Print this Article


පහන් සිතක කවි

දුවේ , පුතේ

පන්සල පාරේ ඉරු දින උදයට
සුදෝ සුදට ඇඳ මල් ගෙන දෝතට
පොත් එල්ලාගෙන බලමින් වටපිට
යන හැටි කදිමයි දම් පාසල වෙතට


සොබාදහම සහ බුදුදහම

වනමල් පියලි මත ඇත බුදු දහම ලියා
ඒ බව පෙන්වමින් පිපි මල් පරව ගියා
ලෝ දම මෙලෙස පෙන්වා ඇති තිලොව පියා
ඒ හැම මල ම මුනි පුදනට ඒද සොයා

කෙස් ලොම් ඇට මිදුළු වකුගඩු අතුනු බහන්
හිස් අවකාශයක් වටකොට නහර බැඳන්
පස්විසි මහඹයක පැටළුන මෙලොව සතුන්
දොස් නොදකිති තිලකුණ නොදකිනා බැවින්


නිමාව

ඇත්නම් නැවැත්මක්
නැත්නම් තවත් ගමනක්
මේ සසර මං තලාවේ
එතැන ය සොඳුරු තැන
එතැන ය නියම තැන
සමුගන්න පස් කඳින්
සමු දෙන්න පස් කඳට


තුනුරුවන් සරණයි

ලොවෙහි සතවෙත පෑව
මහ කරුණාව
සම්බුදු ගුණ උදාරයි
වැවෙහි ජලතල සිසිල දෙවමින්
පවන් රැළි වැව් දියඹ පීරයි
ගලෙහි ගොරතර බව සියුම්කර
සිනිඳු සුසිනිදු බව මවාලයි
මෙලක ගල්වඩු තුමා සමරමි
ඔබට තුනුරුවන්ගේ ම සරණයි


සසුනඹරේ සඳහම් සඳ

සසුනඹරේ සඳහම් සඳ සේ බැබලී
නිවන් මඟට ජන යොමු යහ වැඩෙ නියැලී
පැමිණි සියලු බාධක මැඩළු නොසැලී
නැඟෙනහිරින් චිර ජීවන මල් පියලී

උඩරට අමරපුර මහ සඟ සසුන සතු
සසුනට කරන මෙහෙයට පිදු අනගි මුතු
ඔබ හට ලැබුණු මහා නා හිමි පදවි සතු
බලයට සසුන සුරකිනු මැන පෙරට මතු


ලස්සන

සුපුන් සඳයි ලක් දෙරණ යි
හරිම ලස්සන යි
දම් සුවඳයි සිල් සුවඳ යි
සිත පහන් කර යි

පහන් වැටයි බෝ මළුව යි
අඳුර දුරු කර යි
සාධු නදයි බෝ සිසිල යි
සවන පිනාල යි


අනියත දහම

සියලු මිනිසුන් , සියලු සතුනුත්
සිතක් නැති වූ සෑම වස්තුන්
ඉපදුණා සුළු කලක් පැවතුණා
නැවතුණා, නැති වුණා
පොළොවට මැ’ අප යට වුණා

ලොවේ ඇති තතු වටහා ගෙන
මෝහ අඳුර දුරින් දුරලා
නැණැ’ස යොදවා
නැණැස පහදා බලාපන්නේ