Print this Article


සිත හා ගත වෙන් ව හැඳීනීම

සිත හා ගත වෙන් ව හැඳීනීම

" ශරීරය සමබර ආහාරත්, සුදුසු දේශගුණයත්, පිරිසුදු වාතාශ්‍රයත් ඇත්නම් ජීවයේ ශෛලය හොඳින් ක්‍රියා කරයි. බුදුරදුන් බෝජන සක්වාය(ආහාර), ඉසි සක්වාය(දේශගුණය, උෂ්ණත්වය) රහත්වීමට අවශ්‍යබව දක්වා ඇත්තේ ජීවය නොසලකා රහත් වීමටවත් නො හැකි බැවිනි."

හොඳ ශාරීරික මානසික සෞඛ්‍යයක් සඳහා සිත හා ගත වෙන් වෙන් ව හඳුනාගත යුතු යි. ඒවායේ වෙන් වෙන් වූ ක්‍රියාවන් ද හඳුනාගත යුතු යි. “මම” ඇතිවන්නේ නාමයත්, රූපයත් දෙකම එකට ගැනීමෙනි. නාමයත් , රූපයත් වෙන්කොට හඳුනා ගැනීම නාම රූප පරිච්ඡේද ඥානය යි. එය දින කිහිපයක් භාවනා කිරීමෙන් ද ලැබිය හැකි ය. ඒ ඥානය බුදු දහමට ප්‍රවිශ්ට වන මාර්ගය යි. එය නොමැතිව බුදු දහම අවබෝධ කළ නො හැකි ය.

ඒ බව බුදුරදුන් දිනක් “මහණෙනි, අදක්ෂ ගොපල්ලා ගඟෙන් එගොඩ මනා ලෙස වැඩුණු තෘණ පිට්ටනි දැක එහෙත් තොටුපළ නො දැන ගවයන් සමූහය මරණයට පත් කරයි. දක්ෂ ගොපල්ලා ගඟෙහි තොටුපළ වෙත ගොස් පළමුකොට ශක්තිමත් ගවයන් ද පසුව එළදෙනුන් ද අවසානයේ පැටවුන් ද සුව සේ එගොඩ කරයි. එමෙන් ම “මහණෙනි, බුදු දහමට ප්‍රවිශ්ට වන තොටුපළ වන්නේ නාම රූප හඳුනා ගැනීම යි. රූප යනු ශරීරය පමණක් නො වෙයි. අප දකින දේ ද , අසන දේ ද, ආඝ්‍රහණය කරන දේ ද, රස දැනෙන දේ ද, ස්පර්ශය ද , අතීත ද , අනාගත ද , වර්තමාන ද ,සුකුම (සියුම්), ඕලාරික(ගොරෝසු) සියලුම දෑ රූප ය. ඒවා රූප ගොඩක් රූපස්ඛන්ධය වේ. නාම යනු ඵස්ස (ස්පර්ශය),වේදනා, සංඥා, චේතනා, ඒකග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මනසිකාර යැයි වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ නාමස්ඛන්ධයට අයිති වේ. ඒවා ගැන ගැඹුරින් සිතීම හැදෑරීම හා භාවනාව මානසික සෞඛ්‍ය ඇති කර ගැනීමට හේතු වෙයි. දුකත් , දුකෙන් නිවීමත් ඇත්තේ ශරීරයේ ම ය. පිටස්තර නො වේ.

තථාගත බුදු පියාණන් වහන්සේ දුකෙන් නිදහස් විය හැකි වටිනා ධර්ම මාර්ගයක් උගන්වා තිබිය දී බොහෝ බෞද්ධයෝ සතුටින් , සැනසීමෙන් සිටින බවක් පෙනෙන්නට නැත. බණ දහම් අසා, පොත පත කියවා දැනුම ලබා ගත්ත ද බුදු දහමේ මූලික ඉගැන්වීමක් වන නාම, රූප ධර්ම දෙකෙහි වෙනස හා ස්වභාවය හොඳින් හඳුනා නො ගැනීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇතැ’යි සිතේ. එබැවින්, බොහෝ කරදර , කම්කටොළු , ලෙඩ , දුක්, අපල අපගේ කර්මය යැ’යි කියමින් ඒවායේ හේතු ප්‍රත්‍යය නො සොයා අසහනකාරී ලෙස ජීවත් වෙති. එබැවින්, ශරීරයෙහි ස්වභාවික ක්‍රියාවලිය දැන ගැනීම යහපත් ය.

