Print this Article


පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 19: සුව ජාතකය - ආහාරයෙහි පමණ දැනීම

සුව ජාතකය - ආහාරයෙහි පමණ දැනීම

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි වැළඳූ ආහාර දිරවාගත නොහැකිව මියගිය එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරබයා මෙම ජාතකය දේශනා කළහ. යටගිය දවස බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ හිමාල වනයෙහි ගිරවෙක් ව ඉපිද වයෝ වෘද්ධව දෑස් අන්ධව වාසය කරන්නාහ. බෝධිසත්ත්වයන් වහන්සේගේ පුත්‍රයා විසින් ඵලාඵල ගෙනවිත් දෙමාපියන් පෝෂණය කරනු ලැබේ.

එක් දිනක් මෙම ගිරා පෝතකයා සමුද්‍ර මධ්‍යයෙහි පිහිටී දූපතක මිහිරි අඹ ඇතිබව දැන එහි ගොස් අඹ කා දෙමාපියන්ට ද ගෙනවිත් දුන්නේ ය. අඹ අනුභව කළ බෝසත් ගිරවා එම අඹ සමුද්‍ර මධ්‍යයෙහි පිහිටි දූපතින් රැගෙන එන ලද අඹයැයි දැනගත් අතර එම දූපතෙන් අඹ රැගෙන ඒමෙන් ඉදිරියේ දී බොහෝ අනතුරු සිදුවිය හැකි හෙයින් එහි නොයන ලෙසට තම පුතණුවන්ට අවවාද කළේ ය. ගිරා පෝතකයා තම පියාගේ අවවාද නොපිළිගත් අතර නිතර එම දූපතට ගොස් අඹ අනුභව කළේ ය. එක් දිනක් එහි ගොස් මිහිරි අඹ ඇතිතාක් අනුභව කිරීමේ හේතුවෙන් මත් වී නිදි බරින් යුක්තව සාගර මධ්‍යයේ පියාසර කරන්නේ දියමත වැටී ජීවිතක්ෂයට පත් වූවේ ය. ගිරාපෝතකයාගේ මළ සිරුර මත්ස්‍යයෝ කා දැමූහ. බෝධිසත්ත්වයෝ තම පුතණුවන් නොපැමිණි හෙයින් නිසැකවම තමා කී පරිද්දෙන් ම අනතුරක් වී ඇති බව වටහා ගත්තහ.

ආහාර පාන නොලැබීම හේතුවෙන් මහලු ගිරා යුවල මරණයට පත් විය. බුදුරජාණන් වහන්සේ “යමෙක් අවවාද නොපිළිගෙන තෘෂ්ණාවට වසඟව ආහාර පාන අනුභව කරන්නේ නම් ඔහුගේ ජීවිතය විනාශ පිණිස පවතින බවත් යමෙක් කුසගිනි නිවාගැනීම පිණිස සිහිනුවණින් යුක්තව ආහාර පාන ගන්නේ නම් ඔහු දෙලොවින්ම සුවපත් වන බවත් දන්වා” ජාතක කථාව නිමකොට වදාළ සේක. ආහාරයෙහි පමණ දැනීම දෙලොව අභිවෘද්ධිය පිණිස හේතුවන බව මෙම ජාතක කථාවෙන් ලැබෙන ආදර්ශයයි. පමණ නොදැන ආහාර ගැනීම හේතුවෙන් භික්ෂුව මෙන්ම ගිරා පෝතකයාත් මරණයට පත්විය. සුව ජාතකය කුඩා ජාතක කථාවක් වුවද ඉන් ගෙනෙන ආදර්ශය වර්තමාන සමාජයට බෙහෙවින් වැදගත් වේ. වර්තමාන මිනිසා මුහුණ දෙන ප්‍රශ්න අතර එක් ප්‍රධානතම ගැටළුවක් ලෙස ලෙඩ රෝග හැඳීන්විය හැකි ය.

