Print this Article


පූජාච පූජනීයානං

දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නා හිමි

ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහානායක මංගලධර්ම කීර්ති ශ්‍රී දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහ නාහිමිපාණන් වහන්සේ අපවත් වී මෙම අගෝස්තු මස 13 වෙනි දිනට වසර 33 ක් සපිරිණි.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ මහ වනය ගිලගෙන තිබූ සේරුවිල ඓතිහාසික මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමෙන් ඇරඹි ශාසනික මෙහෙවර ආගමික, සාමාජික, ජාතික සියලු අංශවලින් නැගෙනහිර පළාතට උත්කෘෂ්ට සේවාවක් සිදුකළ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා ඉතිහාසයට යුග පුරුෂයෙකු වශයෙන් එක් වී සිටිති.

කාවන්තිස්ස මහ රජතුමා විසින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ තැන්පත්කර ගොඩනංවනු ලැබූ ඓතිහාසික සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ශත වර්ෂ ගණනාවකට පසු මහ වනයෙන් මුදාගෙන යළිදු දේශයට දායාද කරන්නට අප්‍රමාණ වූ කැපවීම් කළහ. දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමිපාණන් වහන්සේ මාතර දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයට නුදුරු දඹගස්ආර ගම්මානයේ විසූ රත්නවීර පටබැඳිගේ දොන් මෙන්දියස් සහ ඔලොක්කුවේ පටබැඳිගේ නෝනච්චි හාමි දෙමාපිය යුවලගේ සිවුවෙනි දරුවා, රත්නවීර පටබැඳිගේ දොන් නිකලස්ය. 1892 දෙසැම්බර් 09 වෙනිදා උපත ලැබූ මේ දරුවා විසින් පන්සල් අධ්‍යාපනය ලබා ගන්නා ලදී. එම කුමරුවා වයස අවුරුදු දහය සපිරෙද්දී දොඩන්දූවේ ශෛල බිම්බාරාමාධිපති දොඩන්දූවේ සිරි පියරතන තිස්ස මහානා හිමිපාණන් වහන්සේ විසින් දෙවිනුවර සිරි ධම්මරතන නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පත්කරනු ලැබීය. ප්‍රවෘජ්‍යා භූමියට පත් වූ දඹගස්ආරේ සුමේධංකර හිමියෝ තමන්වහන්සේගේ ආචාර්යන් වහන්සේ වෙතින් උගතමනා බණ දහම් උගෙන දොඩන්දූවේ ශෛලබිම්බාරාමාධිපති හා සරස්වති මණ්ඩප පරිවෙණාධිපති අලුත්ගම ශ්‍රී ශීලක්ඛන්ධ මහා නාහිමියන් වෙතින් ශබ්ද ශාස්ත්‍ර ධර්ම විනයාදිය ප්‍රගුණ කළහ. විසි වයස් සපිරුණු දඹගස්ආරේ සුමේධංකර හිමියෝ 1913 දී උපසම්පදාව ලැබූහ.

නැගෙනහිර පළාතේ බෞද්ධ කටයුතු ඉටුකිරීමේ පුරෝගාමියා බවට පත් වූ සුමේධංකර හිමියෝ නැගෙනහිර බෞද්ධ කටයුතු සඳහාත් බෞද්ධ වෙහෙර විහාරාරාම ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත් සූදානම් වූහ. මේ කාලයෙහි ශත වර්ෂ ගණනාවක් මහ වනය ගිලගෙන තිබූ ඓතිහාසික සේරුවිල පුදබිම දඹගස්ආරේ සුමේධංකර හිමියන් විසින් සොයාගනු ලැබීය. මහා ස්ථූපයකින් හා සියලු විහාරාංගණයකින්ම සමලංකෘතව ගොඩනැංවී ය.

ගොවිජනපද ඇතිකිරීමටත්, වැව්, ඇල වේලි, පාලම් ඉදිකරවීමටත්, පාසල් රෝහල් ආරාම ඉදිකරවීමටත්, කොලණි වැසියන්ගේ දුක් අඳෙීනා රජයට හඬ ගැන්වීමටත්, සේරුවිල පාර්ලිමේන්තු ආසනයක් ලෙස වෙන්කර ගැනීමටත් නාහිමියෝ ක්‍රියාශීලී වූහ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර අපමණ ගෞරවාදරයට පාත්‍ර වෙමින් වැඩ විසූ ශ්‍රී සුමේධංකර නා හිමියෝ නැගෙනහිර ප්‍රදේශයේ විහාරස්ථාන එකොළහක නායකත්වය දැරූහ. දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නා හිමියෝ දැන උගත් ශික්ෂාකාමී සිසු පරපුරක් ඇති කරන්නට ද කටයුතු කළහ.

