Print this Article


නූපන් කුසල් උපදවීමට ගන්නා උත්සාහය

නූපන් කුසල් උපදවීමට ගන්නා උත්සාහය

තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ හරය ලෙස සැලකෙන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මය යි. සංසාර දුකෙන් නිදහස් වීමට කැමැති ශ්‍රාවකයා ඒ ආර්ය මාර්ගය සපුරා ගැනීමට කළයුත්තේ කුමක් ද? ඒ ප්‍රතිපදාවේ ගමන්කළ යුත්තේ කෙසේ ද? යන්න බෝධිපාක්ෂික ධර්මවල සඳහන් වෙනවා. බෝධිපාක්ෂික ධර්ම යනු නිවන අවබෝධ කර ගන්නට පක්ෂපාත ඒ පැත්තට නැඹුරු, නැවුනු කියන අදහසයි.

නූපන් දෙයක් උපදවා ගැනීම සඳහා හෝ අප ළඟ නැති දෙයක් දියුණු කර ගැනීම සඳහා කරන වීර්යය නූපන් කුසල් උපදවා ගැනීම ලෙස හැඳින්වෙනවා. මේ උත්සාහය අනිවාර්යෙන් ම නිර්වාණාවබෝධයට වටපිටාව සකසා දෙනවා. මෙහි දී කුසලය කුමක්ද? කියා යම් වැටහීමක් තිබිය යුතුයි. අපගේ සිත තුළ රාග, ද්වේශ, මෝහ ඉවත් කොට ඒ වෙනුවට අලෝභ, අද්වේශ, අමෝහය පදනම් කරගත් කුසල මූලයන් උපදවා ගැනීමයි. නූපන් කුසල් උපදවා ගැනීම තුළින් බලාපොරොත්තු වන්නේ. සසරේ අප ඇදබැඳ තබාගන්නේ, මේ අනවරාග සංසාරයේ අප ගෙනයන්නේ, සුගති, දුගති කරා ගෙනයන්නේ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන්. මේ මූලයන් ප්‍රහාණය කොට අලෝභ, අද්වේශ, අමෝහය කියන සිතේ හට නොගත් කුසල මූලයන් දියුණු කර ගැනීමට කරන වීර්යය මෙහි ප්‍රධාන කාරණය වෙනවා.

මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය දියුණු කර ගැනීමට අපට සතර සතිපට්ඨානය වැදගත් වෙනවා. එහි දී නිවැරැදි සිහියක් පවත්වා ගත යුතුයි. කුසල් දියුණු කිරීම සහ අකුසල් යටපත් කිරීම පිළිබඳවත් ඒවා හට ගන්නා තැන් සහ නැති කරන තැන් පිළිබඳව මනා අවබෝධයෙන් සිටීමත් වැදගත් වෙයි. අකුසල් මෙන් ම කුසල් හට ගන්නේ ද අපගේ සිත තුළමයි. සිත තුළ නූපන් කුසල් උපදවා ගැනීම සඳහා නිවැරැදි සිහියකින් යුක්තව වාසය කිරීම අත්‍යවශයි.

