Print this Article


අකුසල චෛතසික - මච්ඡරිය : මසුරු බව සිතේ ඇණුන කටුවකි

මච්ඡරිය

මසුරු බව සිතේ ඇණුන කටුවකි

මසුරු බව සිතේ ඇණුනා වූ කටුවක් වගේ. අප දන්නවා කටුවක් අපේ පයේ ඇණුනාම එය කොතරම් පීඩාවක් ද කියා. පාදයේ ඇණුන කටුව අඩිය තබන වාරයක්, වාරයක් පාසා පුදුමාකාරයෙන් අපට රිදුම් දෙනවා. එසේනම් සිතේ ඇණුනු කටුව කෙතරම් අපට පීඩා ගෙන දෙනවා ද?

බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය පළමුවැනි ධර්ම සංගායනාව තුළිනුත්, මහරහතන් වහන්සේ හත්සිය නමක් සිදුකළ දෙවැනි ධර්ම සංගායනාව තුළිනුත්, තුන්වැනි ධර්ම සංගායනාව තුළිනුත් පූර්ණත්වයට පත්වෙනවා. එහි දී විනය, සූත්‍ර සහ අභිධර්ම ලෙස පිටක තුනක් හමුවෙනවා.

භාග්‍යවතුන් වහන්සේ ගේ සූත්‍ර දේශනා පැහැදිලි කරමින් කළ දේශනාවක් ලෙස අභිධර්මය හඳුන්වන්න පුළුවන්. එහි අකුසල චෛතසික ධර්ම දහයක් තිබෙනවා. ඒ අතරින් මච්ඡරිය එසේත් නැතිනම් මසුරුබව දුරු කළ යුතු අකුසලයක්.

මච්ඡරිය යන චෛතසිකයේ ප්‍රධාන ලක්ෂණ හතරක් තිබෙනවා. 1). තමන් සන්තක දෙයක් අන් අයෙකු පරිහරණය කිරීම දැකීම නො ඉවසීම. 2). තමා සන්තක දෙයක් අන් කෙනෙකුට ප්‍රයෝජනයක් වෙනවා දැකීම නො ඉවසීම, 3). තමන්ට තිබෙන සම්පත්තිය සඟවන ස්වභාවය සහ 4). තමන් සහ සමාන සම්පත්තියක් තව කෙනෙකුට තිබෙනවා දැකීම නො ඉවසීම යි.

