වස්සානයේ එළඹි
පුණ්‍ය කාලය
හිඟුරාන උත්තරජයමහා විහාරාධිපති
හිඟුරානේ සිරිධම්ම හිමි
ජීවිතය නම් අරගලයකි. කුස ගින්දර නිවා ගන්නට රුපියල් ශත සොයන්නට සිත, කය වෙහෙස
වීමෙන් පමණක් ඒ අරගලය නො සංසිඳේ. විටෙක දරුවන්ගේ ප්‍රශ්නය. නෑදෑ හිත මිතුරන්ගේ,
රැකියාවේ අධ්‍යාපනයේ ගැටලු ය.
කෙළවරක් නැති ප්‍රශ්න දම්වැල් පුරුක් සේ එකට ඈඳෙනවා මිස අරගලයේ නම් නිමාවක් නැත. ඊට
මැදි වී ව්‍යාකූල වූ මනසින් ගෙවන ජීවිතය බරකි. ඒ බර සැහැල්ලු වන්නට නම් සිතට
නිදහසක් ඇවැසි ය. සිත නිදහස් වන්නේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගත් පමණට ය. ඒ සඳහා මා
හැඟි මාර්ගයක් බෞද්ධයන්ට තිබේ. ඒ බුදු හිමියන් දේශිත සිරි සදහම් මඟ යි. කිළිටි
කෙලෙස් මළ සෝදා හැර අධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඇති කර ගන්නට අපූර්ව දහම් මාවතක් උන්
වහන්සේ විසින් අපට උගන්වා වදාළහ.
එළඹ තිබෙන්නේ ඒ දහම් මාවතට ප්‍රවිෂ්ඨ වන්නට සුදුසු ම කාලය යි. මේ වෙහෙර විහාරයක්
පාසා වෙසෙස් පින්කම් සිදු කෙරෙන වස්සාන සමය යි. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි
පූජා, භාවනා, බුද්ධ පූජා ආදී විවිධ පින්කම්වලට සහභාගී වන්නට අවුරුද්දේ අන් කාලවලට
වඩා මෙකල අවස්ථාව හිමි වේ. භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ම
ශාසනික වශයෙන් එකට එක් වී කෙරෙන පින්කම්වලට සහභාගීවීම තුළ අධ්‍යාත්මික සැනසීමක් ලද
හැකි සේ ම මෙලොව ජීවිතයේ ත් පරලොව ජීවිතයේ ත් දියුණුව, සුබ සිද්ධිය පිණිස පින් රැස්
කරගන්නට ලැබෙන අවස්ථාව බෞද්ධයන් ලෙස මඟ නො හැරිය යුතු ය. බුදු රජාණන් වහන්සේ අනුදැන
වදාළ පින්කම් අතර වෙසෙස් වූ අට මහා කුසල් වලින් මුල් තැන ගන්නේ කඨින පූජා පින්කම ය.
ආනන්තරීය පාප කර්ම කරගත් කෙනෙකුට සසර ගොඩ ඒමක් නො වෙයි. ඒ අකුසල් ඉතා බලවත් නිසයි.
එහෙත් කඨින චීවර පූජා පින්කම් මඟින් සුළු අකුසල විපාක යම් අයුරකින් යටපත් කිරීමක්
කර ගන්නට පුළුවන. කඨින චීවර පූජාව ඒ සා බලවත් ය. එය විස්තර කෙරෙන්නේ කම්පා නොවන මහ
පොළොව සේ, මහා මේරු පර්වතය සේ, අධික සුළඟකින්වත් නො සෙල්වෙන ඒක ඝන පර්වතය සේ නො
බිඳෙන්නා වූ ද, බලගතු වූ ද එකම පින්කම කඨින චීවර පූජාව ලෙස ය.
ඇතැම්විට කෙනෙකුට කඨින චීවර පූජාව කරන්නට හැකියාවක් නොවේ යැ’යි පසුතැවිලි ඇති වීමට
පුළුවන. කළ හැකි කිසිවක් ම නො වේ නම් සිත් පහදවාගෙන එම පින්කම්වලට සහභාගී වීමෙන්
පමණක් වුව ද ලද හැකි පින සුවිශාල ය. ආවාස පූජාව, බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජාව,
සඟසතු දන්දීම, බුද්ධ ප්‍රතිමා ඉදි කරවීම, දහම් පොත පත ලිවීම, කෙත් වතු පූජා කිරීම,
වැසිකිළි කැසිකිළි තනා පූජා කිරීම ආදිය වස් කාලයෙ හි ඉහළ ආනිශංස ලැබෙන පූජාවන්.