ඒ සඳහා විවිධ හේතු පවතින අතර ආහාර පාන එයින් ප්‍රධානතම හේතුව ලෙස සැළකීම නිවැරදි ය. උපතින් ම උරුම වූ ආහාර සංස්කෘතිය නොසළකා විදේශීය සංස්කෘතීන්ට අයත් ඇතැම් ආහාරපාන අනුභව කිරීම බොහෝ ලෙඩරෝගවලට හේතුවක් වී තිබේ. විලාසිතාවක් ලෙස එම ආහාරපාන අනුභව කළ ද ඒවායේ අන්තර්ගත සංඝටක පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වූ විට එය විවිධ ලෙඩ රෝගවලට හේතුවක් විය හැකි ය. පංච කාමය කෙරෙහි මිනිසා තුළ සහජ නැමියාවක් තිබේ. ආහාරය ද පංචකාමයට අයත් වේ. දිව, නාසය හා ඇස යන ඉන්ද්‍රියයන් තුනම ආහාර පාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේ.

ආහාරයේ පවතින වර්ණය හා විවිධ හැඩ කෙරෙහි ඇස උනන්දු වේ. නාසය එහි සුවඳ කෙරෙහි ප්‍රතිචාර දක්වයි. දිව එහි ඇතුළත් පංච විධ රසයට ආසක්ත වේ. ආහාරපාන සැකසෙන්නේ මෙම ඉන්ද්‍රියයන් පිනවීම අරමුණු කරගෙන ය. එබැවින් ආහාර නිෂ්පාදකයා පාරිභෝගිකයාගේ ඇස, නාසය හා දිව පිනායන ආකාරයෙන් තම නිෂ්පාදනය කරන අතර එහි ගුණාත්මක තත්ත්වය කෙරෙහි දක්වන්නේ අඩු අවධානයකි. ලාභය ඉපැයීම පමණක් අරමුණු කර ගත් විට එහි ගුණාත්මක භාවය තවත් හීන වේ. ඇතැම් විටෙක නියමිත ප්‍රමිතිය නොසළකා හැරේ. මෙම ආහාරපාන සිහිනුවණින් තොරව පරිභෝජනය කරන්නාට විවිධ ලෙඩ රෝගවලට මුහුණ දීමට සිදු වේ. ආහාරයෙහි පමණ දැනීම (භෝජනේ මත්තඤ්ඤුතා) බුද්ධ දේශනා අතර ප්‍රකට ඉගැන්වීමකි.

මෙම පිළිවෙත ආධ්‍යාත්මික විමුක්තිය කඩිනමින් සාක්ෂාත්කිරීමෙහිලා උනන්දුවන පැවිදි සමාජයට පමණක් නොව ලෞකික අභිමථාර්ථ වෙනුවෙන් කැපවෙන ගිහි සමාජයට ද බෙහෙවින් අදාළ වේ. ආහාර අනුභවයට පෙර ඒ ගැන කෙරෙන ප්‍රත්‍යවේක්ෂාවක් පැවිදි සමාජයට නිර්දේශ කර තිබේ.

පැවිදි සමාජයේ ආහාර අනුභවයේ අරමුණ ගිහි සමාජයේ අරමුණු වලින් වෙනස් වේ. කඩිනම් විමුක්තිය අපේක්ෂා කරන්නෙකුගේ ආහාර ගැනීමේ අරමුණ ශරීරය පවත්වා ගැනීම හා බඹසර හැසිරීම පහසු කරගැනීම පමණි. එහෙත් පංචකාමය කෙරෙහි බැඳී සිටින ගිහියාගේ ආහාර අනුභවයේ අරමුණු රැසක් තිබේ.

