Print this Article


පැරැණි බණ කථාවල අතීත ලංකාව

පැරැණි බණ කථාවල අතීත ලංකාව

සමහරු ධර්මය පිළිබඳ තම ශක්ති ප්‍රමාණයෙන් පර්යේෂණ ද කළහ. භාතිය රජු එවැන්නෙකි. ඔහු “මහණෙනි යම්කිසි මල් සුවඳක් වේද, දෑසමන් මල් සුවඳ ඒ අතර අග්‍ර වේ” යන බුද්ධ දේශනාව පිරික්සා බැලීමට කාමරයක නොයෙක් වර්ගයේ මල් පුරවා මඳ වේලාවකින් එහි පිවිස දෑසමන් මල් අතිශය සුවඳවත් බව තීරණය කළ බව පවසයි. මෙම රජවරු ලංකාව වෙනත් රටවල් අතර වැදගත් වන්නේ වෛද්‍ය කෘෂිකර්ම ආදී විද්‍යාවන් නිසා නොව ආගම නිසා බව දැන සිටියහ.

සිංහල ජාතියේ සංස්කෘතික සමාරම්භය ඇතුළු ශාසනික තොරතුරු රාශියක් පැරණි බණකථාවල දක්නට ලැබේ. දෙවනපෑතිස් මිහිපලුන් අශෝක අධිරාජයා සමග පැවැත් වූ සබඳතා, ඉන්දු - ලංකා මිත්‍රත්වය, එයින් පෝෂිත මෙරට අධ්‍යාපනය, චිත්‍ර, මුර්ති, කැටයම්, කාව්‍ය නාටකාදී කලාංගයන් පමණක් නොව ගෘහ නිර්මාණ ශිල්පය හා සුළු කර්මාන්තාදියත් පිළිබඳ ව මේවායෙහි සඳහන් කරුණු අතිශය වැදගත් වේ.

බුදුදහම මෙරට ව්‍යාප්ත කරලීම සඳහා සිංහල මහරජවරුන්ගේ දායකත්වය උපරිම අයුරින් ලැබුණු බවත් එහෙයින් ම මෙරට රාජධානිවල විස්මිත සංවර්ධනයක් සිදුවූ බවත් බණකථා ඇසුරෙන් හඳුනාගත හැකි ය. තව ද බණකථාවලින් අනාවරණය වන පරිදි ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටුවීම සඳහා අවශ්‍ය ස්තූප, උපෝෂථාගාර, උද්‍යානාදියත්, ශ්‍රී මහා බෝධි ශාඛා මෙරට නොයෙකුත් ස්ථානවල රෝපණය කරවීමත්, තම මෙහෙසිය ඇතුළු 500 ක් හෙළ කතුන් පැවිදි කිරීමත් වැනි කාර්යයභාරයන් රැසක් දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉටු කරන ලදී.

මේ හැරුණුවිට රුවන්වැලි මහසෑය කරවන ලෙස අයැද ශිලා ලේඛනයක් කරවා අනාගත පරපුරට දන්වා සිටි බව සඳහන් වීමත් නිසා, බුදුදහම රාජ්‍යාගම බවට පත්කිරීමේ මූලික පියවර තබන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසින් බව අවිවාදයෙන් පිළිගත යුතු ය. සිංහල රාජාවලියේ රජවරු කීප දෙනෙකු පිළිබඳ බොහෝ තතු බණ පොත්වල නිතර හමුවේ. මොවුන් අතුරෙන් දෙවනපෑතිස් රජු පිළිබඳව මහත් භක්තියකින් සිහිපත් කළේ ඔහුගේ උදාර සේවාව නිසා විය යුතු ය. ඒ හැරුණු විට සද්ධාතිස්ස, භාතිය, වසභ, මහදාඨිකමහානාග, වළගම්බා, කූටකණ්ණතිස්ස, දාඨාකනාග යනාදී රජවරු ගැන ද කීමට ප්‍රිය කළ බව පෙනේ. මහාවංසයේ සඳහන් නො වන රජවරුන් කීප දෙනෙකු පිළිබඳව ද බණකථාවල සඳහන් වේ. නාගදීපයේ පාලනය ගෙන ගිය දීපරාජ නම් අප්‍රධාන රජෙකු විසූ බව ද, මහානාග නම් තවත් රජෙකු සිය සොහොයුරා සමඟ විදේශයකට ගොස් පැමිණි බව ද පිතුරාජ නමින් බණපොත් හි සඳහන් වන වළගම්බා රජු ගැන ද වැදගත් කරුණු රාශියක් වේ.