සිත, ගත දෙකෙන් යුතු ශරීරය සෑදී ඇත්තේ ශෛල වලිනි. ශෛල ප්‍රකෝටි ගණනක් ඇත. ඒවාට ජීවත් වීම හා බෝ කිරීම (රී ප්‍රොඩක්ෂන් - Reproduction) හැර කිසිම පරමාර්ථයක් නැත. අපගේ සිත (මයින්ඩ් –Mind) නොයෙකුත් පරමාර්ථ ඇතිව ක්‍රියා කරයි. එය බාහිරින් ලබා ගන්නා තොරතුරු හා දැනුම ඔස්සේ පරමාර්ථයන් ඇති කර ගනී.

ඉගෙන ගන්නා කාලයේ ළමයින් වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් කිරීමට ඇතැමෙක් මහණ වීම ආදිය වශයෙන් පරමාර්ථ ඇති කරගන්නේ එබැවිනි. රූප ජීවිතේන්ද්‍රිය (සෙල් ලයිෆ් – Cell Life) ජීවයේ සහ ශෛලයේ පරමාර්ථ හා ජීවත්වීම හා ශෛල බෝ කිරීමයි. එය සියලු තුරු ලතා හා කුරා කූඹියාගේ පටන් අලි ඇතුන් දක්වා සියලු ම ප්‍රාණීන්ගේ ශරීරය ශෛලවලින් සැකසී ඇති ආකාරයෙන් පෙනේ. බුදු දහමේ මෙය බීජ නියාම වශයෙන් හඳුන්වා තිබේ. ශෛලය තුළ ඇති ජාන (DNA) ඉතා ඉහළ සංවිධාන ශක්තියකින් සැකසී ඇත. (හයිලි ඕගනයිස් – Highly organized) ශෛලයකට ජීවත් වීමට අවශ්‍ය වන්නේ ආහාරත් ( පෝෂක ද්‍රව්‍ය), වාතයත් (ඔක්සිජන්), උණුසුමත් පමණි. ශෛලයක් වැඩිකල් ජීවත් නොවේ. අපගේ සමෙහි (Skin)  පිටින් ශෛලයක් පවතින්නේ සති දෙකක් පමණ කාලයකි. බඩවැලෙහි ශෛල දින දෙකකි. අක්මාවේ ශෛල මාස දහ අටකි. රුධිරානු ශෛල මාස තුනකි. මේ අනුව පසුගිය වසරේ සිටිය මිනිසාගේ ශරීරය සම්පූර්ණයෙන් අලුත් වී තිබේ. අනිත්‍යතාව මේ මඟින් ද මනා ලෙස පසක් වේ.

මේ බීජ නියාමය, කර්ම නියාමයෙන් වත් පාලනය නො වේ. “දිනක් බුදුරදුන් පන්සල පිටුපස වැඩ සිටින අවස්ථාවක ආනන්ද හිමියන් බුදුරදුන් අමතා ඔබ වහන්සේගේ සම රැලි වැටී ඇති බව පැවසූ විට “ආනන්දය, මෙය මගේ නොවේ, (අනාත්ම) කියා මා කීවා නො වේද? යනුවෙන් දේශනා කර ඇත.

ශරීරය සමබර ආහාරත්, සුදුසු දේශගුණයත්, පිරිසුදු වාතාශ්‍රයත් ඇත්නම් ජීවයේ ශෛලය හොඳින් ක්‍රියා කරයි.

