අඳුරෙන්
ආලෝකයට
අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ
සාරසියපත්තුව ප්‍රධාන අධිකරණ
සංඝනායක, අඹතැන්න, ශ්‍රී සුධර්මෝදය
විහාරාධිපති ශ්‍රී සද්ධර්ම විනයාචාර්ය
කීර්ති ශ්‍රී දේශ කීර්ති
කොහොවල
ධම්මකිත්ති නාහිමි
" ධර්මානුකූල වූ බුද්ධිමතා ද උදක ප්‍රසාදන මාණික්‍ය දැමූ ජල තටාකය බඳුන් වන්නේ ය.
ඔහු තෙරුවන් ගුණ කෙරෙහි ආදර බහුමාන උපදවා නොකැළඹුණු සිතිවිල්ලෙන්, හිමිදිරි උදෑසන
පිබිදී දවසේ මෙහෙවර අරඹයි. ආර්ය ධනයට නමස්කාර කරමින් නොසිස් වූවෙකු ලෙස දිවි අරඹයි.
අසදෘෂ පිං ඵලය පතයි. සුසිරිතේ බලය ගොඩනංවයි. "
බුදුරජාණන් වහන්සේ මේ ලොව පුද්ගලයන් තුන් දෙනෙකු පිළිබද දේශනාකොට වදාළහ. එක් අයෙකු
අන්ධ ය. අනෙක් පුද්ගලයා එක් ඇසක් පමණක් පෙනෙන ඇත්තෙකි. දෑසම පෙනෙන තැනැත්තා
තෙවැන්නා ය.
අන්ධ පුද්ගලයා නම් නොලැබුණ සම්පත් ලබාගැනීම පිණිස ද තිබෙන සම්පත් වැඩිදියුණු කර
ගැනීමට ද, නුවණක් නැති තැනැත්තා ය. කුසල, අකුසල, වැරැදි, නිවැරැදි, උසස්, පහත් තතු
දැන ගැනුමේ ද හේ නුනුවණ ය.
එක් ඇසක් ඇති පුද්ගලයා, නොලැබුණු සම්පත් ලබා ගැනීමේ සමත් ය. තිබෙන සම්පත්
වැඩිදියුණු කිරීමේ ද සමත් ය. එහෙත් කුසල, අකුසල ධර්මයන් හඳුනා ගන්නට, වැරැද්ද
නිවැරද්ද හඳුනා ගන්නට තියුණු නුවණක් නොවන්නේ ය.
දෑසම ඇති පුද්ගලයා නම් සම්පත් ලබා ගැනීමේ ද, ඒවා වැඩිදියුණු කර ගැනීමේ ද මනා
හැකියාවක් ඇත්තා ය. කුසල, අකුසල ධර්ම හඳුනා ගන්නටත්, හොඳ – නරක, වැරැදි නිවැරැදි
හඳුනා ගන්නටත් ඔහුට තියුණු නුවණක් ඇත. ඔහුගේ චර්යාව අර්ථවත් ය. දානය, පි‍්‍රය වචනය,
සමානාත්මතාවය, අර්ථ චර්යාව යන සතර සංග්‍රහ වස්තු රිසි සේ දියුණු කරන්නේ ය. මන්දගාමී
නොවේ. මැදහත්ව කටයුතු කරන්නේ ය. පිළිවෙත් ගරුකව ජීවත් වෙයි. දයාවෙන්, කරුණාවෙන් ද
යුතු වේ. දැහැමින් දිවි ගෙවයි. අන්හට හානියක් වන කල්හි ඊට අකැමැති වේ. ලෝක
සත්ත්වයාගේ ම සුවය පතයි. සියලු බුදුවරයාණන් වහන්සේලාගේ අනුශාසනයවන යහපත් දෙයටම
යොමුවීම යන්න ගැඹුරින් අවබෝධ කර ගන්නේ ය. අඳුරින් ආලෝකයට, ආලෝකයෙන්, ආලෝකයට යන්නේ
මෙවැනි පුද්ගලයා ය.
ජීවිතය අඳුරු වන්නේ දුසිරිත නිසා ය. බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය
දේශනා කොට වදාළේ මිනිසා අඳුරට යාමෙන් රැක ගැනීමටය. ඒ මාහැඟි දහම් මඟ ගමන් ගත් බොදු
දනෝ බුද්ධිමත්ව තම දිවි පෙවෙත සකසා ගත්හ. අවිද්‍යාව දුරැර නිවන් සුව පැතූහ. ඉන්
බැහැර යන්නෝ මිසදිටු අදහස්හි ඇලී, ගැලී අඳුරෙහි ම ගැලෙති.
අවිද්‍යාව දුරු කිරීමට ධර්ම ශ්‍රවණය මහෝපකාරී ය.