ඒ වගේ ම අභිධර්ම පිටකයේ මච්ඡරිය නම් වූ අකුසල චෛතසිකය වැඩිදුරටත් මෙසේ විස්තර වෙනවා. ඒ ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, වණ්ණ මච්ඡරිය සහ ධම්ම මච්ඡරිය ලෙසයි. මෙහිදී ආවාස මච්ඡරිය – යනු අප වාසය කරන තැනයි. ඇතැම් අයට ගෙවල් දොරවල් යාන වාහන තිබෙනවා. ඒ දේවල් තවත් කෙනෙක් කෙනෙකුට නො ලැබේවා කියන වෛරයත් සමඟ ඇති වූ තෘෂ්ණා සහගත සිතිවිල්ල. කුල මච්ඡරිය - බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ දෙයක්. ඉන්දියාවේ පැවතුන බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය,වෛශ්‍ය කියන කුල ඉහළ කුල වුණා. ශුද්‍ර කුලයට ඉහළ තැනක් ලැබුණේ නැහැ. අවාහා විවාහ කටයුතුවලට වේවා, වෙනත් කටයුතුවල දී මේ කුලය බලපෑවා. ඊළඟට ලාබ මච්ඡරිය යි. ලාබය යනු ලැබීම යි. මේ ලෝකයේ නොයෙක් දෙනා නොයෙක් දේ ලබා ගන්නවා. තමන්ගේ අභිමතය පරිදි ධන ධාන්‍ය උපයා ගනිමින් නොයෙක් දේ ළඟා කර ගන්නවා. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙක් වාහනයක් මිල දී ගන්නවා. ඒ තැනැත්තාගේ හිතේ වාහනය සම්බන්ධයෙන් ආශාවක් හට ගන්නවා. ඔහු හිතනවා මෙවැනි වූ වාහනයක් තව කෙනෙකුට නො ලැබේවා කියා. එය ලාභ මච්ඡරිය යි. ඊළඟට වණ්ණ මච්ඡරිය යි. මෙය අපේ සමේ පැහැය යි. ඉන්දියාවට පැමිණි මුල් ම කණ්ඩායම වූ ආර්යයන්ව ඒ රටේ සිටි ස්වදේශිකයන් හැඳින්වූයේ සුදු පැහැ සමක් තිබූ තැනැත්තන් ලෙස යි. ඉතින් මේ අය තමන්ගේ වර්ණයෙන් උදම් වෙලා ස්වදේශිකයන්ව පහත් කර සැලකුවා. නමුත් ධර්මය අනුව වර්ණය අපට කිසිසේත් ම වැදගත් වන්නේ නැහැ. ඊළඟ කාරණය ධම්ම මච්ඡරිය යි. ධම්ම යනු අප ලබන්නා වූ අවබෝධය යි. මේ අවබෝධය ඇතැම් අය වැරැදි ආකාරයට ගන්නවා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අප ධර්මය හෙවත් අවබෝධය ළඟා කර ගතයුතු වන්නේ නිර්වාණය හෙවත් අවබෝධය පිණිස යි. එයින් පරිබාහිරව තවත් අයෙකුට ධර්මයෙන් දෝෂාරෝපණය කරන්නට හෝ මම ධර්මය දන්නවා, ඔබ දන්නේ නැහැ කියමින් පීඩාවට පත් කරන්නට නොවේ. ධර්මය වැරැදියට අල්ලා ගෙන අන් අයට ගර්හා කරන්නාට, නැතිනම් අන් අයට මේ ධර්මය අවබෝධ නොවේවා යන චේතනාවෙන් කටයුතු කරන පුද්ගලයාට තමන් වැරැදියට අල්ලා ගත් ධර්මය තුළින් ම පීඩාවක් අත් වෙනවා.

මේ උපමාවලින් මච්ඡරිය නැත්නම් මසුරුබව අකුසලයක් බව පැහැදිලි යි. මේ මසුරු බව නිසා ම ඒ තැනැත්තා විනාශයට පත් වෙනවා. මසුරු බව සිතේ ඇණුනා වූ කටුවක් වගේ. අප දන්නවා කටුවක් අපේ පයේ ඇණුනාම එය කොතරම් පීඩාවක් ද කියා. පාදයේ ඇණුන කටුව අඩිය තබන වාරයක්, වාරයක් පාසා පුදුමාකාරයෙන් අපට රිදුම් දෙනවා. එසේනම් සිතේ ඇණුනු කටුව කෙතරම් අපට පීඩා ගෙන දෙනවා ද? සිත කියන්නේ බොහෝම සියුම් බොහෝ දුරට සැලෙන දෙයක්. බොහෝ දුර ගමන් කරන දෙයක්. ඉතින් සිතට නැඟුන මේ අකුසල සිතිවිල්ල සිත අයිති තැනැත්තා පුදුමාකාර පීඩාවකට, වේදනාවට පත් කරනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ මසුරුබව නැතිනම් මච්ඡරිය වූ අකුසලය දුරු කළ යුතුය කියා. සිතේ ඇණුනු කටුව ගලවා ගත හැක්කේ ඒ තැනැත්තාට පමණ යි. ඇණුනු කටුවේ වේදනාව දැනෙන්නේත් ඔහුටම යි. ඒ නිසා මසුරුබව නැතිනම් තමන්ගේ සම්පත්තිය අන් අයට නො ලැබේවා කියන සිතිවිල්ල දුරු කර බුදුරජාණන් වහන්සේ ගේ දේශනාවට අනුව අපේ ජීවිත සාර්ථක කර ගන්නට අපි උත්සුක වෙමු.