බුදුරදුන් බෝජන සක්වාය(ආහාර), ඉසි සක්වාය(දේශගුණය, උෂ්ණත්වය) රහත්වීමට අවශ්‍යබව දක්වා ඇත්තේ ජීවය නොසලකා රහත් වීමටවත් නො හැකි බැවිනි. දුෂ්කර ක්‍රියා කරන සමයේ ආහාර නොගෙන ඉඳීම, හුස්ම නවතා සිටීම (අප්‍රාණික ධ්‍යානය) වැනි ක්‍රියාවන් හි නිරර්ථක බව බුදුහු පසුව පෙන්වා දෙන්නේ ගොඩබිමට බැස බෝට්ටුවක් ඇදීමට ගත් උත්සාහයක් බඳු ක්‍රියාවකට සම කරමිනි.

හෘදය හෝ වකුගඩුව හෝ මොළය වෙනම ගෙන රුධිරය ඔක්සිජන් හා උණුසුම සැපයීමෙන් ක්‍රියාකරවිය හැකි බව වෛද්‍ය විද්‍යාව සනාථ කර තිබේ. වසරකට හදවත් බද්ධ කිරීම් හත්දහසක් පමණ සිදු වේ. මෙම වසරේ දෙසැම්බර් 27වන දා මොළයක් බද්ධ කිරීමට රුසියානු වෛද්‍යවරු තීරණය කර තිබීම ම මෙයට හොඳම නිදසුනකි.

රෝගාබාධ සෙනසුරුගේ අපලය නිසා සිදුවන්නක් නොව ශාරීරිකව පේශි ශෛලවලට දිය යුතු නිසි ආහාර හා ව්‍යායාම නො කිරීමෙන් ඇතිවන්නකි. දිනපතා කිලෝ මීටර් දෙක තුනක් ඇවිදීම, යෝග ආදිය ව්‍යායාමවල යෙදීම ශෛල සක්‍රීය වීමට ඉතා හිතකර ය.

බුදුරදුන්ගේ කාලයෙහි වාහන නො තිබූ බැවින් “ චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය...” බුද්ධ වචනයට අනුව භික්ෂූන් වහන්සේ පා ගමනින් බොහෝ දුර බැහැර වඩින්නට ඇත. වර්තමානයේ වාහන භාවිතය නිසා පැවිදි අය වුව ද ශාරීරික සෞඛ්‍ය සඳහා සුදුසු ක්‍රියාකාරකම් කරන්නේ නම් බොහෝ අසනීප දුරු කරගත හැකි ය. මානසික සෞඛ්‍යය සඳහා පැහැදිලි දර්ශනයක් තිබිය යුතු ය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිරෝගිකම අර්ථ දක්වන්නේ 1.ශාරීරික ,2.මානසික,3.සාමාජීය ,4. අධ්‍යාත්මික වශයෙන් අංශ සතරක් පෙන්වා දෙමිනි. මනසේ බලපෑමෙන් ශරීරය ලෙඩවිය හැකි වන්නේ අසහනකාරී මානසික තත්ත්වය නිසා ශරීරයේ රසායනිකයන් අසමතුලිතා හේතුවෙනි. සන්සුන් මනසක් හා ප්‍රීතිමත් මනසක් භාවනාවෙන් ද ලබා ගත හැකි ය.

ධර්මයෙහි පස්සධි බොජ්ඣංගය , ප්‍රීති බොජ්ඣංගය යනුවෙන් සඳහන් කර ඇත්තේ එය යි. මනස ප්‍රබෝධයෙන් තබා ගැනීමෙන් මොළයේ එන්ඩොපීන් ( Endophin)  ,ඩොපමින්  (Dopemin) වැනි රසායනිකයන් නිසි ලෙස ශ්‍රාවය වීම නිසා ශාරීරික වේදනා ආදිය පහව යයි. එය ශාරීරික මානසික සෞඛ්‍යයට ඉතා හිතකර ය.