Print this Article


විමාන වත්ථු කථා 8 : තෘතීය නාවා විමානය

විමාන වත්ථු කථා 8 :

තෘතීය නාවා විමානය

මෙයට පෙර නාවා විමාන වස්තු දෙකක් කියවූ ඔබට මෙහිදී විමාන වත්ථු අටුවාව ඇසුරෙන් තුන්වන නාවා විමානය වස්තුව ද මෙසේ ඉදිරිපත් කරමි. මෙම ලිපි පෙළ ලිවීමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ මේවායින් කියැවෙන සාරධර්ම සිත් දරාගෙන අපගේ එදිනෙදා ජීවිතය සම්මා ආජීවයෙන් පුරවා ගැනීමට කටයුතු සලසා ගැනීමට උපකාරයක් කරගනු පිණිස ම ය. සදිව්‍ය ලෝක හා සතර අපාය ( හය හතර) දන්නෝ පවට ලජ්ජා වෙති. පවට භය වෙති. එපමණක් ම ප්‍රමාණවත් නොවේ. පින් ද කළ යුතු ම ය.

ආරම්භක ප්‍රථම නාවා විමාන කථාවේ “නාවා” යනු නැව යන අර්ථය සඳහන් කළේය. මෙහි ද නැවකට නැගී සිටින අයුරෙන් මෙම දෙව්දුව දිස්වන හෙයින් මෙනම් වීය.

පෙළෙහි එන විස්තර විස්තර මෙසේ ය.

බුදුරජාණන් වහන්සේ :–

පින්වත් දෙව්දුව ඔබ රනින් කළ පියැසි ඇති නැවකට නැගී දිව්‍ය මලින් ගැවසුණු පොකුණට බැස අතින් දිව මල් නෙළමින් සිටින්නෙහි ය.

කොටස් වශයෙන් බෙදන ලද ප්‍රමාණවත් වූ කුළු ගෙවල් ඇති බබළන ඔබගේ විමන හාත්පස සිවුදිගින් ම බබුළුවයි.

කවර පිනෙකින් මෙබඳු සිරුරු පැහැයක්, මනවඩන සම්පත්, සමෘද්ධ වන සම්පත් ලැබුණේ ද?

සංගීතිකාරක

බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ විචාරන ලද ඒ දෙව්දුව සතුටු සිත් ඇත්තී ය. පින්පලය මිනිස් ලොව දී කවර කර්මයක් කොට ලැබුණේදැයි දෙඅත් එක් කොට හිසටත් උඩින් ඔසවා වැඳගෙන ම මෙසේ ප්‍රකාශ කළා ය.

දෙව්දුව :–

ස්වාමීනි, මම පෙර ආත්ම භවයෙහි මිනිස් ලොව මිනිස් දුවක් වෙමි. හටගත් පිපාසා ඇති ක්ලාන්ත වූ භික්ෂූන් දැක නැගී සිට වළඳන්නට පැන් දුනිමි.

එදා මා කළ මේ පුණ්‍ය කර්මයාගේ විපාක ලෙසින් ගලාබසිනා සිහිල් දිය ඇති සුදුවැලි සහිත ගංගාවෝ විමන වටකොට ඇත. පිපුණු මල් ඇති අඹ සල් මදටිය දඹ ඇසළ හා පළොල් රුක් ද ඒ නදී ඉවුරෙහි ඇත. සිවු දිගින් හාත්පසින් බබළන මේ විමානය ද ලබන ලදී. බුදුරජාණන් වහන්සේ ද මාගේ යහපත පිණිස ඒ පැන් වැළඳූ සේක.

අටුවාවේ එන උප්පත්ති කථාව මෙසේ ය.

බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයේ “ථූණ” නම් වූ බමුණු ගමකට වැඩි සේක. මේ පුවත ගම්වැසි, තුනුවරුන් කෙරෙහි පැහැදීමක් නැති, මිථ්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයන්ට අසන්නට ලැබිණි. ඒ ශ්‍රමණයන් දෙතුන් දවසක් මෙහි වැඩ සිටියහොත් මෙ ගම් වැසි ජනතාව ඒ වචන වලට අනුගත වෙති. එවිට බ්‍රාහ්මණ ධර්මය අසරණ වන්නේ යැයි ඔවුහු සිතූහ. බුදුරජාණන් වහන්සේට ආවාස තැනීම වළක්වා, පැන්හල් නැවතුම් හල් ආදිය අබලන් කරවා, ඒ දඬු පාලම් කඩා දැමූ හ. එහි තිබූ එක් ළිඳක් හැර ඉතිරි ළිං සියල්ල තණකොළ – පිදුරු බොල් වී ආදිය දමා වසා දැමූහ. ගෞතමයන් වහන්සේ මෙහි පැමිණෙන්නේ නම් පෙර ගමන් යාම, ශ්‍රාවකයන්ගේ , නිවෙස් වලට පැමිණියහොත් දන් නොදිය යුතු ය යන නියමයක් ද කතිකා කරගෙන සිටියහ. බුදුරජාණන් වහන්සේ මේ දැක ඔවුනට අනුකම්පා කරමින් භික්ෂු සංඝයා සමගින් අහසින් ථූණ බමුණු ගමට වැඩම කළහ. එක්තරා ගසක් මුල පැන වූ ආසනයක වැඩහුන්හ. මේ අතර බොහෝ ස්ත්‍රීහු, බුදුරජාණන් වහන්සේට නුදුරින් දිය ගෙන ගමන් කරති.

