Print this Article


ශෝකය හුලකි විසල් වේදනා ගෙන දෙන 04: අනාරාධිතව එයි, අනාරාධිතව යයි

ශෝකය හුලකි විසල් වේදනා ගෙන දෙන 04:

අනාරාධිතව එයි, අනාරාධිතව යයි

" අනාරාධිත ව මෙලොවට පැමිණෙන සත්ත්වයෝ අනාරාධිතව ම මෙලොවින් බැහැරව යන්නේ නම් කුමක් හෙයින් වැළපෙන්නේ ද? අනාරාධිතව පැමිණියා සේ ම අනාරාධිතව ම මේ ලෝකයෙන් සියලු සත්ත්වයෝ ම යන්නට යති. ඔබටත් මටත් මෙය සාධාරණ ධර්මතාවයකි."

“මවු කුසට පැමිණියා වූත්, මියගියාවූත් යමෙකුගේ ගතාගත මාර්ගය නොදනුයෙහි නම්, උභයාන්තයන් නොදක්මින් නිරර්ථක ව වලප්නෙහි”.

මව් කුසට පැමිණියා වූ ද, මිය ගියා වූ ද, යමෙක් තමන් පැමිණෙන මාර්ගය හා යන මාර්ගය නො දන්නේ නම්, පැමිණීම හා නික්මීම නොදැක හෝ නො දැන අර්ථයකින් තොරව වැළපීමට ඇති හේතුව කුමක් ද?

ඔබ අප සියලු දෙනා ම මව් කුසට පැමිණෙන්නේ මවගේ හෝ පියාගේ ආරාධනාවකින් තොරව ය. බිහිවන දරුවා පිළිගැනීම විනා අසවල් අසවල් අය මා කුසින් හෝ තමාහට දාව මෙලොවට පැමිණෙන්නට යැයි කිසිදු අයෙකුට කිසිදු අයෙක් වෙනුවෙන් කළ නොහැකි ක්‍රියාවකි. මේ නිසා අනාරාධිත ව මෙලොවට පැමිණෙන සත්ත්වයෝ අනාරාධිතව ම මෙලොවින් බැහැරව යන්නේ නම් කුමක් හෙයින් වැළපෙන්නේ ද? අනාරාධිතව පැමිණියා සේ ම අනාරාධිතව ම මේ ලෝකයෙන් සියලු සත්ත්වයෝ ම යන්නට යති. ඔබටත් මටත් මෙය සාධාරණ ධර්මතාවයකි. මෙලොව උපන් අප මව්පියන්, දරුවන්, සොහොයුරි සොහොයුරියන් ස්වාමි භාර්යාවන් ආදී ලෙසින් සම්මතයෙන් මුණ ගැසුණා මිස සසර ගමනේ ම තීරණය කර ගෙන ඔවුනොවුන්ගේ ආරාධනාවන් අනුව හමුවන්නෝ නොවෙති. යම් කෙනෙක් එසේ හමුවීමට ප්‍රාර්ථනා කරන්නේ නම්, බෝධිසත්ව උතුමන්ගේ කතාවක් විනා අන් අයගේත් කතා හා ප්‍රාර්ථනා තෘෂ්ණාවකට මඟක් වී සතර අපායක ඉපදීමකට ද හේතුවක් විය හැකි ය.

“ඉදින්, වලප්නා තැනැත්තේ කිසි අර්ථයක් දරා නම් විචක්ෂණ තැනැත්තේ ද සම්මූඪ වැ තමා පෙළමින් තෙල මැ කරන්නේ ය.”

යම් කෙනෙක් ප්‍රිය විප්‍රයෝගය හෝ මරණයේ යථා ස්වභාවය ගැන නුවණින් විමසා නොබලා මුලාවට පත්වේ නම්, හඬන්නේ නම් ඒ පුද්ගලයා විසින් තමා ම තමා පෙළාගන්නෙක් බවට පත්වන්නේ ය. මනසින් දුර්වල වන්නේ ය. කායිකව දුර්වල බවට පත් වන්නේ ය. ඔහුත් යා යුතු ගමනක ඔහුට පෙරාතුව ගමන් ගිය අය ගැන අනවබෝධයෙන් හැඬීමෙන් වැළපීමෙන් ඔහු ඔහුගේ වටිනා වූ මනුෂ්‍ය ජීවිතයේ තවත් කාලයක් අනර්ථයෙන් යුතුව ගත කරන්නේ ය. එය භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කරන ලද්දක් නොවේ ම ය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. “රෝදනයෙන් හෝ ශෝකයෙන් හෝ චිත්ත ශාන්තිය නො ලබයි. ඔහුට අධික මාත්‍රායෙන් දුක් උපදනේ ය. සිරුරු ද වැනැසෙයි”.

එනම් හැඬීමෙන් හෝ වැළපීමෙන් හෝ ශෝකයෙන් සිතට ශාන්තියක් නොලැබෙන්නේ ය. අධික දුකක් පමණක් දැනේ. සිරුර ද වැළපීමට පත්වෙයි.

