Print this Article


පුද බිම්: මැදවෙල රජ මහා විහාරය

මැදවෙල රජ මහා විහාරය


ටැම්පිට විහාරය

හාත්පස සිසාරා පෙනෙන සුදෝ සුදු වළා කැටි මැදි කරගත් කඳු පන්තියකට මැදි වූ, නීල හරිත තුරු ලතාවන්ගෙන් සෙවන ලද මනරම් කඳු ගැටයක් මත්තෙහි පිහිටි ඓතිහාසික හා කලාත්මක වශයෙන් වෙසෙස් වැදගත්කමක් හිමි කරගත් මැදවෙල රජමහා විහාරය සුවිශේෂී ආගමික සිද්ධස්ථානයකි. බොදුනුවන්ගේ උරුමයකි. මැදවෙල රජමහා විහාරය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව මැදසිය පත්තුවේ ‘මැදවෙල’ නම් ගම් පියසේ ය. මහනුවර, දොරණෑගම මාර්ගයේ මැදවල නගරයේ සිට කිලෝමීටර 1.5 ක පමණ දුරින් පිහිටි මෙම විහාරස්ථානය සියම් නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් පුණ්‍ය භූමියකි.

උස් නොවූ ගල් කුලුනු මත්තෙහි සෘජුකෝණාශ්‍රාකාරව පිහිටි පුරාණ ටැම්පිට විහාරය, එහි වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ, විහාර අභ්‍යන්තරයේ බිතු සිතුවම් හා මකර තොරණ ඓතිහාසික වශයෙන් වටිනාකමක් හිමිකර ගනියි.

ටැම්පිට විහාරගෙයි උළුවස්ස විචිත්‍ර කැටයම් සහිත ය. විහාර ද්වාරයට පිවිසෙනවාත් සමඟ ම දර්ශනය වන්නේ භූමි ස්පර්ශ මුද්‍රාව සහිත කිරිගරුඬ බුදු පිළිම වහන්සේ යි. පිළිමයේ ශෛලිය මහනුවර කලා සම්ප්‍රදායට සමීප ය. බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙපස කාල වර්ණ දෙවියකුගේ සහ මුරකරුවකුගේ ප්‍රතිමා නිර්මාණය කර තිබේ. ටැම්පිට ප්‍රතිමා ගෘහයේ සිවිලිම හා සියලුම බිත්ති සිතුවමින් අලංකෘත ය. චිත්‍ර ඇඳ ඇත්තේ වියළි බදාමයක් මත ය. අක්ෂි ගෝචර රටාවකින් ඇඳ ඇති සිතුවම් ශෛලිගත ය. රතු, කහ, සුදු, කළු, නිල් හා පච්ච වර්ණයන් භාවිත ය. සිතුවම් අතර සොළොස්මස්ථාන, බුදු පුදට යන රහතන් වහන්සේ, සත් සතිය සහ ජාතක කතා ද වේ. වෙස්සන්තර ජාතකයට ප්‍රධානත්වයක් දී තිබීම ද සුවිශේෂී ය. විහාරයට පිවිසෙන ද්වාරය දෙපස බිත්තියෙහි නිරූපණය කර ඇති සිතුවම් අතර ප්‍රභූවරු හා සාමාන්‍ය ජනයා ද වේ. පිළිමගෙයි දැව සිවිලිම පුරා නිරූපිත තුසිත භවන, මල්කම් හා ලියකම් චිත්තාකර්ශණීය ය.


සම්බුදු මැදුර

මැදවෙල රජ මහා විහාරයෙහි පොහොය ගෙය ක්‍රි.ව. 1745 දී කළ බවට තොරතුරු ඇත. අඩි 10 ක් පමණ උසට වරිච්චි බිත්ති බැඳ ඇති එහි පළල අඩි 23 ක් හා දිග අඩි 32 ක් පමණ වේ. වහලය රඳා සිටින්නේ ඇතුළත ගල්කණු හයක් මත ය.

මෙම විහාර බිමෙහි දර්ශනීය චෛත්‍ය මුල් වරට කරවන ලද්දේ වළගම්බා රජු විසිනි. අද පවතින ලෙසට නිර්මාණය කර ඇත්තේ ගම්පොළ යුගයේ රජකළ තුන්වන වික්‍රමබාහු රජු විසිනි.