මොවුහු බුදුදහම ගැන අවදියෙන් විසූහ. මෙම රජවරුන් අතර සමහරු ධර්මය පිළිබඳ තම ශක්ති ප්‍රමාණයෙන් පර්යේෂණ ද කළහ. භාතිය රජු එවැන්නෙකි. ඔහු “මහණෙනි යම්කිසි මල් සුවඳක් වේද, දෑසමන් මල් සුවඳ ඒ අතර අග්‍ර වේ” යන බුද්ධ දේශනාව පිරික්සා බැලීමට කාමරයක නොයෙක් වර්ගයේ මල් පුරවා මඳ වේලාවකින් එහි පිවිස දෑසමන් මල් අතිශය සුවඳවත් බව තීරණය කළ බව පවසයි. මෙම රජවරු ලංකාව වෙනත් රටවල් අතර වැදගත් වන්නේ වෛද්‍ය කෘෂිකර්ම ආදී විද්‍යාවන් නිසා නොව ආගම නිසා බව දැන සිටියහ. එනිසා ඊට ගරු කළහ. භික්ෂූන් රැක බලා ගත්හ.

කූටකණ්ණ රජු චූලනාග තෙරුන් කෙරේ මහත් ලැදියාවෙන්, උන්වහන්සේගේ ඇඟිල්ලක තිබූ ගෙඩියක සැරව මුඛයෙන් ගත් බව සඳහන් වී තිබීම මෙරට රජවරුන් භික්ෂූන් වහන්සේලා කෙරෙහි භක්තිමත් වූ ප්‍රමාණය හඳුනා ගැනීමට කදිම නිදසුනකි. මෙරට රජවරුන් සම්බන්ධ මෙවන් තොරතුරු රාශියක් පැරණි බණකථාවල සඳහන් වේ. පැරණි ලංකාවේ ආගම මුල් කරගත් අධ්‍යාපනයක් පැවතුණි. අධ්‍යාපනික මධ්‍යස්ථාන වශයෙන් මහාවිහාරය, අභයගිරිය, සෑගිරිය, සිතුල්පව්ව, දක්ඛිණපබ්බත, හත්ථිකුච්ඡිගිරිය හා දීඝවාපිය ආදි තැන් ප්‍රසිද්ධව පැවතුණි. මෙයිනුදු මහාවිහාරය ම ප්‍රමුඛ වූ බව සිතීමට බොහෝ සාධක ඇත. එහි උගත් යතිවරු බොහෝ වූහ. එසේ ම මෙම අධ්‍යාපනය මුදලට යට නොවී පැවති බව කිව යුතු ය. මහාචේතිය මළුවේ

පංති පැවැත්වුණි. ඊට භික්ෂූ භික්ෂුණී දෙපිරිස ම සහභාගී වූහ. බුදුගුණ ලියූ පොතක් (මුටිඨිපොත්ථක) ඔවුන්ගේ අත් බෑගයේ නිතර ම තිබුණි. නරක සිතුවිල්ලක් ඇති වුවහොත් කියවීම සඳහා එය භාවිත විය. ජනකවිය සිංහල සාහිත්‍යයේ සිත්ගත් අංගයකි. පැල් රකින, ගොයම් කපන, ගමන් යන අයගේ වෙහෙස දුරලීමට එය භාවිත වේ. සිංහල ජනකවියේ ආරම්භය සොයන කෙනෙකුට සුත්තනිපාතයේ සුභාෂිත සූත්‍රය ආශ්‍රිත බණකථා විස්තරය ප්‍රයෝජනවත් වේ.

එක් පුද්ගලයෙකු වටා අසීමිත බලයක් ඒකරාශි වූ තැන ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ විනාශ වන නමුදු ආගමික ශික්ෂණය යටතේ ගොඩනැගුණු පාලකයින් බිහි වූ නිසා පැරණි ලංකාවේ ධර්ම නීතිය මැනවින් ක්‍රියාත්මක විය. අධිකරණ බලය භික්ෂූන්ට ද මේ යුගයේ හිමි විය. ගෝදත්ත නම් තෙරුන්ගේ විනිශ්චය රජය මහත් ඉහළින් සලකන ලදී. උන්වහන්සේගේ තීරණය නො පිළිගන්නා අයට රජයෙන් දඬුවම් පමුණුවනු ලැබී ය. භාතිකාභය රජ “මාඝාතය” පැනවී ය.

එම නීතිය නො සලකා ගවමස් කෑවෝ නීතියෙන් කසල ශෝධකයන් කුලහීනයන් බවට පත් කරනු ලැබූහ. අපරාධ අතර බරපතල අපරාධ වූ මිනීමැරුම, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම වැනි ඒවා ද සොරකම හා අඩන්තේට්ටම් කිරීම වැනි ඒවා ද වේ. වඩාත් පොදු අපරාධ වූයේ ගෙවල් බි¼දීම, ගෙවල්වල සියලු වස්තුව පැහැර ගැනීම, මං පැහැරීම සහ පරදාර සේවනය යන ඒවාය. මේ සියලු අපරාධවලට මරණ දඬුවම, දේපල රාජ සන්තක කිරීම හෝ රටින් පිටිවහල් කිරීම දඬුවම් වශයෙන් ක්‍රියාත්මක විය.

