Print this Article


දස පාරමිතා කතා : දාන පාරමිතාව

දස පාරමිතා කතා

දාන පාරමිතාව

අප මහා බෝසතාණන් වහන්සේ සම්බුදු පදවිය පතා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පාරමී දම් පූරණය කළා. ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නා. මේ උන්වහන්සේ දාන පාරමිතාව පිරූ අවස්ථාවක් පිළිබඳ කතා පුවතකි.

දෑස් දන්දුන් සිව් රජතුමාගේ කතාව

පෙර අප මහ බෝසතාණන් වහන්සේ සිව් රට අරිට්ඨ නම් පුරයේ සිව් මහරජුගේ පුත් කුමරු වී උපන්නා. පිය රජතුමාගෙන් පසු මේ කුමරුට රජකම ලැබුණා. කුමරු ද ‘සිව් රජු’ නමින් ම ප්‍රකට වුණා. දැහැමින් රට පාලනය කළා. මේ රජතුමා දන්දීමට හරිම කැමැතියි. දවස පතා කහවණු ලක්ෂ හයක වියදමින් දුගී මගී යාචකාදීන්ට දන් දුන්නා. ඒ ගැන සොයා බැලුවා. විවේකීව සිටින පොහෝ දිනයක රජතුමාට මෙහෙම සිතුණා.

‘මම බොහෝ කාලයක් දන් දුන්නා. ඒත් සිතට මදිකමක් දැනෙනවා. දේපළවලින් නුදුන් දෙයක් නම් සිතා ගත නොහැකියි. නුදුන් දෙයකට තිබෙනවා නම් ඒ මගේ සිරුර පමණයි. කවරෙකු හෝ මගේ සිරුරේ කොටසක් ඉල්ලනවා ද මා එය ද දන් දෙනවා.’

එලෙස සිතූ, රජතුමාගේ සිතට හරි සතුටක් දැනුණා. මඟුල් ඇතු පිට නැඟී මහ පෙරහරින් දන්සල වෙත ගියා. ඒ යන අතර මහ පාර අයිනේ දෑස් අන්ධ මහලු බමුණෙක් සිටියා. රජතුමා පාරේ ගමන් කරන බව ඔහුට දැනුණා.

“අපේ මහ රජතුමාට ජය වේවා!

අපේ මහ රජතුමාට ජය වේවා!

බමුණා සතුටින් පී‍්‍රති ඝෝෂා කළා. මේ දුටු රජතුමා ඇතු පිටින් බැස්සා. බමුණා ළඟට ගියා.

“ බමුණ, ඔබට මාගෙන් කුමක් වුවමනාද?” රජතුමා ඇසුවා.

පින්වත් රජතුමනි, දෑස් නොපෙනෙන මා කුමක් නම් ඉල්ලන්නද? ඇස් දෙක නැතිව මොනවා තිබුණත් ප්‍රයෝජනයක් තිබෙනවාද? රජතුමනි, ඔබතුමා බොහොම පින්වන්ත බව අසන්නට ලැබුණා. අනේ! රජතුමනි, ඔබතුමාට පින් සිදු වෙනවා. හැකි නම් මට ඇස් දෙකක් ලබා දෙන්න.”

බමුණා ආයාචනා කළා.

බමුණාගේ ඉල්ලීම ගැන රජතුමාට බොහොම සතුටුයි. ‘මාගේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට මේ හොඳම අවස්ථාව‘ යි සිතා ඔහුට මාලිගයට එන ලෙස දන්වා රජතුමා ආපසු රාජ මාලිගය බලා පිටත් වුණා.

‘ජීවක’ නම් රාජකීය වෛද්‍යවරයා කැඳවූවා, 'වෛද්‍යතුමනි, මාගේ දෑස් උපුටා මේ අන්ධ බමුණාට දී ඔහු සුවපත් කරන්න' යි නියම කළා. රජතුමා දෑස් දන් දෙන්නට යන පුවත මහජනයාට සැළ වුණා. ඔවුන් වහ වහා මාලිගය වටා රැස් වුණා. ඇස් දන් නොදෙන ලෙස රජතුමාට ඇවිටිලි කළා. ජීවක වෙදැදුරාණන්ට කරුණු කීවා. ඒත් පලක් වුණේ නෑ.

රජතුමා, තීරණය වෙනස් කළේ නෑ. ජනතාව, රජ මැදුරේ අය හඬා වැළපෙන අතරේ ම ඇස් දෙකම උගුලා අන්ධ බමුණාට බද්ධ කළා. ඔහුට පෙනීම ලබා දුන්නා. ඒත් රජතුමා අන්ධ වුණා.

“දැන් මාගේ දෑස් අන්ධයි. මට රාජ්‍ය කටයුතු කළ නොහැකියි.” රජතුමාට සිතුණා. රාජ්‍ය ඇමැතිවරුන්ට භාර දුන්නා. රජතුමා මඟුල් උයනට වී බණ භාවනා කළා. තමා දුන් උසස් දානය පිළිබඳ ව නිතර සතුටු සිතින් මෙනෙහි කළා.

දිනක් රජු හමුවන්නට අමුත්තෙක් ආවා.

“මහ රජතුමනි, ඔබ දුන් දානය ඉතා උතුම්. එහි විපාක ලෙස ඔබට මෙලොව දීම දිවැස් ලැබෙනවා’ යි පවසා අමුත්තා නොපෙනී ගියා.

ඔහු කී ලෙස ම රජුට දිවැස් ලැබුණා. මහජනයා ඉතා සතුටට පත් වුණා. රජු තව තවත් දාන මානාදී පින්කම් කළා. ඒ විතරක් නොවෙයි. රටේ මනුෂ්‍යයන් ද යහමඟට යොමු කළා. බොහෝ කාලයක් ජීවත් වුණා. මිය ගිය පසු දෙව්ලොව උපත ලැබුවා.

එදා එසේ ‘සිව් මහ රජු’ ලෙස ඉපදී දෑස් දන් දුන්නේ අප මහ බෝසතාණන් වහන්සේයි. උන්වහන්සේ දාන පාරමිතාව තුන් ආකාරයකින් සම්පූර්ණ කළා. ඒ දාන පාරමිතාව, දාන උප පාරමිතාව, දාන පරමත්ථ පාරමිතාව ලෙසයි. දාන පාරමිතාව කියන්නේ තමාට අයිති වස්තුව, දේපළ දන් දීමයි. තම ශරීරයේ ඇස්, රුධිරය ආදී දේ දන්දීම දාන උපපාරමිතාවයි. දාන පරමත්ථ පාරමිතාව කියන්නේ බුදු බව පතා සිය ජීවිතය ද දන්දීමයි.

බෝසත් චරිතයේ දාන පාරමිතාවට නිදසුන් වන කතා අතර සස ජාතකය හා වෙස්සන්තර ජාතකය ද වනවා.

සාමණේර ආයතන සඳහා සාමණේර අත්පොත ඇසුරිනි.