ස්වභාවයෙන් ම අපේ සිත ගමන් කරන්නේ ලෝභයට, ද්වේශයට,හා මෝහයටයි . ඒ අකුසල මූලයන් ආයාසයකින් සිත තුළ හටගෙන ක්‍රියාත්මක වෙනවා.එහෙත් සිහියකින් සිටින පුද්ගලයෙකුට නිරන්තරයෙන් ක්ෂණයක්, ක්ෂණයක් පාසා සිතෙහි හටගන්නා කුසල, අකුසලයන් තේරුම් ගන්නට හැකියාව තිබෙනවා. එහි දී සිත තුළ නූපන් යම් කුසලයක් ඇද්ද එය උපදවා ගැනීමට අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තේරුම් ගන්නවා. අප දන්නවා පන්සිල් නොරැකීම තුළින් ලෝභ, ද්වේශ, මෝහය පෙරදැරි කර ගත් අකුසල් මූලයන් වැඩෙනවා. යම් අවස්ථාවක කෙනෙක් මේ සිල්පද රකින්නේ නැතිනම් ඔහු තුළ කුසල් හට ගැනීමක් සිදුවන්නේ නැහැ. එහි දී ඔහු සැබෑවටම වීර්යය කළයුතු වෙනවා නූපන් කුසල් උපදවා ගන්නට ඔහු සොයා බලනවා. පංච දුශ්චරිතයෙන් වැළකී සිටින්නේ කොහොමද? කියා. කාලයක දී පංචසීලය දියුණු කරගත් ඒ පුද්ගලයා තුළ අෂ්ටාංග සීලය හට නොගත් කුසලයක්. ඒ සඳහා තවදුරටත් තමන් තුළ දියුණු නොවූ අෂ්ටාංග සීලය නිර්වාණයට රුකුලක් බව වටහාගෙන පංචසීලයෙන් එපිටට ගොස් අෂ්ටාංග සීලය දියුණු කර ගැනීමට වීර්යය කරනවා. ඒ වගේම අෂ්ටාංග සීලය තුළ නො පිහිටා දියුණුකර නොගත් දස සීලය උපදවා නොගත් කුසලයක් බව නුවණින් දැන ඒ සඳහා වීර්යය කරනවා. ඒ ආකාරයට සීලය පැත්තෙන් දස සීලය දියුණු කරගන්නා විට ඔහුට හැකියාව ලැබෙනවා තමා තුළ නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීමට.

ඒ වගේම නා නා අරමුණු කරා ගමන් කරන නොයෙක් විසිරිම් ඇති නීවරණ ධර්මයන්ගෙන් ආවරණය වූ මේ සිතේ යථා ස්වභාවය මැනවින් දැක ඒ තුළ කුසල ධර්මයන් උපදවා ගන්න, අකුසල ධර්යන් ප්‍රහාණය කරන්න අවශ්‍ය ලෙස සමථ හා විදර්ශනා භාවනා කොටස්වල දී පෙන්වා දෙනවා

සීලය තවත් තහවුරු කර ගන්නට සිතේ හට නොගත් කුසල් උපදවා ගැනීම සඳහා සිතේ දමනයක්, පාලනයක්, හික්මීමක්, සංවරයක් අවශ්‍ය කරනවා. ඒ සඳහා නූපන් කුසල දියුණුකර ගන්න අවශ්‍ය ආකාරයට සිත හැඩ ගස්වා ගැනීම සඳහා සීලයෙන් ඔබ්බට ගොස් සමථ භාවනාවක් ලෙස නොවැඩූ පුද්ගලයා එය වැඩීමටත්, කුසල ධර්මය තමන්ගේ සිත තුළ දියුණු කර ගැනීමටත්, වීර්යය කරනවා. එහි දී ඔහුගේ සිතේ නීවරණ ධර්මයන් යටපත් වෙනවා. ඉන්පසු ඔහු විදර්ශනාවටද සිත යොමු කර යථා ස්වභාවය නුවණින් විමසා විදර්ශනාව ද පුරුදු පුහුණු කරමින් නූපන් කුසලය උපදවා ගන්නවා. එනිසා තමාගේ සිත තුළ අලෝභය, අද්වේශය, අමෝහය මුල්කරගත් කායික ක්‍රියාවන් වේවා, වචනයෙන් හෝ මනසින් යම් සිතිවිල්ලක් වේවා මේ දේ තමා තුළ නොවේනම් ඒවා කුසල ධර්මයන් බව හැඳින, ඒ ධර්මයන් වැඩිදියුණු කර ගන්න කරන වීර්යය නූපන් කුසල් උපදවා ගැනීමේ වීර්යය ලෙස සරලව පැහැදිලි කළ හැකියි.