කරණීය මෙත්ත සූත්‍රයෙන් ... :
කළ වැරැදි
පිළිගැනීම
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහා නා හිමි
බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක රාහුල පොඩි හාමුදුරුවන් අමතා ‘රාහුල කැඩපතකින් ඇති
ප්‍රයෝජනය කුමක් ද?’ යි විමසුවා. ‘ස්වාමීන් වහන්ස! මුහුණ බලා එහි අඩුපාඩු සකසා
ගන්නටයි.’ රාහුල හාමුදුරුවෝ පිළිතුරු දුන්නා.
‘රාහුල, කැඩපතින් මුහුණ බලා අඩුපාඩු සකසා ගන්නා සේ ජීවිතය දෙස බලා වැරැදි නිවැරැදි
කර ගන්න. අඩුපාඩු සකස් කරගන්න. තමන්ට වරදක් නොවන ආකාරයට කටයුතු කරන්න. තමන්ගෙන්
අනුන්ට ද වරදක් නොවන ලෙස කටයුතු කරන්න.’යි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. එදා
උන්වහන්සේ රාහුල හිමියන්ට දුන් මේ සදූපදේශය සියලු දෙනාගේ ම ජීවිතයේ හැසිරීම්
හසුරුවා ගන්නට ඉතා වැදගත් වෙනවා. ඒ හැසිරීම්, ‘අත්තහිත’ තමන්ට හිත පිණිස ද, ‘පරහිත’
අනුන්ට හිත පිණිස ද වනවා. අඩුපාඩු, වැරැදි සිදු වන්නේ බොහෝවිට නොදන්නාකම නිසයි.
එක්කෝ කරන කියන දේ ගැන සිතා නොබැලීම නිසයි. එහෙත් වැරැදි පෙන්වා දෙන්නට අප අතර
බුද්ධිමත්, සත්පුරුෂ අය ද ඕනෑතරම් සිටිනවා. වැදගත් වන්නේ එවැනි කෙනෙක් වරදක් පෙන්වා
දුන්විට එය පිළිගැනීම යි. වරදින් මිදී ජීවිතය හදා ගැනීමයි. කරණීය මෙත්ත සූත්‍රයේ
දී,
‘න ච ඛුද්ධං සමාචරේ කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්‍යුං’ යන්නෙන් කියැවෙන්නේ එයයි.
සමහරු තමන් වැරැදි කරන බව හොඳින් දනියි. එහෙත් කිසිවෙක් නුදුටු බව දැන සතුටු වෙයි.
එමෙන් ම අන්‍යයන්ට නොපෙනෙන ලෙස වැරැදි කරන්නට ද පුළුවන්. අඥානයින්ට නෙපෙණුනත් ඒ වරද
බුද්ධිමතුන් දකිනවා. නුවණැතියන් දකිනවා. සත්පුරුෂයින් නම් ඒවා පෙන්වා දෙනවා. අප
උත්සාහ කළ යුතු වන්නේ රහසින්වත් පව් නොකර සිටීමටයි. බුදුරජාණන් වහන්සේට ‘අරහං’ යැයි
නම් කියන්නේ ද උන්වහන්සේ රහසින්වත් පව් නොකළ නිසයි. උන්වහන්සේගේ ගුණ හැකි පමණ
තමන්ගේ ජීවිතයට සමීප කර ගැනීම තෙරුවන් සරණ ගිය බෞද්ධයාගේ ස්වභාවය යි.
මව්පියන් සිය දරුවන්ට වරදක් වනවා දකින්නට අකැමැතියි. සැබෑ ගුරුවරුන් තම සිසු
සිසුවියන් පරිහානියට යනවා දකින්නට අකැමැතියි. මේ නිසා ම ඔවුන් නිරතුරුව ම ඔවුන්ගේ
වැරැදි පෙන්වා දෙනවා. සමහර දරුවන් එය මහත් වධයක් කොට සිතනවා. ඒ ගැන තරහ ගන්නවා. පළි
ගන්නට සිතනවා. ඒ අය තමන් නොදැනී ම පරිහානියට යනවා. ජීවිතය විනාශ කර ගන්නවා. සමහර
විට වරද තේරුම් ගන්නා විට බොහෝ ප්‍රමාද වන්නට පුළුවන්. එවිට තමන් කළ දේ ගැන
පසුතැවෙන්නට වෙනවා. කඳුළු සලන්නට වෙනවා. ඒත්, ඉන් කිසිදු ප්‍රයෝජනයක් වන්නේ නෑ.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් කරන දෙයක් නිසා පසුතැවෙන්නට වනවා නම්,
කඳුළු සලන්නට වනවා නම් ඒ දේ නොකළ යුතු බවයි. එලෙස කටයුතු කරන්නට නම් අපි කරන කියන
දේ ගැන නුවණින් සිතා බැලිය යුතුයි. පනින්න පෙර සිතා බලනු යැයි ජන වහරේ කියැවෙන්නේ ද
මේ දෙයමයි. මේ නිසා කෙනෙක් පෙන්වා දෙන වරද අනතිමානීව පිළිගන්නට හැකි නම් එය ජීවිතය
බබළවන උතුම් ගුණයක් බවට පත්වෙනවා.
