Print this Article


මතු උපත සිහි ගන්වන මරණය

මතු උපත සිහි ගන්වන මරණය

උපත සමඟ සහජාතව එන අනෙක් සංසිද්ධිය නම් මරණය යි. උපත සැබෑ නම් මරණය ද ඊට සමගාමීව අප ලුහු බඳී . උපතත් සමඟ මරණය අප පසු පස එන්නේ කඩුවක් අමෝරාගත් වදකයෙක් අප පසුපස පන්නන්නාක් මෙනි. මිනිසුන් වඩාත් ඇසීමට අකැමැති වචනය ද ‘මරණය’ යන්නයි.

මරණය හා සම්බන්ධ සමාජ පිළිගැනීම්, සම්මතයන් බොහෝ වෙති. මිය යන අය නැවත උපදින බව ඇතැම් අය විශ්වාස කරති. ඇතැම්හු නැවත උපත නොපිළි ගනිති. මරණින් මතු නැවත උපතක් ඇති බවට සාධක බොහෝමයක් දක්වා ඇත.

මරණයෙන් පසු එම පුද්ගලයා ම උපදින බව පිළි ගන්නා අය ශාස්වත වාදීන් ලෙසත්, මරණින් මතු උපතක් නැතැ’යි සිතන්නවුන් උච්ඡේද වාදීන් ලෙසත් සැලකේ. බුදු දහම එහිලා අවධාරණය කරන්නේ හේතු ඵල සමුදායෙන් හටගත් පඤ්චස්ඛන්ධය නාම , රූප දෙකෙන් යුතු බවත් ඒවා නිරන්තරයෙන් වෙනස් වෙමින් සැකසෙමින් පවත්නා පටිච්ඡ සමුප්පන්න ධර්මයක් බවත් මරණින් පසු රූප කාය අතහැර නාම ධර්ම පමණක් ඇති භවයක් නිර්මාණයට දායක වන බවත් ය. මෙම ක්ෂණයක් පාසා සිදුවන වෙනස් වීම නිසා දිගින් දිගට නොසිඳී පවත්නා සංස්කාරයක් නොමැති බව දේශිත ය.

ආයති භවය පිළිබඳ මුල සිට ම විවිධ මත දක්වා ඇත. සෑම ප්‍රාථමික සමාජයක ම මරණින් මතු උපතක් සිදුවන බව පිළිගෙන ඇත. ඒ අනුව උපදින අය පුද පූජා , යාගහෝම, බලි බිලි තටු දීම, ස්තෝත්‍ර ගීතිකා , ගායනය පැවැති බව පුරාණ වේද ග්‍රන්ථ ආදියෙන් පැහැදිලි වේ. මොහෙන්දෝජාරෝ හරප්පා හා ශ්‍රීක ශිෂ්ටාචාරවල ද මළවුන් පිදීම පැවැති බව හමුවී ඇති ඵලක රූප සටහන් ආදියෙන් සනාථ වෙයි. ලංකා ඉතිහාසය පරීක්ෂා කරන විට ද අතීත සමාජය චිත්තරාජ, කාලවේල, වලවාමුකී, ව්‍යාධ දේව, කම්මාර දේව ආදීන් පුද පූජාවට ලක් කර ඇත.

මිය යන සැම දෙනා ම නැවත ආත්මභාව ලබා ගන්නා බව විශ්වාස කළ පැරැන්නෝ යක්ෂ, පේ‍්‍රත, පිශාච, කුම්භාණ්ඩ ආත්මභාව ලබන ඥාතින් අපට කරදර කරති’යි බියට පත්ව සිටිය හ. එම පිරිස් පාළු, අපවිත්‍ර, අඳුරු ස්ථාන, සොහොන් භූමි ආශ්‍රිතව සිටිතැ’යි සිතූ හ. මධ්‍යහ්නය ගොම්මන් (ගවයන් ගාල්වන) වේලාව රාත්‍රී (යාම – ජාම) වේලාවන් එම භූත කොට්ඨාශයන් ගැවසෙන වේලාවල් නිසා තනිපංගලමේ ගමන් බිමන් නොයා යුතු යැ’යි සම්මතව තිබුණි. විශේෂයෙන් කාන්තා පක්ෂයට එම වේලාවල බැහැරට යාම තහනම් විය. වර්තමානයෙහි දී ද මිය ගිය අය පිළිබඳ බියක් ජන සමාජය තුළින් දිස් වේ.