පැරැණි බණකථාවල කෘෂිකර්මාන්තය හා සබැඳී පුවත් වැඩි වශයෙන් ම තිබීමෙන් ලංකාවේ පැවති කෘෂිකාර්මික ආර්ථික රටාව පැහැදිලි වේ. මේ යුගයේ පැවති දෙස් විදෙස් වෙළෙඳාම්, දෙවනපෑතිස් - අශෝක සබඳතාව නිසා ගොඩනැගුණු විදේශීය සබඳතා, සමුද්‍ර වාණිජයන්, කැලණියේ සිට නාගදීපය දක්වා මුහුදු තීරය ආරක්ෂා කිරීමෙහි යෙදුණු ආරක්ෂකයන් හා අධික මිලට බඩු විකිණීම වැනි පහත් ක්‍රියාවන් ආදිය ගැන ද බණකථාවල කරුණු දැක්වේ.

එක් වංචනිකයෙක් මුවෙකු හා පැටියෙකුගේ වටිනාකම අයිතිකරුගෙන් ඇසීය. මුවා කහවණු දෙකක් ද පැටියා කහවණුවක් ද වන බව ඔහු කීය. කහවණුවකට මුව පැටියා මිළදී ගත් වංචනිකයා මඳ දුරක් ගොස් නැවතී සිට යළි පැමිණ මෙසේ කීය.

“මට පැටියාගෙන් ප්‍රයෝජනයක් නැත. මා මුලින් කහවණුවක් දී ඇත. ඒ කහවණුව ද, වටිනා පැටියා ද රැගෙන මුවා දෙව” යි කීය. මෙසේ කහවණුවකට කහවණු දෙකක් වටිනා මුවා අත්පත් කර ගත්තේ ය. ක්‍රි.ව. 5 සියවස ලංකාවේ මස්ස, අඩමස්ස, කහවණු ආදිය භාවිතා වූ බවත් සඳහන් වේ. පැරණි ලංකාවේ පැවති බරපතල කැරැල්ලක් හා දුර්භික්ෂ සමයක් පිළිබඳව බණ කථාවල සඳහන් වේ. උග්‍ර ආහාර හිඟයක් මෙකල ඇති විය. තිස්සමහාරාමයේ හා සිතුල්පව්වේ දස වසරකට ප්‍රමාණවත් ව තිබූ වී මීයෝ කෑහ. මේ නිසා භික්ෂූහු විශාල සංඛ්‍යාවක් එක විහාරයකින් අනික් විහාරයකට යාම පවා අතහැර ජීවිතක්ෂයට පත් වූහ. ආහාර හිඟයත් සමගම සොරුන්, කැරලිකරුවන්, මං පහරන්නන් හා මිනීමරුවන්ගේ සංඛ්‍යාව ද වැඩි විය. අභය චෝර, චෝරනාග ආදි ප්‍රසිද්ධ සොරුන් ගැන නිතර සඳහන් වේ. ලොණගිරිවැසි තිස්ස තෙරුන් පණස් නමක් සමඟ නාගදීපය වඳින්නට ගොස් සතියක් පිඬු පිණිස හැසිර කිසිවක් නො ලද්දේ ය. සමාජ වටපිටාව ද දුබලතාවලින් පිරී පැවතුණි.

අනේකවිධ දුෂ්කරතා අපරාධ හා නො පණත්කම් සමාජ සංස්ථාව තුළ පැවතීම සම්බන්ධයෙන් විශේෂයෙන් කිවයුතු කරුණ වන්නේ ශාසනය සුරක්‍ෂිත කිරීමේ කර්තව්‍යයේ දී භික්ෂූන් ද දැඩි පීඩනයකට හසු වූ බවයි. මෙසේ විමසන විට තත්කාලීන සමාජ තත්වය සතුටුදායක නොවුණු අතර මෙබඳු කරුණු මහාවංසය වැනි ඉතිහාස ග්‍රන්ථවලින් අනාවරණය නොවන බණකථාවලින් ම හෙළිවන කරුණු වේ.

පැරණි ලංකාවේ පැවති ස්වර්ණමය කාල පරිච්ඡේදවලට අමතරව දුර්දශාපන්න අවධීන් ද විය. කෙසේ වෙතත් අපට අද සීගිරිය, අටමස්ථාන වැනි විශිෂ්ට උරුමයන් හිමිව ඇත්තේ පැරැන්නන් විසින් මහත් කැපවීමෙන් රැක දුන් දේ හැටියට ය.