තවත් සමහරු අනුන්ගේ වැරැදි ම සොයනවා. අනුකම්පාවෙන් නොවේ. හෙළා දැකීමේ අරමුණින්.
ඊර්ෂ්‍යාවෙන්, කෝපයෙන්, පළිගැනීමේ චේතනාවෙන් එසේ නින්දා කිරීම මිනිස්කමට ගැළපෙන්නේ
නෑ. අනුන්ගේ හොඳක් නොදැකීම පහත් ස්වභාවයක්. සත්පුරුෂයා අනුන්ගේ වැරැදි පෙන්වා දෙනවා
සේ ම හොඳගති ගුණ අගය කරනවා.
ගොහොරු මඩෙහි ම වැතිරෙන සූකරයන් ඔබ නේකවර දැක ඇති. මුතු බෙල්ලෙක් එහි වැටී සිටිය ද
බෙල්ලාගේ වටිනා මුතු ගැන සූකරයාට වගක් නොවෙයි. හැඟීමක් නොවෙයි. උත්සුක වන්නේ ම මුතු
බෙල්ලාගේ කුණු වූ මාංශයම සෙවීමට යි. එහි පිළිකුල් රසයටයි. සමහරු අනුන්ගේ වැරැදි
සොයන්නේ ද එලෙසයි. ඉන් සිදුවන්නේ අනුන්ගේ කසළ ඇවිස්සීමට ගොස් තමන් ද ඒවා තවරාගෙන
දුර්ගන්ධවත් පුද්ගලයකු බවට පත්වීමයි. ඒ අසත්පුරුෂයන්ගේ ස්වභාවය යි.
එවැනි අය විසින් නිකරුණේ සිදු කරනු ලබන දෝෂාරෝපණ, නින්දා අපහාස ඉවසීමට ද පුරුදු විය
යුතු යි. එසේ නොවී ඒවාට පිළිතුරු දෙන්නට ගියේ නම් තමන් ද ඒ තත්ත්වයටම පත් වෙනවා.
මේ ලෝකයේ නින්දා නොලැබූ කෙනෙක් නොවෙයි. ඒවා ඉවසීමට සිත ශක්තිමත් කර ගන්නා අතර
වැරැදි පෙන්වා දුන්විට පිළිගැනීමට ද පුරුදු පුහුණු විය යුතු යි. බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාළේ කෙනෙක් වරදක් පෙන්වා දෙනවිට නිදානයක් පෙන්වා දෙන ලෙස එය භාර ගන්නා
ලෙසයි. නැවත වැරැදි නොකිරීමට අධිෂ්ඨාන කරගන්නා ලෙසයි. එය බණ පොතේ ‘ආයති සංවරය’ ලෙස
සඳහන් වෙනවා. එනම් කළ වැරැදි නැවත නොකිරීමට කටයුතු කිරීමයි.
වරදින් වැළකෙන්නට නම් ලජ්ජාව තිබිය යුතුයි. බිය තිබිය යුතුයි. තමන්ගේ පවුලට,
මව්පියන්ට, ඥාතීන්ට, අපකීර්තියක් නොවන ලෙස කටයුතු කිරීම පුද්ගලයකුගේ වගකීමක්, වරදක්
නොකරන කල ඕනෑම ස්වභාවයක බියක් නැතිව ඉන්නට පුළුවන්. හොඳ පෞරුෂයකින් නැඟී සිටින්නට
පුළුවන්.
- රමණී සුබසිංහ |