Print this Article


බුද්ධංගල වන සෙනසුන

බුද්ධංගල වන සෙනසුන


ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති චෛත්‍යය

බුද්ධංගල වන සෙනසුන ලංකාවේ ඓතිහාසික තපෝ වන සේනාසන අතුරින් දැනට හඳුනාගෙන ඇති සුවිශේෂී ස්ථානයකි. එම පින් බිම පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ය.

සැතපෙන බුදු පිළිමයක් සේ දිස්වන ගල් පර්වතයක් හා බැඳුණු ගල් පර්වත නිසා මෙම පින් බිම බුද්ධංගල නමින් හඳුන්වන්නට ඇති බවට මතයක් පවතී.

බුද්ධංගල වන සෙනසුන මහාමාත්‍ය උත්තරගේ දියණියක වන චිත්‍රා දේවිය විසින් ආරම්භ කරන ලද බවත්, පසුව දුටුගැමුණු රජුගේ සොහොයුරා වූ සද්ධාතිස්ස රජු විසින් පිළිසකර කරන ලද බවත් සෙල් ලිපිවල සඳහන් වේ.

ක්‍රි.පූ 2-3 සියවසේ ඇරැඹුණු මෙම සෙනසුන ක්‍රි.ව.1216දී කාලිංඝ මාඝ විසින් විනාශ කරන ලැදැ’යි කියති. ඝන කැළෑවෙන් වැසී ගොස් තිබුණු මෙම සෙනසුන 1964 වසරේ දී දැඩි වෙහෙසක් දරා එළි පෙහෙළි කොට යථා තත්ත්වයට පත් කරනු ලැබ ඇත්තේ කළුතර ධම්මානන්ද හිමියන් විසිනි.

දිගු කලක සිට ම වනයෙන් වැසී තිබුණු මෙම පින් බිමෙහි නටබුන් බවට පත්ව තිබූ චෛත්‍යය කැණීමේ දී හමු වූ රන් කරඬුවේ සර්වඥ ධාතූන් වහන්සේ සහ සැරියුත් – මුගලන් අගසව් දෙනමගේ ධාතූන් වහන්සේ තැන්පත් කර තිබේ. මෙම ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉදිකරන ලද චෛත්‍යය මෙහි දී දැකගත හැකි ය.

මෙම වන සෙනසුන අධ්‍යාත්මික ගුණ වර්ධනයෙහි උපයුක්ත වූ යෝගායචරයන්ගේ ක්ෂේම භූමියකි. එසේ ම දහස් සංඛ්‍යාත බැතිමතුන් වන්දනාමාන කරන පින් බිමකි. සියවස් දහ අටක් පමණ මහ රහතන් වහන්සේ වැඩ සිටි පින් බිමකි.

ක්‍රි. පූ 2වන සියවසේ සිට 14වන සියවස දක්වා කාල පරාසයක , පුරා වස්තූන් සහ පුරා විද්‍යාත්මක නෂ්ටාවශේෂ මෙම පින්බිම පුරා විසිරී පවතී. මෙහි යෝධ ගල්තලාව මත පිහිටි පොකුණෙහි ජලය කිසිදිනෙක නො සිදෙන බැව් කියති.

අඩි 132ක් දිගැති ප්‍රධාන ගල් ලෙන

පදලැස් සිලාව

දිය නො සිදෙන පොකුණ