එක් අවස්ථාවක නාගිත හිමියන් විසින් තමන් එක් ආත්ම භවයක කළ කඨින චීවර පූජාවක් නිසා
ලද අනුසස් බුදු රදුන් හමුවේ ප්‍රකාශ කර සිටියහ.
කඨින දානං දත්වා න
සංඝෙ ගුණ වරුත්ත මේ
ඉතො තිංසේ මහා කප්පේ
නාභි ජානා මි දුග්ගතිං
“ සීලයෙන් හා ගුණයෙන් උතුම් මහා සංඝයා වහන්සේට කඨින චීවර පූජාව සහිත දන් දුන්නෙමි.
ඒ ලද පිනෙන් මහා කල්ප තිහක් ම මම දුගතියක් නො දුටුවෙමි”
නාගිත හිමියන් එම කඨින පූජා පින්කම සිදු කළේ “විපස්සී” නම් බුදු හිමි දවස ය. එකල
උන් වහන්සේ “බන්දුමතී” නම් නුවර දානපතියෙක් ව සිටියහ. බොහොම සිල්වත්ව නිතර දාන මානා
දී පින්කම් සිදු කළහ. දිනක් විපස්සී බුදු හිමියන්ගෙන් බණ අසා බොහෝ පැහැදුණහ. බුදු
පාමොක් මහා සඟරුවනට මහා දන් පිළි ගැන්වූහ. භික්ෂූන් වහන්සේට වස් ආරාධනාකොට
සිව්පසයෙන් උපස්ථාන කළහ. බොහෝ පිරිකර සහිතව කඨින චීවර පූජාවක් කළහ. බොහෝ කාලයක් සතර
අපායට නොවැටී මිනිස් ලොව ද සදෙව් ලොව ද ඉපදී සැප සම්පත් ලබන්නට හේතු වුණේ ඒ මහා
පින්කමෙන් ලද කුසලය යි.
සාමාන්‍ය ජීවිතයේ අප වෙතින් සුළු අත්වැරැදීම් සිදු වේ. දැන කළ ද, නො දැන කළ ද සුළු
වී ද, විශාල වී ද වරද, වරදම යි. විපාක විඳින්නට සිදු වේ. එහි කෙළවරක් නොවේ. එහෙත්
අට මහා කුසල් අතර එන කඨින චීවර පූජාව වැනි බලගතු පින්කමක් කර ගත්තේ නම් තමන්ගේ
පුණ්‍ය ශක්තිය වැඩි දියුණු කර ගන්නට හැකි යි.
එවන් පින්කමක් කර ගන්නට තමන්ට වත්කමක් ශක්තියක් නො වේ යැ’යි සිතමින් කෙනකුට
පසුතැවෙන්නට පුළුවන්. එහෙත් වටිනා කාලයක්, ශ්‍රමයක් වැය කරන්නට වත්කමක් ඇවැසි වන්නේ
නැත. මේ වස්සානයේ හැකි සෑම විටෙකම පන්සලට යන්න. වෙහෙර මළුව , බෝ මළුව ඇමැද පිරිසුදු
කරන්න. බුදු කුටිය, මල් අසුන් පිරිසුදු කරන්න. වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේගේ දුක
සැප සොයා බලා උන් වහන්සේට ඇප උපස්ථාන කරන්න. පුද පූජාවන්ට සැදැහැ සිතින් සහභාගි
වන්න. ඔබට පින් රැස් වේ. වෙසෙසින් දරුවන්ට ද ඒ ආදර්ශය ලබා දෙන්න. දහම් අසන්න.
ධර්මයෙහි හැසිරෙන්නට උත්සාහ කරන්න. ඔබ සේ ම දරුවන් ද දහම් සිසිලෙන් නිවේ.
කුඩා කල සිට ම ආගමට දහමට අනුව හැදෙන වැඩෙන ඔබගේ දරුවා වැඩිහිටියකු වී ද වැරැදි
කරන්නේ නැත. වැඩිහිටියන්ට, පූජ්‍ය පක්ෂයට , මවුපිය වැඩිහිටියන්ට නො සලකා හරින්නේ
නැත. පවට බිය වේ. ලජ්ජා වේ. එවැනි දරුවෙක් සමාජයට දායාද කිරීම මවු පියන්ගේ වගකීමක්
බව හොඳින් සිතට ගෙන කටයුතු කළ යුතු ය. සමාජයේ හෙට දවස ලස්සන වන්නේ ත්, අර්ථවත්
වන්නේ ත් එවිට ය. |