ධම්මො පනෙසො සුගතස්ස සත්ථො
තරොව සංසාර මහණ්ණ වස්ස
බ්‍රහ්මා සුරාදීහි නමස්ස මානො
රසෙසා සරානං පරමොති ලොකේ
ධර්ම දානය ම උතුම් ය. ශ්‍රේෂ්ඨ ය. හැම ආකාරයක ම ඇලීම්, ගැටීම්වලට වඩා ධම්මරතිය
ප්‍රශස්ත බව බුදුවරු සඳහන් කළහ. බඹසුරෝ පවා පිළිගත්හ. නමස්කාර පූර්වකව පිළිපැද්දාහ.
තණ්හා මාර්ගය, දිට්ඨි මාර්ගය, අවිද්‍යා මාර්ගය පැහැදිලි කර ගැනීමට ධර්ම ශ්‍රවණය
මූලික ය. අකුසල් පැන නගින අවස්ථා තුනක් පිළිබඳ ධර්මයේ සඳහන් වේ. එනම්, කෙලෙස්
හේතුවෙන් කර්ම නමැති ඵලය හට ගනී. කර්ම හේතුවෙන් විපාක හටගනී. විපාක නම් පුද්ගලයකුගේ
ඉපදීම ඇතුළු සියලු දුක් සමූහය යි.
මෙහි කර්ම විපාක දුක මුල් කරගනී. අවිජ්ජා, තණ්හා, උපාදාන තුළ කිළිටි සිතිවිල්ල
වේදනාගෙන දෙනවා පමණක් නොව භවවලට හේතු වේ. මුළු ජීවිත කාලය ම, කොපමණ වියපත් දිවියක
වී ද රැඳී පවතී. එය විපතකි.
අර්ථයක් නොදකින ලෝකය අඳුරකි. පෘථග්ජන පුද්ගලයා ජීවිතයේ විවිධ රංගන ඉදිරිපත් කරයි. ඒ
තුළ විවිධ අඳුරු සෙවැනැලි පිරී ඉතිරී යයි. ජීවිතය අවලස්සන වෙයි. තමා රුවින්, බලයෙන්
යුතු වුවකු ලෙස ලෝකයට පෙන්වයි. ආභරණ උන්මාදයෙන් ක්‍රියා කරයි.
ඉහළ අගයෙන් යුතු දිදුලන මැණික් ගලක් කැළඹුණු, බොර වූ ජල තටාකයක වැටුණු විට
නොදිලෙයි. පිරිසුදු ජල තටාකයක නම් මනාව දිදුලයි. ධර්මානුකූල වූ බුද්ධිමතා ද උදක
ප්‍රසාදන මාණික්‍ය දැමූ ජල තටාකය බඳුන් වන්නේ ය. ඔහු තෙරුවන් ගුණ කෙරෙහි ආදර බහුමාන
උපදවා නොකැළඹුණු සිතිවිල්ලෙන්, හිමිදිරි උදෑසන පිබිදී දවසේ මෙහෙවර අරඹයි. ආර්ය ධනයට
නමස්කාර කරමින් නොසිස් වූවෙකු ලෙස දිවි අරඹයි. අසදෘෂ පිං ඵලය පතයි. සුසිරිතේ බලය
ගොඩනංවයි.
අශ්‍රද්ධාව ඇති, දුසිරිතටම එළඹ ඇති සිහියෙන් යුතු පුද්ගලයාගේ ගෙදර පරිසරය බියකරු ය.
අපිළිවෙළ ය. වචන ද, ක්‍රියාවන් ද එපරිදි ය. එය අනුකරණය කරන්නෝ ඊටත් වඩා බියකරු දේ
හි, අශීලාචාර දේ හි, දුසිරිතෙහි යෙදී සිටිනු දක්නා ලැබේ. වනමල් වුව ද විලෝපයට පත්
වූ විට දුගඳට බඳුන් ය. පරිසරය ද, වනමල්වලට අයත් ගහ වැල ද දුඟඳට බඳුන් ය. ගසක රසැති
ඵල ඉදුණු කල මිහිරි සුවඳැති ය. කුණු වී, නරක් වී ගිය කල දුගඳ ය.
සුචරිතවත් වන්නට, සමාජයේ සුවඳ හමන්නෙකු වන්නට හොඳම ආරම්භය දහම් පාසලය. පහසුම මඟ
දහම් පාසලය. බුදු සෙවනක, බෝ සිසිලක පහස ලබමින්, තෙරුවන් වන්දනා කරමින්, බුදු ගුණ
කියමින් ඉගෙන ගන්නා ගුණ දහම්, ධර්ම කරුණු මානව හිතවාදී විශිෂ්ට පුරවැසියෙකු
බිහිකරයි. ආගමට, දහමට, ඉපදුණු රටට යුතුකම් ඉටු කරමින්, දහමින් පෝෂණය ලබා, ගුණ දම්
සිත දරා, පිය තෙපුලින් සැම සිත් සනසා, දහමේ අධ්‍යාත්මික සුවය ලැබ, ජීවිතයේ
අධ්‍යාත්මික සුවය බිල්ලට නොදී, දුසිරිත් දුරුකොට, ආලෝකයෙන් ආලෝකයට ගමන් කරමින්
අනාගතය යහපත් කර ගනිමු. |