මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නා හිමි
තෙවළා දහමෙන් හා පාලි, සංස්කෘත, සිංහල, ඉංගී‍්‍රසි භාෂාන්තර විශාරදව මෙන්ම,
සමයාන්තර පිළිබඳව ද පුළුල් දැනුම් සම්භාරයකින් හෙබියා වූ, වාදිභසිංහ මිගෙට්ටුවත්තේ
ගුණානන්ද නා හිමි අපවත්වී සැප්තැම්බර් 21 වෙනි දිනට වසර එකසිය විසි හතක් ගත වේ.
1893 පෙබරවාරි 09 වෙනි දින දක්ෂිණ ලංකාවේ වැලිතොට, බලපිටි පුරවරයේ මිගෙට්ටුවත්ත
ග්‍රාමයේ දී, ගිංගමල්දු මිගෙල් මෙන්ඩිස් නමින් උපත ලැබීය. ළමා වියේ පටන් අනෙක්
දරුවන්ට වඩා මුහුකුරා ගිය එඩිතර සටන්කාමී, ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරන්නෙක්
විය. කල වයස සපිරෙත්ම, මව්පිය දෙපළගේ ආශිර්වාදය ඇතිව, ඥාතිවර නා හිමිනමකගේ පා
සෙවණෙහි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නමින් පැවිදි දිවියට පිවිසුණහ.
ගුරු හිමිවරුන්ගේ අවවාද අනුශාසනා පරිදි භික්ෂුවකට අවැසි වත් පිළිවෙත් ධර්ම කරුණු
ඉතා කෙටි කලකින් මැනවින් හැදෑරූහ. බොහොම අවධියෙන් කාල කළමනාකරණය කරමින්, ගුණානන්ද
හිමියෝ තම ඉගෙනුම් කටයුතු කරද්දී, නොසිතූ පරිදි තම පියාණන් අකාලයේ අභාවයට පත්වූයේ
ය.
තම පවුලේ වගකීම් දැරීමට සවිමත් කෙනෙකු නොමැති හෙයින්, මවට ශක්තියක් වීමේ අදිටනින්,
ගිහි පැවිදි සියල්ලටම කරුණු වටහා දී, උපවැදි වූහ. මෙසේ කාලයක් සිය පවුලේ ආර්ථීකය
ගොඩනැගීමට කටයුතු කරමින් සිටිනා විට පිය පාර්ශවයේ සමීප ඥාතිවරයෙකු වූ කතෝලික
පූජකවරයෙකු වෙතින් ධෛර්යසම්පන්නව කිතු දහම පිළිබඳ හදාරන්නට වූයේ ය. එසේම බලපිටියේ
විසූ ඒබ්‍රහම් අල්විස් මහමුදලිතුමාගේ ආධාර උපකාර ඇතිව කොළඹ වෙස්ලි විදුහලට ඇතුළත්ව,
ඉතාමත් හොඳින් ඉංගී‍්‍රසි භාෂාව ප්‍රගුණ කළේ ය.
පෙර සසර බල මහිමය නිසාදෝ කසාවතට ඇල්ම බැල්ම ඇති නිසා මිගෙල් තරුණයා, දොඩන්දූව කුමාර
විහාරයේ පැවති ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීමේ මහා පුණ්‍යෙීත්සවය අවසානයේ දී නැවත
වතාවක් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමින්ම පැවිදි වූහ.
බලපිටිය සුභද්‍රාරාම විහාරයේ ටික කාලයක් වැඩ සිට, කොළඹ කොටහේන දීපදුත්තාරාමය වෙත
වැඩම කරවා, ජාතික ආගමික ප්‍රබෝධය ඇතිකරමින්, ජීවිත පරිත්‍යාගයෙන් යුතුව සුවිසල්
ආගමික මෙහෙවරකට පියවර තැබූහ. 1832 ඇරඹි කොටහේන දිපදුත්තාරාම පුරාණ විහාරය කොළඹ
නගරයේ ප්‍රථමයෙන්ම ඇරඹි බෞද්ධ සිද්ධස්ථානය ලෙස, ඉතිහාසයට එක්වන්නේ ය. මෙම ඓතිහාසික
පින්බිමේ වැඩ සිටිමින්, නාහිමියෝ කළ ජාතික ආගමික, සාමාජීය මෙහෙවර මිල කළ නොහැකි ය.