1979 දී ඓතිහාසික සේරුවිල පුදබිම පූජා නගරයක් වශයෙන් සංවර්ධනය කිරීමට රාජානුග්‍රහය ලබාගෙන පහසුකම් රැසක් සේරුවිලට ලබාගැනීමට හැකිවුණු අතර, 1984 දී ත්‍රස්තවාදී ගැටුම් උග්‍රවීමත් සමඟ පූජා නගර සංවර්ධන කටයුතු අතරමග නතර කිරීමට සිදුවිය.

නිකිණි පෙරහරේ නිර්මාතෘවරයා වන දඹගස් ආරේ ශ්‍රී සුමේධංකර මහ නාහිමියන්ට කෘතවේදීත්වය පළ කිරීම සඳහා ශතාධික මහා සංඝයා විෂයෙහි දානමය පුණ්‍ය කර්මයක් සිදුකොට ගුණානුස්මරණ පින්කමක් පැවැත්වූහ.


වතෝගල ධම්මික නා හිමි

ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වතෝගල ධම්මික හිමියන් වෙත මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නාකායේ මල්වතු විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ‘විනය ධර්ම කීර්ති ශ්‍රී සෝභිත සුගුණතිස්ස’ යන ගෞරව නාමය සහිතව ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියට පත් කරලීමේ අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය අගෝස්තු 19 වන දින මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

වතෝගල ගම් පියසේ දී උපත ලද වතෝගල ධම්මික නා හිමියන් කුඩා කල නබදව ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා වතෝගල ශ්‍රී තපෝධනාරාම පුරාණ විහාරාධිපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත කුඹල්ගොඩ සුගුණතිස්ස මා හිමියන්ගේ සහ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති රෑකඩහේනේ චන්දජෝති නා හිමියන්ගේ ශිෂ්‍යරත්නයක් ලෙස සසුන් කෙතට ඇතුළත් විය.

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවනෙන් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට ස්‍යාමරාජ ත්‍යාගයද දිනා ගනිමින් රාජකීය පණ්ඩිත උපාධියද හිමි කර ගනු ලැබුවේ උන්වහන්සේගේ ප්‍රඥාභාවය වඩාත් අර්ථවත් කරමින් ය. 1988 ජූනි 14 වන දින මල්වතු මහා විහාරයේ දී උපසම්පදා සීලයෙහි පිහිටියහ.

කැලණි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් ශාස්ත්‍රපති උපාධියත් හිමිකර ගත් ධම්මික හිමියන් ආචාර්යවරයෙකු ලෙසත් ව්‍යක්ත දේශකයකු ලෙසත් ග්‍රන්ථ කතුවරයෙකු ලෙසත් ධර්මානු ධර්ම ප්‍රතිපත්තින්හි නිරත ජ්‍යෙෂ්ඨ යතිවරයෙකු ලෙසත් ගිහි පැවිදි සැමගේ චිත්තාරාධනයට ලක්ව වැඩ සිටිනු දක්නට ලැබීම සැමගේ ප්‍රමෝධ්‍යයට හේතු වන්නකි.

උන්වහන්සේ පරෝපවාද රහිතව ගුරු සිසු සැමගේ සිත් දිනා ගනිමින් නාකියාදෙණිය ශ්‍රී සරණපාල විද්‍යායතන පිරිවනේ කීර්තිමත් පරිවේනාචාර්යවර-යෙකු ලෙස ක්‍රියා කරන ලදී. ධම්මික නාහිමියන් ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පරවාහැර චන්දරතන නා හිමියන්ගේ ආරාධනයෙන් 1997 දී ප්‍රංශයට වැඩම කොට පුරා වසර පහක් අමිල අපරිමිත සේවයක් කරන ලදී.

2002 දී ඉතාලියේ වෙරෝනා බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති ගම්මැදගම පියදස්සී හිමියන්ගේ ආරාධනයෙන් ඉතාලියට වැඩම කළ අතර 2007 දක්වා එහි ධර්ම දූත සේවාවෙහි නිරත විය. 2007 සිට 2010 දක්වා ගී‍්‍රසියේ ඇතැන්ස් බෞද්ධ විහාරාධිපති වශයෙන් ක්‍රියා කළ අතර 2012 අප්‍රේල් 24 දින ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරාධිපති පදවියට පත් විය. උන්වහන්සේ විසින් පළ කරන ලද ග්‍රන්ථ රැසක්ද වේ.

ඉතාලියේ ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වතෝගල ධම්මික නා හිමියන්ට තුනුරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ලෝ සසුන් දෙකට වැඩ වඩමින් චිරාත් කාලයක් සසුන් කෙත ශෝභාසම්පන්න කරන්නට සියලු ශක්තිය සැලසේවා.