සාමාන්‍ය ලෝකයා සිතන්නේ හැඬීමෙන් සිතේ තිබෙන දුක, ආවේග බැහැර කරගත හැකි බවයි. එහෙත් එය තාවකාලික ශාන්තියක් විනා පරම ශාන්තියක් ලෙස ධර්මයේ පෙන්වා දෙන්නේ නැත. විටින් විට බැඳුණු මතකය සිතට නැගෙන විට ඒ ශෝකය සිතෙහි නැවත නැවතත් පැන නගින්නේ ය. එක විට ම ඒ පුද්ගලයා සියල්ල අමතක කොට ශෝකයෙන් වෙළී දුකට පත්ව කාලය ගත කරන්නේ ය.

මේ නිසා හැඬීම, වැළපීම ශෝකය නිරර්ථක කරුණක් බව ප්‍රඥාවන්තයෝ ධර්මයට අනුව මෙනෙහි කරමින් ධර්ම සංවේගය පිණිස ම මාර්ගය සකස් කර ගනිති.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරනවා, “කෘශ වූයේත් දුර්වර්ණ වූයේත් වෙයි. තෙමේ තමා නසන්නේ ද වෙයි. එ පරිදේවනායෙන් මිය ගියාහු ද තමන් නොරක්නාහ. එ හෙයින් පරිදේවනා නිරර්ථක වෙයි.”

කයෙන් කෘශ වූයේත් එනම් කෙට්ටු වූයේත් කය දුර්වර්ණ වූයේත්, තමා තමා ම නසා ගන්නේ වෙයි. කෑ ගසා හැඬීමෙන් වැළපීමෙන් මිය ගිය අයට පිහිටක් නොවන්නා සේ ම මිය ගිය අයගෙන් තමන්ට පිහිටක් නැවත නොවන්නේ ය. එහෙයින් හැඬීම, වැළපීම, නිරර්තක වෙයි. එය ඉතා පැහැදිලි කරුණකි. මිය ගිය අය කෙරෙහි හෝ ප්‍රිය විප්‍රයෝග අභියස බොහෝ දෙය කියමින් හඬා වැළපුණේ ද? මිය ගිය අයගේ නැවත පැමිණීමක් හෝ ඒ අයගෙන් පිහිටක් නම් කිසිවිටකවත් නො ලැබෙන්නේ ය. හේතුව නම් මිය ගිය අයට එසේ පිහිටක් විය නොහැකි නිසා ම ය. එසේ පිහිට විය හැකි නම් මිය ගිය යම් වූ ද තැනක මව හෝ පියා හඬන මෙලොව අසරණ වූ පුංචි දරුවන් නැවත රකින්නට නොයෙන්නේ දැයි ඔබ ම තමන්ගේ සිතින් ප්‍රශ්න කොට බලන්න.

“ ඥාතිව්‍යසන ශොක නොහරනා නරතෙම බෙහෙවින් දුකට පැමිණෙයි. කලුරිය කළහු අනුව සොවින්නේ ශොකවශයට ම ගියේ වෙයි.”

මව පියා හෝ බිරිඳ, දුව, පුතා හෝ ආදී වශයෙන් මේ ඥාතීන්ගේ වෙන් වීමෙන් ලබන ශෝකය අවබෝධයෙන් යුතුව බැහැර නො කරන්නා වූ පුද්ගලයා බෙහෙවින් ම දුකට පත්වෙනවා.

කළුරිය කළා වූ අය ගැන සිත සිතා ශෝකයට පත් වෙන්නේ ශෝකයෙහි ම ජීවිතය පවත්වන ඔහු ශෝකයෙන් ම ජීවිතය කෙළවර කරන්නෙක් බවට පත්වෙයි.

ශෝකය සංසිඳවා ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන දහම් කරුණ වන්නේ, “පරලොව ගමනට සැදි සිටුනා, කම්වූ පරිදි මියන, මාරවශයට පැමිණ සසලන, මෙලොව්හි අන්‍ය ප්‍රාණීන් ද බලව.”

පරලොව ගමනට සැදී පැහැදී සිටිනා කර්මානුරූපව මිය යන මාරයාගේ වසඟයට පැමිණීමට උරුමව සිටින මෙලොව අන්‍ය ප්‍රාණීන් හෙවත් සත්ත්වයන් දෙස බලන්න. මෙය තමාගෙන් ම ආරම්භ කළ හැකියි. වර්තමාන පරිසරයේ නම් වැඩි ම පිරිසක් අවුරුදු සියයකට පෙරාතුව අවසන් ගමන් යති. එහි සැබෑ අදහස නම් අප සියලු දෙනාම එවැනි ගමනකට සූදානම් ව සිටින පිරිසක් නොවේ දැයි නුවණින් සිතා බලන්න. එය එසේ නො වී යැයි කිව හැක්කේ කවරෙකුට නම් වන්නේ ද?

ජීවිතය වඩාත් ම බිය කුමක් දැයි ප්‍රශ්න කළොත්, අවසානයේ කෙළවර ඉතිරිවන ප්‍රශ්නය නම් එය සියලු සත්ත්වයන්ට ම ඇති මරණ බිය නොවේ ද? එසේ නම් සියලු සත්ත්වයෝ, මෙහි සඳහන් කළොත් සියලු ම මනුෂ්‍යයෝ එවැනි ගමනකට සූදානම් ව සිටින එමෙන් ම කර්මානුරූපව ම එවැනි ගමනක් යන්නට සැදී සිටින පිරිසක් ලෙස ම සිහිපත් කළ යුතු වන්නේ ය.