ලක්මිණි කිරුළ වැනි ධර්ම පත්‍රිකා පළකරමින් ද, ගුණානන්ද හිමියෝ මිථ්‍යාදෘෂ්ටික මත
බිඳ දැමීමට පියවර ගත්හ. ඒ අතරම බුදු දහමේ යථා ස්වභාවය හඳුන්වා දෙමින්, ප්‍රසිද්ධ
වාද කිහිපයක් පැවැත්වීමට පියවර ගත්තේ අතිශූර කථිකත්වය හා සමයාන්තර ඤාණය පිළිබඳව
දැනුම උපයෝගී කරගෙන ය.
1860 කැලණිය වරාගොඩ දී ද, 1865 දී බද්දේගම දී ද, 1871 දී උදම්මිට දී ද, 1873 දී
සුප්‍රසිද්ධ වාදය වූ පානදුරාවාදය ද දෙදිනක් පුරා පැවැත්විණි. මෙකී වාදවලින් පසුව
සිංහල බෞද්ධයින් හා ක්‍රිස්තියානි ලබ්ධිකයින් අතර පැවති මිථ්‍යා මත දුරලීමටත්,
ආගමික හා සිංහල චාරිත්‍ර පිළිගැනීමටත්, දැනුම වර්ධනය කිරීමත්, නව සංස්කෘතික හා
ජාතිකාභිවෘද්ධියටත්, හේතු විය.
නාහිමිගේ වාද විවාද මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජාත්‍යන්තරයට පැතිර ගිය නිසා ඇමරිකාවේ
හෙන්රි ඕල්කට්තුමා සහ රුසියාවේ බ්ලැවැස්කි මැතිනිය 1880 මැයි මස 16 වෙනි දින ලංකාවට
පැමිණ බුදුදහම වැළඳ ගත්හ. ඕල්කොට්තුමා විසින් අරඹන ලද බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන
නියමුවා, උපදේශකවරයා වූයේ, ගුණානන්ද නාහිමියන්මය. මෙයට උපහාරයක් සහ කෘතගුණ
දැක්වීමක් ලෙසින් කොළඹ ප්‍රමුඛතම බෞද්ධ විදුහලට ගුණානන්ද යැයි නම තැබීමට ඕල්කට්තුමා
අදහස් කළ ද, ගුණානන්ද හිමියෝ ආනන්ද විදුහල ලෙස නම් කළේ ය. ජීවිත පරිත්‍යාගයෙන්
යුතුව එඩිතර බුද්ධ පුත්‍රයෙකු ලෙසින් ජාතියේ පිනට පහළ වූ වාදිභසිංහ මිගෙට්ටුවත්තේ
ගුණානන්ද හිමියන් 1890 සැප්තැම්බර් 21 වෙනි දින මෙලොවින් සමුගත්හ. උන් වහන්සේට
උතුම් වූ නිවන් සුව ලැබේවා.
හිටපු මහාධිකරණ විනිසුරු හා අමරපුර
නිකායරක්ෂක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික
සී.වී. රාජපක්ෂ
උනන්තැන්නේ බුද්ධප්පිය හිමි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ උනන්තැන්න නම් ඓතිහාසික ගම් පියසෙහි 1947 සැප්. 23 වන දින
මෙලොව එළිය දුටු එගොඩගෙදර මුතුබණ්ඩාර නම් ළදරුවා නිසි වයස් ලැබීමෙන් උනන්තැන්න
කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. එහි 6 වන ශ්‍රේණිය දක්වා අධ්‍යපානය
ලබා 1959 සිට කළුතර දියගම විදුහලෙන් අ.පො.ස. (සා.පෙළ) දක්වා ඉගෙනීම කළේ ය. 1964
සැප්තැම්බර් මස 11 වන දින දෙමව්පියන්ගේ ද අවසරය මත දියගම ශ්‍රී සුධර්මාකර පුරාණ
විහාරස්ථානයේ දී පෙතිගමුවේ ධීරානන්ද මහා ස්ථවිර, ලබුගම ලංකානන්ද අනුනායක හිමිපාණන්
වහන්සේ, මැදගම්පොළ සිරිරතන මහා ස්ථවිර යන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ
ආචාර්යත්වයෙන් පැවිදි භූමියට ඇතුළත් විය.