බොරලන්දේ ධම්මගවේසි හිමි

ද්‍රවිඩ භාෂාව හැසිරවීමේ විශේෂ කුසලතාවයකින් පිරිපුන් බොරලන්දේ ධම්මගවේසි ස්වාමින් වහන්සේ අපවත් වී අගෝස්තු 11 දිනට වසරක් සපිරිණි. ධම්මගවේසි හිමියෝ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතින් අතර සංහිඳියාව , සමගිය සහජීවනය ඇති කිරිම සඳහා සිංහල බසින් මෙන්ම ද්‍රවිඩ බසින් ද ධර්ම දේශනා පවත්වමින් උතුරු – නැගෙනහිර පළාත්වලට හා නුවරඑළිය බදුල්ල ආදී පෙදෙස්වලට වැඩම කළහ. උන්වහන්සේ දමිළ –මුස්ලිම් ජනතාවගේ ද ඉමහත් ගෞරවයට පාත්‍ර වූහ. බොහෝ වාර ගණනක් ඉන්දියාවට වැඩම කර ඇති උන්වහන්සේ තමිල්නාඩුවේද, බොහෝ ස්ථානවල ධර්ම දේශනා පවත්වා එහි ජනතාවගේද ප්‍රසාදය දිනාගත් හිමි නමකි.

ගුවන්විදුලියේ හා රූපවාහිනියේ ද්‍රවිඩ මාධ්‍ය ධර්ම දේශකයන් අතර ප්‍රමුඛ ස්ථානයක් ධම්මගවේසි ස්වාමින් වහන්සේට හිමි විය. “ ධම්මගවේසි හිමියන් “දෙමළ බණ හාමුදුරුවෝ “ යන විරුදාවලියකින්ද ප්‍රකට විය. ධම්මගවේසි හාමුදුරුවෝ ගැමිබස මුසු සරල සිංහල භාෂාවෙන් උන්වහන්සේටම ආවේණික ශෛලියකින් රට පුරා බණ කියා සිංහල බොදු ජනතාවගේද හද දිනා ගත්හ. පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපතිව වැඩ විසූ ලබුදූවේ සිරිධම්ම නා හිමියන්ගේ මගපෙන්වීම යටතේ 29 වැනි වියේදී හූරීකඩුවේ ශී‍්‍ර විද්‍යාසාගර පිරිවෙන් විහාරයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක තෙලිපැහැ සිරි සීලවසොසභ මාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1958 ජන 03 දින ප්‍රවෘජ්ජා භූමියට පත් වූහ. පැවිදිවි හුරිකඩුව ශී‍්‍ර විද්‍යාසාගර පිරිවෙන් විහාරයේ (එවකට ශ්‍රී මහා මහේන්ද්‍ර පුස්තකාල විහාරස්ථානයේ වැඩ වෙසෙමින් තෙලිපැහැ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උපස්ථායකයා ලෙස කටයුතු ඉටුකරමින් හුරීකඩුව ගම්වාසින්ගේ සියලු ආගමික ජාතික මෙහෙවරද සිදුකළහ. ශ්‍රී මහා මහේන්ද්‍ර දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස අධ්‍යාපනික සේවාවක්ද සිදු කළහ. හුරීකඩුවේ ශ්‍රී විද්‍යා සාගර මහ පිරිවෙන ආරම්භයේ සිට මහා නා මාහිමියන් වහන්සේට ශක්තිය ලබාදෙමින් පිරිවෙනේ අභිවෘද්ධිය සඳහා ඉමහත් කැපවීමෙන් ධම්මගවේසී හිමියෝ කටයුතු කළහ. අවු 40 ට අධික කාලයක් පිරිවෙනේ කෘත්‍යාධිකාරින් වහන්සේ ලෙස නිස්සරණ්‍යාධ්‍යාසයෙන් සේවය කළහ.

1968 දී පමණ තම නිත්‍ය වාසස්ථානය ලෙස ගැටඹේ රාජෝපවනාරාමය තෝරාගත් උන්වහන්සේ අපවත් වී වදාළ දර්ශන විශාරද ලබුදුවේ සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආගමික, ජාතික මෙහෙවරට විශාල සහයක් ලබාදුන්හ. වත්මන් විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නා හිමියන්ගේ ආගමික, ජාතික, ශාසනික කටයුතු වලටද පූර්ණ සහාය ලබාදෙමින් වසර 40 ට අධික කාලයක් ගැටඹේ රාජෝවනාරාමයේ වැඩ සිටි බොරලන්දේ ධම්මගවේසි ස්වාමින් වහන්සේ 2016 අගෝස්තු 11 දින හදිසියේ අපවත් වී වදාළහ.

අපවත් වී වදාළ බොරලන්දේ ධම්මගවේසි ස්වාමින් වහන්සේගේ වර්ෂ පුර්ණ ගුණානුස්මරණ පින්කම ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක නාපාන පේමසිරි මහානාහිමියන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ධර්ම දේශනා මාලාවක් හා ශතාධික මහා සංඝ දක්ෂිණාවක් පැවැත්වීය. බොරලන්දේ ධම්මගවේසි හිමිපාණන්ට අමා නිවන් සුව අත්වේවා.