Print this Article


දියගම ශී‍්‍ර සුධර්මාකර පුරාණ විහාරස්ථානය

දියගම ශී‍්‍ර සුධර්මාකර පුරාණ විහාරස්ථානය


බුදු මැදුර

කළුතර - හොරණ මහා මාර්ගයේ 8 වන සැතැපුම් කණුව අසල තරමක් උස කඳු ගැටයක පිහිටා ඇති දියගම ශී‍්‍ර සුධර්මාකර පුරාණ විහාරස්ථානය පැරැන්නන් විසින් හඳුන්වනු ලැබුවේ උඩහපිටිය පන්සල යනුවෙනි. දියගම ගම්මානය වූ කලි ඓතිහාසික සිද්ධිවලට සම්බන්ධ පෞරාණික ගමකි. කළුගඟේ පැළුණුගල නම් ස්ථානය අසල කළුතර දිස්ති‍්‍රක්කයේ ඉතිහාසයට ආලෝකයක් ලබාදෙන දියගම සෙල් ලිපිය දැක්විය හැකිය. මෙම ලිපියේ ඇතැම් අකුරු විනාශයට ගොස් ඇති බැවින් සම්පූර්ණ අදහසක් ගැනීම තරමක් අපහසුවන අතර එහි ලක්ෂණ අනුව කි‍්‍ර. පූ 3-4 සියවස්වලට අයත් විය හැකි බව පුරා විද්‍යාඥයන්ගේ අදහසයි.


උනන්තැන්නේ බුද්ධප්පිය හිමි

එවන් ඓතිහාසික සබැඳීයාවක් ඇති දියගම ශී‍්‍ර සුධර්මාකර විහාරස්ථානයේ පැරැණි තොරතුරු වශයෙන් බුදු මැදුරේ ඇති ලක්ෂණවලින් ප්‍රකට වේ.1828 දී එය සාදා නිම කරන ලද බව මකර තොරණෙහි සඳහන් වී තිබුණි. ඒ වටා අලංකාර ලෙස බීරළු යොදා සකස් කළ ප්‍රාකාරය 1889 දී සාදා නිම කළ බව ශිලා ලේඛනයක සඳහන් වේ. ඒවා මුළුමනින්ම මැටිවලින් සාදා තිබුණු බැවින් අද වනවිට සියල්ල විනාශ වී ගොස් ඇත. මුල් කාලයේ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ වැඩ සිටි සංඝාවාසය පිහිටා තිබුණේ බුදු මැදුරට බටහිර දෙසිනි. ස්ථිර වශයෙන් එකල එහි වැඩ සිටි භික්ෂුන් වහන්සේ පිළිබඳ තොරතුරක් සොයා ගැනීම අපහසුය. එම සංඝාවාසය විනාශයට යාමෙන් පසු නැවත බුදු මැදුරට නැගෙනහිර දෙසින් පොල්අතු සෙවිලි කරන ලද කුඩා ආවාසයක භික්ෂුන් වහන්සේලාට වැඩ සිටීමට සලස්වා ඇත. එහිම කොටසක් ධර්මශාලාව ලෙස පරිහරණය කළ බව ජනප්‍රවාදවලින් හෙළිවන අතර ඉන් අනතුරුව ඒ අසල තිබුණ ගිහිගෙයක් භික්ෂුන් වහන්සේලාට වැඩ සිටීමට ලබාදී තිබුණි. එකල අන්නසිගල වත්තේ පාලකයා ව සිටි තෝමස් ද සිල්වා මහතාගේ උත්සාහය හා ධන පරිත්‍යාගය මත දෙමහල් සංඝාවාසයක් කරවා 1925 දී ගෙවදීම සිදුකර ඇත. එකල විහාරස්ථානයේ වැඩ සිටියේ කිරිඇල්ලේ ඉන්දරතන ස්වාමීන් වහන්සේ ය. එසේ ම මාදම්පේ ධම්මරතන කිරිඇල්ලේ නිරෝධාරාම යන ස්වාමීන් වහන්සේලා ද මෙහි වරින් වර ඉතා දුෂ්කරතා මැද වුව ද වස් වසා වැඩ සිටින ලදී.

1926 ජූලි 24 දා ආරම්භ කළ සුධර්මාකර විහාර කාර්යසාධක සමිතිය මගින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු කරගෙන ගිය අතර ගල් පර්වතයක් මත පිහිටි විහාරස්ථානයට පැමිණීමට මාර්ගයක් සකස් කර ඇත. 1935 දී මුල්ගල තැබූ කළුගල් කුලුණු යොදා සෑදු දෙමහල් ධර්ම ශාලාව වසර කීපයක දී සාදා නිමකරන ලදී.

ඉතා චාම් සරල ජීවිතයක් ගත කළ කිරිඇල්ලේ ඉන්දරතන ස්වාමීන් වහන්සේ 1952 දී අපවත් වීමෙන් පසු මොල්ලිගොඩ පිරිවෙන්හි උපප්‍රධානාචාර්ය ව සිටි රාජකීය පණ්ඩිත හල්තොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මෙහි පත්වූහ. දායක කාරකාදීන්ගේ ඉමහත් ගෞරවයට පත් උන්වහන්සේ විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා වැඩ කටයුතු කීපයක් ආරම්භ කළත්, ඒවායෙහි අවසානය දැකීමට නොහැකි වූයේ වසර 5 ක් තරම් කෙටි කාලයක දී උන්වහන්සේගේ අපවත්වීම සිදුවූ බැවිනි.

අනතුරුව විහාරාධිපති ධූරයට පත්වූ පෙතිගමුවේ ධීරානන්ද ස්වාමීන් වහන්සේ වසර 30 ක් පමණ කාලයක් තුළ විහාරාංග රාශියක් සම්පූර්ණ කොට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා කීපනමක් ද පැවිදි කර 1987 දී අපවත් වූහ. අනතුරුව උන්වහන්සේගේ ශිෂ්‍ය උනන්තැන්නේ බුද්ධප්පිය ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්ව ඉතා කෙටි කාලයක් තුළ විහාරස්ථානයේ පැවැති අඩුපාඩු රැසක් සම්පූර්ණ කළහ.