1964 දී මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙනට ඇතුළත් වූ උනන්තැන්නේ බුද්ධප්පිය
හිමිපාණෝ පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කළහ. එහි දී අ.පො.ස. උසස් පෙළ, ප්‍රාචීන මධ්‍යම
විභාග සමත් වූහ. පසුව අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ
විභාගයෙන් සමත්ව 1971 දී එම විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. 1976 දී ත්‍රිපිටකවේදී
උපාධිය ලබා ගත්හ.
පසුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනට පැමිණීමට සිදුවූයේ එහි ගුරුවරයෙකු ලෙස සේවය
කිරීමට ය. මේ අතර කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර අංශයෙන් 1979 දී
ශාස්ත්‍රවේදී උපාධිය ලැබූහ. 1983 දී පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති
උපාධිය ද සමත් වූහ.
මොල්ලිගොඩ පිරිවෙන්හි 1986 දක්වා උපගුරුවරයෙකු වශයෙන් සේවය කරන අතර පුරප්පාඩු වූ
පරිවේණාධිපතිධුරය භාර ගැනීමට සිදු විය. 1986 සිට 1991 දක්වා වර්ෂ 05 ක්
පරිවේණාධිපති ලෙස කටයුතු කළහ. නැවත ඉන් ඉවත් වූ උන්වහන්සේ කළුතර අශෝකාරාම විහාරස්ථ
සිරි සරණංකර පිරිවෙනෙහි පරිවේණාධිපති වශයෙන් වර්ෂ 11 ක් සේවය කිරීමෙන් අනතුරුව 2002
විශ්‍රාම ගනු ලැබූහ.
දියගම ශ්‍රී සුධර්මාකාර විහාරස්ථානයේ විහාරාධිපති පෙතිගමුවේ ධීරානන්ද මහා
ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1987 දී එම විහාරස්ථානයේ
විහාරාධිපතිධූරයට පත්වූහ. එහි තිබුණු පැරණි ගොඩනැගිලි නවීකරණය කිරීම හා අනෙකුත්
අවශ්‍ය අංගෝපාංග සියල්ල ඉතා කෙටි කාලයක් තුළ උන්වහන්සේගේ දැඩි උත්සාහය නිසා
සම්පූර්ණ කිරීමට හැකිවිය.
දියගම විහාරස්ථානය සියලුම විහාරාරංගයන්ගෙන් අංග සම්පූර්ණ ස්ථානයක් බවට පත්කළා සේ ම
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කීපනමක් පැවිදි කළහ. දායක පින්වතුන්ගේ ඉමහත් ගෞරවාදරයට
පත්ව සිටින උනන්තැන්නේ බුද්ධප්පිය මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය
නිමිත්තෙන් සැප්තැම්බර් 23 වන දින පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
බොහෝ කලක් ආගමික හා සාමාජික කටයුතු කිරීමට උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
එච්.ඩී. ඥාණපාල
ගල්පාත සමූහ
ගොඩගම මංගල හිමි
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ කාරක මහා
සංඝසභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික, මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ නිර්මාතෘවර,
වත්මන් විදුහල්පති, ඓතිහාසික රංගිරි දඹුළු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම ධර්ම
කීර්ති ශ්‍රී චන්දානන්ද මංගල හිමිපාණන්ගේ හැටවෙනි ජන්මෝත්සවය නිමිත්තෙන් මංගල
හිමිපාණන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික වැඩසටහන් උපන්දිනය යෙදී තිබුණ අගෝස්තු
මස 14 වෙනිදින ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ දී, අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ
අති ගෞරවාර්ය මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
පැවැත්විණි.
