙන් ඇසුවා. දරුවාට ආදරය කරන බව හැඟවූවා. දරුවාගේ අම්මා හිස සෝදන්නට දියේ
ගිලෙනවාත් සමඟ යකින්නිය දරුවා රැගෙන පලා ගියා. ඒ දුටු අම්මා දරුවා ඉල්ලමින්, හඬමින්
ඇය පසුපස දිව ගියා. යකින්නිය අල්ලාගෙන ‘මගේ පුතු දෙව යි’ උදුරන්නට වුණා.
‘මේ නුඹේ පුතා නොවෙයි.
මගේ පුතායි’ යකින්නිය ද රණ්ඩු කරන්නට වුණා.
මහෞෂධ පඬිතුමාට මේ කෝලාහලය දැක ගන්නට ලැබුණා.
‘මේ රණ්ඩුව කුමක් ද?’ එතුමා ඇසුවා.
‘මේ ගැහැනිය මගේ දරුවා රැගෙන යනවා. අනේ,පඬිතුමනි, මට මගේ දරුවා බේරා දෙන්න’ දරුවාගේ
මව හඬමින් අයැද සිටියා.
‘නැත, පඬිතුමනි. මේ මගේ දරුවායි. ඇයයි දරුවා උදුරා ගන්නට එන්නේ’. යකින්නිය ද කීවා.
යක්ෂයින්ගේ ඇස් මනුෂ්‍යයින් ගේ වගේ නොවෙයි. රක්ත වර්ණයි. ඇසිපිය හෙළන්නේ නෑ. මේ
නිසා ඇය යකින්නියක් බව පඬිතුමාට තේරුණා.
හොඳයි. මම ප්‍රශ්නය විසඳන්නම්. එතුමා කීවා.
‘මා කියන දෙය කරනවා ද?’ දෙදෙනාගෙන් ම ඇසුවා. දෙදෙනා ම එයට කැමැති වුණා.
පඬිතුමා සේවකයෙක් ගෙන්වූවා. ශාලාව මැද ඉරක් අන්දවා දරුවා ඒ මැද තැබුවා. කාන්තාවන්
දෙදෙනාට දරුවාගේ අත් දෙකෙන් දෙපැත්තට අදින්නට නියම කළා. දරුවා ඇදගත් තැනැත්තියට
දරුවා අයිති වෙන බව ද කීවා.
දැන් ඔවුන් දෙදෙනා ම දරුවා දෙපසට අදිනවා. පුංචි දරුවාට හොඳටම රිදෙනවා. වේදනාවෙන්
කෑගසනවා. මේ දුටු අම්මාගේ ළය පැළී යන තරම් වේදනාවක් දැනුණා. ඇය දරුවා අතහැර හඬන්නට
පටන් ගත්තා.
මහෞෂධ පඬිතුමා රැස්ව සිටි පිරිසගෙන් මෙලෙස ඇසුවා. දරුවාගේ දුක වඩාත් දැනෙන්නේ වැදූ
අයට ද? නොවැදූ අයට ද? ‘පඬිතුමනි වැදූ මවටයි. ඇයගේ සිත මොළොක් වෙනවා’. පිරිස හඬනගා
කීවා.
වේදනාවෙන් කෑ ගසන දරුවා අත්හළ කාන්තාව දරුවාගේ සැබෑ මව වන බව තීරණය කළා. මිනිස්
වෙසින් සිටි යකින්නියට මෙවැනි නපුරු දේ නැවත නොකරන ලෙස අවවාද කොට පිටත් කර හැරියා.
මෙහි මහෞෂධ පඬිතුමා ලෙස ඉපදී සිටියේ අප මහා බෝසතාණන් වහන්සේ යි.
මේ කතාවෙන් ප්‍රකට වන්නේ උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාවයි. තමන්ගේ නුවණ මෙහෙයවා
අනුන්ට, එසේ ත් නැතිනම් ලෝ සතුනට සෙත සැලසීම ප්‍රඥා පාරමිතාව ලෙස හැඳින්වෙනවා. මෙම
කතාව ඇතුළත් වන්නේ උම්මග්ග ජාතකයේ යි. බෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාවට හොඳම
නිදසුනක් වන්නේ මහෞෂධ පඬිතුමාගේ කතාවයි. |