ගම්පොළ යුගයට අයත් සඳකඩ පහණ, දැවයෙන් කර ඇති මකර තොරණ, ශිලාලේඛනය, පල්ලැක්කියද, මෙහි දී දැකගත හැකි ය. අතීතයේ දානමය පින්කම්, පිරිත් දේශනා සඳහා භික්ෂූන් වහන්සේ වැඩම කරවා ඇත්තේ මෙම පල්ලැක්කිය මත හිඳුවාගෙන ය.

ක්‍රි.ව. 1755 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිළිගන්වන ලද තඹ සන්නසකින් තහවුරු වන ලෙස මැදවෙල රජමහා විහාරය ඉදිකොට ඇත්තේ ක්‍රි.පූ. 89 – 77 ත් අතර කාලයේ දී ය. ඒ ක්‍රි.පු. 89 දී ලක්දිව එක්සේසත් කරන ලද වළගම්බා රජු විසිනි.


විහාර බිතුසිතුවම්

ජනප්‍රවාදයේ සඳහන් වන ලෙස වළගම්බා රජු කුඩා කල සිය මෑණියන් සමඟ සැඟව සිට ඇත්තේ මෙම ප්‍රදේශයේ ය. එකල ඒ කුමරුට අකුරු කරවා දැනුම දී ඇත්තේ මෙම සිද්ධස්ථානයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් විසිනි.

කෙසේ වුව ද කාලයාගේ ඇවෑමෙන් මෙම පුණ්‍ය භූමිය වනගත වී ඇත. එහෙත් ක්‍රි.ව. 1326 දී පමණ නාගල වනරතන නම් හිමිපාණන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් නැවත ප්‍රතිසංස්කරණය වී ඇත. ඒ ගම්පොළ යුගයේ රාජ්‍යත්වයට පැමිණි සිව්වන පැරකුම්බා රාජ සමයේ ය. ශිලාලේඛන තොරතුරුවලට අනුව ක්‍රි.ව. 1344 දී රාජ්‍යත්වයට පැමිණි දැඩිගම පස්වන පරාක්‍රමබාහු රජුගේ ඇවෑමෙන් ද, ගම්පොළ රාජධානිය කරගත් තෙවැනි වික්‍රමබාහු රජුගේ ඇවෑමෙන් ද මෙම පින්බිම සංවර්ධනය වී ඇත.

ඉන්පසු කාලීනව ක්‍රි.ව. 1755 දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ටැම්පිට විහාර මන්දිරය හා පොහොය සීමාගෙය නිර්මාණය කර ඇති අතර විහාරස්ථානයේ ඓතිහාසිකත්වය ඇතුළත් කළ තඹ සන්නසක් පූජා මහෝත්සවයක් පවත්වා එවකට වැඩසිටි නා හිමිපාණන් වහන්සේට පිළිගන්වා ඇත. ඒ සියම් දේශයෙන් ලක්දිවට උපසම්පදාව ගෙන එන ලද උපාලි හිමියන්ගේ හා එවකට මෙම සිද්ධස්ථානයේ වැඩ සිටි නායක හිමියන්ගේ ද උපදෙස් පරිදි ය.

ආගමික, වාස්තු විද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක, සෞන්දර්යාත්මක අගයෙන් අනූන මැදවෙල රජමහා විහාරය ප්‍රාදේශීය ජනයාගේ මතු නොව සමස්ත බොදුනුවන්ගේ ම ගෞරවාදරයට පාත්‍රවිය යුතු, සැලකිල්ලට බඳුන් විය යුතු පින් බිමකි. අපේ අතීත ශ්‍රී විභූතිය මොනවට විදහා දක්වන, දැක බලා ගත යුතු ම පුණ්‍ය භූමියකි. වෙසෙසින් චිත්‍ර ශිල්පය හදාරන අයට වටිනා තෝතැන්නකි. වත්මන් විහාරාධිපති හිමිපාණන් වහන්සේ මේ පින්බිම ක්‍රමවත්ව පවත්වාගෙන යාමට දරන උත්සාහය, ධෛර්ය, කැපවීම අගය කළ යුතු ය.

විශේෂ ස්තූතිය,

මල්වතු පාර්ශ්වයේ හාරිස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික මැදවෙල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති දෙහිගම චන්ද්‍රරතන හිමියන්ට