තුන් ලොවට කළ සෙතක්

දුක් ගිනි නිවාලන
අමා වැසි වස්සන
සමසේ මෙත වඩන
සමිඳ ඔබ පා වඳිමි බැතියෙන

සතළිස් පස් වසක්
තුන් ලොවට කළ සෙතක්
දෙසු සේක දම් රැසක්
දුකින් මිදෙනා මගක්

රන් මැලි සෑ වරුණ

නා, සුර, බඹුන් අහසින් විත් වඳින්නේ
මිනිසුන් බිමින් විත් පැදකුණු කරන්නේ
ඇත් වැට නිසල, නිරතුරු හිමි රකින්නේ
රන් මැලි සෑය අනුරාපුර දිලෙන්නේ

සෑරදු කොත් මුදුන, නො සැලී සිටියාට
බිම සිටි අය දකී එය පාවෙන විලස
‘මිරිඟුව එය යි, ජීවිතය ද ඒ විලස
වියැකේ, සිතනු මැන අනියත බව නියත

අරුම පුදුම පූජාවක්!

මුහුණෙන් පෙනෙන්නේ අසිරිය පින්කාර
සිරුරෙන් පෙනෙන්නේ ගති සීලාචාර
පෙන්වා සිටින්නේ ගති නිරහංකාර
“මානකඳුරෙ” බුදු පුතු “පඤ්ඤාසාර”

මව්ගුණ ගයන්නට කවියෙන් හරි සූරයි
මගෙ හදවතේ නොනිවී දැල්වෙන පහනයි
සසරේ වසන තුරු බුදු පුතු මට උරුමයි
දළදා සමිඳුගේ පිහිටයි! රැකවරණයි!

පුරපස

සසල සිතක නිසසල බුදු නුවණ කරා
විදුල එළිය විහිදා විදුරසින් දරා
පතළ මහා කරුණා බුදු ගුණය පෙරා
බිනර සඳ නැගෙයි පුරපස ගුවන අරා