ආචාර්ය ගොඩගම, මංගල හිමිපාණන් මහනුවර මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජ පිරිවෙනෙන්
සහ කොළඹ හුණුපිටිය ගංගාරාම පිරිවෙනින් මූලික ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි ලබා
ගුරුවරයෙකු, විදුහල්පතිවරයෙකු හා උපකුලපතිවරයෙකු (ශ්‍රී ලංකා භික්ෂු
විශ්වවිද්‍යාලයේ අනුරාධපුර) වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ අංශවල සේවය කළ
යතිවරයාණන් වහන්සේ නමකි. මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ වත්මන්
අධ්‍යාපන දියුණුවේ නිර්මාතෘ විදුහල්පති වූ ආචාර්ය මංගල හිමිපාණන් ශ්‍රී චන්දානන්ද
බෞද්ධ විද්‍යාලයේ නිර්මාතෘ විදුහල්පතිවශයෙන් දස වසරක් ඇතුළත චන්දානන්ද විදුහල
දිවයිනේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස්ම තත්ත්වයෙන් විවිධ අංශවලින් ප්‍රතිඵල දැක් වූ
විද්‍යාලයක් බවට පත් කිරීමට ගත් උත්සහය හා කැප කිරීම විශේෂයෙන් රාජ්‍ය අධ්‍යාපන
අංශයේ පැසසුමට ලක් වී ඇත.
සිය ගුරුදේවයන් වන අපවත් වී වදාළ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක
පලීපාන ශ්‍රී චන්දානන්ද මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් වන අස්ගිරිය මහා විහාරයීය
පලිපාන ශ්‍රී චන්දානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වශයෙන් ද කටයුතු කරන
ආචාර්ය මංගල හිමිපාණන්, පලීපාන ශ්‍රී චන්ද්‍රානන්ද මාහිමිපාණන්ගේ ආගමික විශේෂයෙන්
බෞද්ධ අධ්‍යාපනික, බෞද්ධ සාමාජික හා සංස්කෘතික සේවාවන්ට චන්දානන්ද බෞද්ධ විද්‍යාලය
තුළින් ගන්නා ප්‍රයත්නය ප්‍රසාදයට පත්ව ඇත.
ආචාර්ය මංගල හිමිපාණන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීම් වස් විශ්ව විද්‍යාල
මහාචාර්යවරුන් ඇතුළු සම්භාවනීය ගිහි පැවිදි පිරිසක් ද, මල්වතු මහා විහාරයීය අනුනායක
සාහිත්‍ය චක්‍රවර්තී අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරිමහා විහාර පාර්ශ්වයේ
අනුනායක ඓතිහාසික අස්ගිරිය ගෙඩිගේ විහාරාධීකාරී පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති
ශාස්ත්‍රපති වේඬරුවේ උපාලි නාහිමිවරුන් ඇතුළු මල්වතු අස්ගිරි උභය මහා විහාරයන් හි
කාරක සභා සංඝ සභාවන්හි ජ්‍යෙෂ්ඨ නාහිමිවරුන් ඇතුළු හිටපු ආණ්ඩුකාර ටිකිරි
කොබ්බෑකඩුව මහතාද විය. ආචාර්ය ගොඩගම මංගල නාහිමි උපහාර ශාස්ත්‍රිය කලාපය වන බෞද්ධ
හා පාලි අධ්‍යයන දෙවන කලාපය මෙහි දී මහා සංඝරත්නයට පිරිනැමීම ගොඩගම මංගල හිමි අතින්
සිදුවිය. මංගල හිමිපාණන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික වැඩසටහනක් ද නෙල්ලිගල
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී සංවිධානය කර තිබුණි.
කේ. බණ්ඩාරනායක |