යමෙක් මිය පරලොව ගිය පසු එම දේහය පිළිබඳ ආගමික චාරිත්‍ර ඉටු කිරීම වැදගත් කාර්යකි. මිය ගිය අය කුමන තරාතිරමක අයකු වුව ද අවසාන ගෞරවය ඉතා ඉහළින් දැක්වීම සිරිතකි.

මිය ගිය ඥාතීන්ට පින් දීම බුදු දහමේ ද අනුගමනීය පිළිවෙතකි. බුද්ධ කාලීන සමාජයෙහි පැවැති අවිධිමත් මළවුන් පිදීමේ ක්‍රියාවලිය සංස්කරණයට ලක් කළ බුදුරජාණන් වහන්සේ ගිහි, පැවිදි, දෙවියන් සහිත ලෝකයෙහි සැමට පින අවශ්‍ය බව දේශනා කොට දානා දී පුණ්‍ය ක්‍රියා කර පින් දීම සුදුසු බව දේශනා කළ හ. “පුඤ්ඤානි පරලොකස්මිං - පතිට්ඨා හොන්ති පාණීනං” යනුවෙන් පරලොව යන්නන්ට පින පිහිටවන බව ද දේශිත ය. හත් දින, තුන් මාසය, අවුරුද්ද හා ඉඩ ලැබෙන අවස්ථාවල පින් දීම සිරිතකි. සෑම ආගමක ම පාහේ මෙම පින් දීමේ ක්‍රියාවලිය දක්නට ඇත.

මළගෙය හා බැඳුණු පැරැණි සිරිත් රාශියක් ද විය. මළ පුවත දැනුම් දෙන්නේ බුලත් අත නො පිට හරවා දෙමිනි. නිවසෙහි බුලත් වට්ටිය සකසන්නේ ද කොළ නො පිටට තබමිනි. නිවසේ ඇති ඡායාරූප ආදිය කණ පිට හරවා තබයි. නිවසේ ඉවුම් පිහුම් නො කෙරේ. නිවැසියන්ට ආහාර සපයන්නේ අසල්වාසී හිතවතුන් ය. නිවැසියන් හා නිවසට යන එන සෑම දෙනාම අඳින්නේ සුදු හෝ චාම් ඇඳුම් ය. හත් දින දක්වාම වෙස්සන්තර ජාතකය ශෝකී ස්වරයකින් ගායනා කෙරේ. දේහය නිවසින් බැහැර කළ පසු මළ බත උයා පිහා වළ කැපීමට සහභාගිවූවන්ට සංග්‍රහ කරයි. සත් දිනක් පුරා දොර ජනෙල් වසා නො තැබේ. අවමඟුල් දිනයෙහි දී සත් දින ධර්ම දේශනාව ශ්‍රවණයට හා දානමය පින්කමට විවෘතව ආරාධනා කෙරේ. තෙමසක් ගතවන තුරා නිහඬ , චාම්, ශෝකී පැවැත්මක් එම නිවස ආශ්‍රිතව පවතී. හත් දින ධර්ම දේශනාවේ දී දේවාරාධනාව නො කෙරේ. පැමිණෙන්නන් සඳහා තේ පැන් සංග්‍රහයක් පමණක් පැවැත්වීම සිරිතකි.

අද එය භෝජන සංග්‍රහයක් බවට පරිවර්තනය වී ඇත. එය දුප්පත් මිනිසුන්ට දාරාගත නො හැකි ය. එහෙත් සමාජය අපේක්ෂා කරන දේ නො කළහොත් මදිකමක් වෙතැ’යි සිතා අසීරුවෙන් ඉටු කරන සංසිද්ධියක්ව ඇත.