ළා දලු බෝ පත් සෙමින් සැලෙන සේ ...
සාර්ථක යුග දිවියක් සඳහා බුදු දහමෙන් ලැබෙන අවවාද අනුශාසනා අපමණ ය. නිවසක සිරිකත
රැඳී ඇත්තේ බිරියක අතේ ය. විටෙක ඇය තම ආදරණීය ස්වාමියාට සොඳුරු බිරිඳකි. තවත්
භූමිකාවක දී ස්වාමියාගේ ත් දරුවන්ගේ ත් ආදරණීය අම්මා ය. ඇය සොයුරියකි ,යෙහෙළියකි.
තවත් විටෙක නිවසේ දාසිය වන්නී ද ඇය යි. සත්විධ භාර්යාවන් අතුරින් භගිනී භාර්යාව,
මාතු භාර්යාව, සිඛී භාර්යාව, දාසි භාර්යාව ලෙසින් යශෝධරාවන් සසර මඟ තමන් හා පියමං
කළ බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
බෝසතාණන් වහන්සේගේ සෙවණැල්ල සේ සසර මඟ පියමං කළ සදාදරණීය පතිනිය වූයේ සොඳුරු
යශෝධරාවන් ය. පතිව්‍රතාවේ ප්‍රතිමූර්තිය වන්නී ඇය යි. බෝසතාණන් වහන්සේ ද සාරා
අසංඛ්‍යය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ඇයට නොකියා ගිය ගමනක් නැත. එහෙත්, සසර මඟ අවසන්
භවයේ දී අසරණ ලෝක සත්ත්වයා වෙනුවෙන් බෝසතාණෝ තමන්ට නොකියා ගිය ගමන ඇයට දරා ගන්නට
අසීරු විය. ගුණ ගරුක යශෝධරාවෝ මේ විරහ වේදනාව දරා ගන්නී ඉතා සංයමයෙනි.
රඹුකන සිද්ධාර්ථ හිමියන් එය ගී පද වැළකට නැඟුවේ ‘ළා දලු බෝ පත් සෙමින් සැලෙන සේ’
යනුවෙනි. මෙම ගීතයට නාද මාලාව සපයන්නේ එච්. එම් ජයවර්ධනයන් ය. ගායනය කරන්නේ
කරුණාරත්න දිවුල්ගනේ ය.
ළා දලු බෝ පත් සෙමින් සැලෙන සේ
යශෝධරා දේවී
වාවනු බැරි තැන
රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. ඒ වේදනාවේ ස්වභාවය යශෝධරාවගේ ශෝකාකූල කතා පුවතින්
දැක්වෙයි.
ශෝකයෙන් හඬා වැළපෙන යශෝධරාවන්ගේ දසුන රසික මනසෙහි ඇඳෙන්නේ ගී පද රචනයත්, සංගීතයත් ,
මියුරු සර ගායනයත් නිසාවෙනි.
යශෝධරාවන්, බෝසතාණන් වහන්සේගේ ජීවන ගමනට මහත් වූ ශක්තියක්, පහන් ටැඹක් වූවා ය. ඇය
සසර මඟ තම සදාදරණීය ස්වාමියා සමඟ දුක සැප විඳ දරා ගත්තී සම සේ ය. සසරේ අවසන් භවයේ
දී දුෂ්කර ක්‍රියා කරන බෝසතාණන් වහන්සේගේ තොරතුරු අසා යශෝධරාවන් කම්පිත වූවා ය.
බෝසතාණන් වහන්සේ එක් වේලක් දන් වළඳන බව ඇසූ ඇය එක් වේලක් පමණක් ආහාර ගත්තා ය. රන්
බඳුන් ප්‍රතික්ෂේප කළ ඇය මැටි බඳුනක ආහාර ගත්තා ය. කසී සළු වෙනුවට කසා පිළි ඇන්දා
ය.
සසර භවයන්හි දී බෝසතාණන් සමඟ එක ම මඟ පැමිණි යශෝධරාවන්ගේ ගුණවත් බව ඇයට ගෞරවයක් සේ
බුදුන් වහන්සේ ද අගයා ඇත. යශෝධරාවන් පැමිණි ගමන් මඟ ගී පද රචක ස්වාමීන් වහන්සේ
දක්වන්නේ මෙලෙස ය.
ලේන කුලේ සිට ආගිය මඟ තොට
සිටියා නො සැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසු පස ආවා සෙවණැල්ලක් සේ
යශෝධරාවෝ උම්මග්ග ජාතකයේ දී මහෞෂධ පඬිතුමාගේ බිරිය අමරා දේවිය යි. චන්දකින්නර
ජාතකයේ දී කින්නරංගනාව වී තම ස්වාමියාට පතිව්‍රතාවේ බලයෙන් ප්‍රාණය ලබා දුන් සොඳුරු
සඳ කිඳුරිය යි. ලෙහෙන කුලයේ ලේනියක වී ද, වෙස්සන්තර ජාතකයේ රජු සමඟ රාජ්‍ය හැර දමා
වනගත වූ මන්ත්‍රී දේවිය ද වී දිගු සසර ගමනේ දී ආදරණීය ස්වාමියාගේ සෙවණැල්ල සේ
සිටියා ය.
යශෝධරාවන්ට ගිහි ගෙයින් නික්මුණු සිදුහත් කුමරු හමු වන්නේ සත් වසරකට පසුව ය. ඒ
වීතරාගී සම්බුදු හිමියන් ලෙසිනි. ඇය දරාගත නොහැකි ශෝකයෙන් සම්බුදු පා පියුම් මත වැඳ
වැටෙමින් හඬා වැළපුණා ය. නැවත සිහිය පිහිටුවා ගත් ඇය ඉමහත් බුද්ධ ගෞරවයෙන් එකත්පසව
තැන්පත් වූවා ය.
කෙලෙස් ගිනි නිවාලන, මොහඳුරට ළහිරු මඬලක් වූ අමාමෑණී බුදුරදුන්ගේ අසිරිමත් දසුන
හමුවේ ඇයගේ දුක් සෝ සුසුම් දහම් පහුරෙන් තුනී කර ගත්තා ය. ශ්‍රී මුඛයෙන් ගලා ආ අමා
දහරින් සැනසුණු ඇයට නිවන් මඟ විවර විය. එය උදෑසනක් සේ නිවී පහන් වූ බව ගී පද රචක
ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මෙසේ ය.
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝධරාවෝ
පිපී නිවන් මල් සාධුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
යශෝධරාවන් සසර මඟ තම සදාදරණීය ස්වාමියා වෙනුවෙන් සැප දුක හමුවේ ඇප කැප වූ අයුරු
අපූර්ව ය. පතිවත, ඉවසීම, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය වැනි අපමණ ගුණාංගයන්ගෙන්
බැබළුණු යශෝධරාවන් සමස්ත වනිතාවටම ආදර්ශයකි.
ජම්මික ප්‍රබෝධනී වැලිකල |