Print this Article


මිනිසත් බවට අර්ථයක්

මිනිසත් බවට අර්ථයක්

සසර දුක්බර ගමනකි. කිසිදු නැවතුමක් නැත. නතර වීමට නම් අප්‍රමාදී ව කුසල්දම් වැඩිය යුතු ය. අප්‍රමාදී බවේ වටිනාකම බුදුරාජාණන් වහන්සේ දේශනා කර තිබේ. කුසල් වැඩීමට සිත ප්‍රගුණ කළ යුතුය. සසර ගමනේ පුරුද්දක් තිබිය යුතු ය. සංවර වූ ද මනාව පිහිටු වු ද සිත සසර ගමන කෙටි කරයි. අප්‍රමාදය නම් සිහි නුවණින් සිටිමයි. ඉන්ද්‍රියයන්ගේ තණ්හා ප්‍රිය අරමුණ වල නො ඇලීමයි. කම්මැලි නොවී කෙලෙස් අරමුණු වලින් සිත මුදවා ගැනීමයි. ආරක්ෂා කර ගැනීමයි. අවසන සිත සංවර වේ. උත්සාහවත් ව සිත සංවර කරගැනීම අප්‍රමාදයයි. ප්‍රමාදය සිහි නුවණින් කටයුතු නොකිරීමයි. ඉඳුරන් පිනවීමයි. මෙලොව, පරලොව දියුණුව නොසළකා අලස ව සිටීමයි. දුක්බර සසර ගමනේ අල්ලා තැබීමට ප්‍රමාදය හේතු වේ.

ප්‍රමාදී පුද්ගලයාට නිවන්දොරටුව බොහෝ දුර ය. බුදුරාජාණන් වහන්සේ එක් අවස්ථාවක දී මඝ නම් තරුණයා ඇසුරින් කුසලට අප්‍රමාද වීමේ ගුණය මෙලෙස දේශනා කළ සේක. ඈත අතීතයේ දී මඝ නම් තරුණයෙක් සිටියා. ඔහු පින්දම් කිරීමට දැඩිව ඇලුම් කළා. දිනක් ඉඩමක් හෙළි පෙහෙළි කර, ගමක් නිර්මාණය කිරීමට තීරණය කළා. ඔහු තම කාර්යය අවසන් කරන විට ම වෙනත් පුද්ගලයෙක් මඝ තරුණයාට බාධා කළා. නමුත් ඔහු කිසිදු අමනාපයක් දැක්වුයේ නෑ. මඝ නැවත තවත් ඉඩමක් සුද්ධ කළා. එවිට නැවතත් කෙනෙක් බාධා කළා. දිගින් දිගමට අවස්ථා කිහිපයක දී ම බාධාකිරීම් සිදුවුණා. බාධා ඉදිරියේ ඔහු නතර වුණේ නෑ. ගැටලු ඇතිකර ගත්තෙත් නෑ. ඉතා ම සාමකාමී ව, ඉවත් ව විරුද්ධවාදීයාට ඉඩ ලබාදුන්නා.

තමන්ට හතුරුකම් කළවුන්ගේ සැපතම ප්‍රාර්ථනා කළා. මට පිනක් ලැබේවා! යැයි සිතමින් කාලය ගෙව්වා. කරුණාවෙන්, මෛත්‍රීයෙන් කටයුතු කළා. කාලය සෙමින් ගතවුණා. මඝ පිට්ටනියක් තැනීමට තීරණය කළා. එය හැම දෙනාට ම සිටිය හැකි පිටියක් ලෙස සකස් කිරීමට ඔහුට අවශ්‍ය වුණා. මුල් ම අවස්ථාවේ දී ස්ව උත්සාහයෙන් ම පිටිය සකස් කිරීමට මඝ තරුණයා ධෛර්යවත් වුණා. පසුව කිහිපදෙනෙකු ඔහු වටා රොක් වුණා. ඉන්පසු තවත් කිහිපදෙනෙකු රැස් වුණා. කාලයත් සමඟ විශාල පිරිසක් ඔහු වටා රැඳුණා. මඝ විශාල ප්‍රීතියකට පත්වුණා. තමන් වටා රැස්වු පිරිසගේ සතුට දෙස නිහඬව, සතුටින් බලා සිටියා.