මේ ස්ත්‍රීන් අතර එක් බමුණකුගේ දාසියක් ද පැන් ගෙන යමින් සිටියා ය. ඇය භික්ෂූන් පිරිවරා සිටි බුදුරජාණන් වහන්සේ දැක මේ සියල්ලෝ විඩාපත්ව, පිපාසිතව සිටිත් යයි සිතුවා ය. සිත පහදවා ගෙන පැන් පුදනු කැමැති වූවා ය. ගම්මුන් සියල්ල ගෞතමයන් වහන්සේට කිසිවක් නොදිය යුතුය. පිළිසඳරක් පවා නො කළ යුතු යැයි කී බව ද ඇයට සිහි වූවා ය. ඒ වහාම පැන් ලැබීමට සුදුසු මෙවන් පින් කෙතක් මගහැර යාම කිසිසේත් නොහොබී යැයි ද සිතුවා ය. ගම්වැසි සියල්ලෝ එක්ව මා නසත්වා. බැඳ තමත්වා, කවර කලෙක මා මේ දුක්ඛිත ජීවිතයෙන් මිදෙම් ද? විය යුත්තක් වේවා යි! සිතා එක්ව ආ අනෙක් ස්ත්‍රීන් පවා විරුද්ධ වෙද්දී, බුදුරජාණන් වහන්සේට ළංව, පසඟ පිටුවා වැඳ වැටුණාය. ආර්යයන් වහන්ස, මට කරුණා කරනු මැනුව, කියමින් පැන් කළය දෙ අතින් අල්වා ගෙන පසෙකට නවා හටගත් සොම්නස් සිතින්පැන් සඳහා ආරාධනා කළා ය. භාග්‍යවතුන් වහන්සේ ඇයගේ සිතේ පැහැදීම බලා ඇයට අනුග්‍රහ පිණිස අත් පා සෝදා පැන් පානය කළහ. එහෙත් කළයෙහි ජලය අඩු නොවීය. ඕ තොමෝ ඒ බව ද දැක තව තවත් ප්‍රසන්න වූ සිතින් එක් නමකටය, තවත් නමකට ආදි වශයෙන් සියලු භික්ෂූන් වහන්සේ ට ම පැන් පූජා කළා ය. ජලය අඩු නොවූයේ ම ය.ඇය තව තවත් සිත පහදවා ගෙන දිය පිරුණු කළයෙන් යුතු ව ම නිවසට ගියා ය. මෙවිට එම නිවසේ බමුණා ඇය බුදුරදුන්ට පැන් පිදූ බව අසා, ඇය විසින් ගමේ වූ කතිකාවත බිඳ හෙලුවාය. මම ද ගැරහීමට ලක් කළේ යැයි ක්‍රෝධයෙන්, වෙව්ලමින් බිම පෙරළාගෙන, අතින් පයින් පහර දුන්නේ ය. මරණයට පත්ව තව්තිසා දෙව්ලොව ගොස් ඉපිද ඉහත වූ පරිදි දෙව් සරින් සරුවූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ අමතා, ආනන්ද ළිඳෙන් පැන් ගෙන එන්නට යැයි වදාළහ. ස්වාමීනි, ථූණ වාසීන් ළිඳ අපිරිසුදු කර ඇති හෙයින් පැන්ගෙන ඒමට හැකිවෙන්නේ නැතැයි කීහ. තෙවන වර තෙක් අණ කෙළෙන් පාත්‍රය ගෙන ළිඳ ළඟට ගිය විට පිරිසුදු ජලය උතුරා හාත්පසින් ගලා බසිනු දුටුවහ. ගලාගෙන ගිය ඒ ජලය අන් සියලු ජලාශයන් ද පිරී ඒ ගම වටකොට පිරී යනු දුටු ගම්වාසීහු ආශ්චර්ය සිත් ඇතිව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සමාව ඉල්ලූහ. පැන් ආදි සියලු පහසුකම් සලස්වා පසු දිනට බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දනට ද ආරාධනා කොට ඛාද්‍යභෝද්‍යාදියෙන් වළඳවා අවසන සාමීචි කථා කරමින් එහි ම හුන්හ.

මෙකල දෙව්ලොව උපත ලැබූ දෙව්දුව, තමාගේ සිතන සිතන දේ ලබන සම්පත් දැක එයට හේතු දකින්නී බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට සිත පහදවාගෙන පැන් ටිකක් දන්දීම යයි දැන පී‍්‍රති විය. මම දැන්ම බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නේ නම් මැනවයි සිතා බුද්ධ ප්‍රමුඛ මහ සඟනට සුළුවු හෝ යහපත් ක්‍රියාවක් කිසියම් බාධක වෙත්නම් ඒ සියල්ල පසෙකට ලා පහදාගත් සිතින් කිරීමෙන් ලැබෙන පලය මහත් බව මිනිස් ලොව ප්‍රකට කරන්නෙමි යි ද වීර්ය සිතින් යුතුව සිත්හි දරා ගත්තාය. අප්සරාවන් (සේවක දෙව්ලියන්) දහසක් ද පිරිවරාගෙන උයන හා ගඟ සහිත විමානය ම සමඟ මහත් වූ දිව්‍ය ඍද්ධියෙන් හා දිව්‍යමය අනුභාවයෙන් ද යුතුව මනුලොවට පැමිණ මහජනතාව බලා සිටියදී ම විමානයෙන් බැස (ථූණා නුවර) වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. වැඳ ඇඳිලි බැඳ සිටියා ය. මෙම අවස්ථාවේ දී සියලු ජනයා අරභයා බුදුරජාණන් වහන්සේ වදාළ චතුස්සත්‍යය දේශනාව කෙළවර ඒ දේවතා තොමෝ සෝවාන් ඵලයෙහි පිහිටියා ය.