එසේ වුව ද ආහාර අනුභවයේ දී පමණ දැන අනුභව කිරීමත් සිහි නුවණින් යුක්තව කටයුතු කිරීමත් අවශ්‍ය වේ. ඒ සඳහා ගිහි පැවිදි භේදයක් නොසැළකේ. අධික ආහාර අනුභවය හේතුවෙන් පීඩාවට පත්ව සිටි කොසොල් රජු ඇමතූ බුදුරජාණන් වහන්සේ හැමකල්හි සිහි ඇතිව පමණ දැන ආහාර ගන්නා තැනැත්තාගේ වේදනා තුනී වෙන බවත්, අනුභව කළ ආහාර සෙමින් ජීරණයවන බවත්, ආයුෂ ද ආරක්ෂා වන බවත් දේශනා කළහ. බුදුරදුන්ගේ මෙම අනුශාසනය පමණ දැන ආහාර අනුභව නොකරන වර්තමාන සමාජයට බෙහෙවින් අදාළ වේ. සිහි නුවණින් තොරව ආහාර මිලදී ගැනීම මෙන් ම අනුභවයත් වර්තමාන සමාජය විසින් විචාරයකින් තොරව සිදුකරන්නකි.

දිව පිනවීම එකම අරමුණ කරගත් ඔවුන්ගේ ආහාර පරිභෝජනය ගිරා පොතකයාගේ ජීවිතය අවසන් වූවාක් මෙන් විවිධ ලෙඩරෝගවලින් නිමාවට පත් වේ. ස්වාභාවික ආහාර වෙනුවට කෘත්‍රිම ආහාර කෙරෙහි ඇති නැමියාව හේතුවෙන් පෙර නො ඇසූ විරූ ආකාරයේ අධික රුධිර පීඩනය, දියවැඩියාව මෙන් ම වෙනත් රෝගාබාධ රැසකින් වර්තමාන මිනිසා පීඩාවට පත්ව තිබේ. නීරෝගීකම උතුම්ම ලාභය ලෙස සැළකෙන බුදුසමයෙහි ආහාර අනුභවය සම්බන්ධයෙන් උපදෙස් රැසක් අන්තර්ගත වේ. විචාරයකින් තොරව ආහාර අනුභවයෙන් රෝගී වී සිටින ප්‍රජාවට ප්‍රතිකාර කිරීම පිණිස වැය කරන විශාල ධනයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ආහාර අනුභවය පිළිබඳ බෞද්ධ පිළිවෙත ප්‍රායෝගිකව අනුගමනය කිරීමෙන් ඉතිරි කර ගත හැකිවේ. වැඩිහිටියන්ගේ අත්දැකීම් ගුරුකොට නොසැළකීමෙන් ඇතැම් තරුණ පිරිස් විනාශය වැළඳගන්නා අයුරු ගිරා පෝතකයාගේ අකල් මරණයෙන් සංකේතවත් වේ. තම පියාගේ උපදෙස් අවඥාවෙන් බැහැර කළ ගිරා පෝතකයාගේ ජීවිතය සාගර පතුලේ සැඟව ගියේ ය.

බෝසත් ගිරවා අත්දැකීම් සහිත පරිණත වැඩිහිටියෙකි. තම පුතු රැගෙන ආ අඹ අසවල් දූපතට අයත් යැයි ද එසේම දිගින් දිගටම එවැනි මිහිරි අඹඵල රැගෙන ඒමේ අනතුර ද මැනවින් වටහාගත් හෙයින් තම පුතු එයින් වැළක්වීම පිණිස අවවාද කළේය. එහෙත් එම අවවාද නොපිළිගැනීමෙන් සියල්ලෝ ම අවසානයේ ජීවිතක්ෂයට පත්වෙති.

 දෙමාපියන්ගේ මෙන් ම පරිණත වැඩිහිටියන්ගේ උපදෙස් නොපිළිපදින ඇතැම් තරුණ දරුවන්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් මුළු පවුලම විනාශයට පත් වූ අවස්ථා පිළිබඳ වාර්තා කොතෙකුත් අසන්නට ලැබේ. තෘෂ්ණාවට වසඟ නොවී වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපදිමින් පමණ දැන ආහාර අනුභව කරන තැනැත්තා දෙලොවින් ම සුවපත් වූ අයෙකු බවට පත්වන අතර ගිහියාගේ ඒකායන අරමුණ වන්නේ මෙම උභය ලෝකය ජයගැනීමයි.


පන්සිය පනස් ජාතක පොත් වහන්සේගෙන් - 18: විනය හා ගුණය