කාලයකට පසුව ගමට යාමට ඒමට පාරක් කැපීමට මඝ තීරණය කළා. පාර කපන මොහොතේ එතනට පැමිණි මගියෙක් මෙලෙස විමසුවා. ‘යාළුවා මොකද කරන්නේ?’ ‘මම මේ දිව්‍ය ලෝකයට යන්න පාරක් කපනවා.’ මඝ එලෙස පිළිතුරු දුන්නා. මගියා ද මඝ තරුණයාට එකතු වුණා. එක් මගියෙකුට පසුව තවත් කෙනෙකු පැමිණියා. ඔහු ද මඝ තරුණයාට එකතු වුණා. දිනෙන් දින එක්වන පිරිස වැඩිවුණා. අවසානයේ තිස්තුන් දෙනෙකු ඔහු වටා රොක්වුණා. මොවුන් ගම දියුණු කළා. මාර්ග සංවර්ධනය කර මනාව පිළිසකර කළා. පන්සිල් පද ආරාක්ෂා කළා. කරුණාව,මෛත්‍රීය ප්‍රගුණ කරන ක්‍රම අන් අයට ඉගැන්වුවා. මඝ තරුණයා හොඳ මඟපෙන්වන්නෙක් වුණා. පිරිස සියලු දුසිරිතෙන් මිදී චරිතවත් බවට පත්වුණා. එහෙත් ප්‍රදේශයේ ගම්මුලාදෑනියාට මෙය ගැටලුවක් වුණා. පෙර ලැබු ලෙසින් පඬුරු නොලැබීමෙන් ගම්මුලාදෑනියා කෝපයට පත්ව සිටියා. සතුන් මරණ පිරිසෙන්, වෙළඳාම් කළ පිරිසෙන් ලැබු අමතර තෑගී බෝග නොලැබී ගියා. දිනක් ඔහු මඝ මානවකයා හමුවී මේ පිළිබඳ විමසුවා. ‘අපි මේ දිව්‍ය ලෝකයට යන්න පාරක් හදනවා...’ මඝ සන්සුන්ව පිළිතුරු දුන්නා.

ගම්මුලාදෑනියා මෙම පිළිතුරෙන් කෝපයට පත්වුණා. ‘මොන දෙව්ලොවක් ද? මෙහෙම කළා ම අපි ජීවත් වෙන්නේ කොහොම ද? සත්තු මස්කරන්න ඕනෑ. හැම වෙළදාමක් ම කරන්න ඕනෑ. මේ තමයි දිව්‍ය ලෝකය.’ කියමින් පිරිස නතර කිරීමට උත්සාහ කළා. අවසානයේ ගම්මුලාදෑනියා අසාර්ථක වුණා. ඔහුගේ කෝපය තවත් වැඩිවුණා. ගම්මුලාදෑනියා රජුට පැමිණිලි කළා. බොරු හේතු කියමින් රජු මුලා කළා. රජුත් කිසිදු සොයා බැලීමකින් තොරව පිරිසට මරණ දඬුවම නියම කළා. රාජ නියෝගය අනුව මඝ ඇතුලු පිරිස ඇතු ලවා පාගා මැරීමට තීරණය කළා. මරණ දිනයේ දී මඝ තම පිරිස අමතා,

‘දරුවනි කලබල නොවන්න. රජුටත්, ගම්මුලාදෑනියාටත්, කිසිවක් නොදත් ඇතුටත් අනුකම්පා කරන්න. මෛත්‍රී වඩන්න. වෛර නොකරන්න’ යැයි උපදෙස් ලබාදුන්නා. පිරිසගේ මෛත්‍රී බලය අභියස ඇතුගේ පය එසවුණේ නෑ. කිහිපවරක් උත්සාහ කළ ද ඇතු පිරිස පාගා දැමීම ප්‍රතික්ෂේප කළා. රජු ද පුදුමයට පත්වුණා. පිරිස කැඳවා තොරතුරු වීමසීමට රජු තීරණය කළා.

කරුණු වටහාගත් රජු මඝ තරුණයා ඇතුලු පිරිසට අභයදානය දී තෑගීබෝග ද ලබාදුන්නා. රජු මුලාවට පත්කළ ගම්මුලාදෑනියාත් ඔහුගේ දරු පවුලත් මඝ ඇතුලු පිරිසගේ අතවැසියන් බවට පත්කළා. මෛත්‍රීය, කරුණාව අභියස තිරිසන් සතුන් වුව මෙල්ල කිරීම අපහසු නැත. යහගුණ පිරී කුසලට ලොබ බැඳී සිත වරදට කැඳවාගැනීම අපහසුය. කෙනෙකු කරන හොඳ හෝ නරක ක්‍රියාවක ප්‍රතිඵල මෙලොවදීම ඵල දෙනු ඇත. කුසලට කම්මැලි වුවන් නිරයට පත්වේ. දුර්ලභ වු මිනිස්භවයට අර්ථයක් එක්කිරීමට පින්කම් කළයුතුය. එය හෙට නොව අද සිටම කළයුත්තකි.