විනය හා ගුණය
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය
පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
විවාහයේ දී බොහෝ දෙනෙකු රූමත් බව හා ධනවත් බව කෙරෙහි පමණක් සැළකිලිමත්වන අතර
උගත්කම් හා හැදියාව ගැන දක්වන්නේ අඩු සැළකිල්ලකි. මෙම ජාතක කථාවේ එන වර්තමාන හා
අතීත කථා දෙකෙන් ම අවධාරණය කරන්නේ සදාචාරය හෙවත් හැදියාව වඩාත් උසස් බවයි. සිල්වත්
බව හෙවත් විනයගරුක බව බුදුසමයෙන් විශේෂ ඇගයුමට ලක්කර තිබේ. සිල්වත්කමින් තොර උගත්කම
අර්ථවත් නොවන බව එහි එන එක ඉගැන්වීමකි.
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන සමයෙහි එක්තරා බමුණෙක් අරබයා මෙම
සාධුසීල ජාතකය දේශනා කොට වදාළහ. සැවැත් නුවර වැසි එක්තරා බමුණෙකුට විවාහ වීමට
යෝග්‍ය වයසේ දියණිවරුන් සිව් දෙනෙකු සිටියේය. එම දියණිවරුන් හා විවාහවීමට
අපේක්ෂාවෙන් පුරුෂයෝ සිව් දෙනෙකු ද සිටි අතර ඔවුන්ගෙන් පළමු වැන්නා රූමත් අයෙක්
විය. දෙවැන්නා වියපත් වූවෙකි. තෙවැන්නා උසස් කුලයකට අයත් වූවෙකි. සිව් වැන්නා මනා
විනයකින් හා ගුණයෙන් හෙබි තැනැත්තෙකි. මෙම පුද්ගලයන් සිව්දෙනා අතරින් කවර
තැනැත්තෙකුට තම දූවරුන් විවාහ කර දෙන්නේ දැ යි බමුණාට ගැටලුවක් ඇති විය. ඒ පිළිබඳ
සුදුසු උපදෙසක් ලබා ගැනීම සඳහා බුදුරදුන් සොයා දෙව්රම් වෙහෙරට පැමිණි බමුණා
උන්වහන්සේගෙන් කරුණු විමසා සිටියේ ය.
වර්තමානයේ එය ඔබට නොවැටහුණත් පෙර ආත්මයේ නුවණැත්තන් විසින් ඒ පිළිබඳ ඔබට කරුණු
පැහැදලි කර ඇති බව කුමක් හෙයින් අමතකව තිබේදැයි විමසූ බුදුරජාණන් වහන්සේ ඔහුගේ
ඉල්ලීම පරිදි අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ
බ්‍රාහ්මණ කුලයක ඉපිද, දිසාපාමොක් ආචාර්යවරයාව ප්‍රසිද්ධියට පත්විය. එසමයෙහි එනුවර
වැසි එක්තරා බමුණෙකුට දියණිවරුන් සිව් දෙනෙකු සිටි අතර ඔවුන්ගේ අත ගැනීම සඳහා
පුරුෂයෝ සිව්දෙනෙක් ද සූදානමින් සිටියහ. ඔවුන් සිව්දෙනා අතරින් පළමු වැන්නා රූමත්
අයෙකු වූ අතර දෙවැන්නා වයෝවෘද්ධ අයෙකි. තෙවැන්නා වංශවත් පෙළපතකට අයත් වූ අතර සිව්
වැන්නා හැදියාවෙන් ද ගුණයෙන් ද යුක්ත වූවෙකි. වර්තමාන කථාවේ පරිද්දෙන් අතීත කථාවෙහි
එන බමුණාටද තම දියණිවරුන් කවරෙකුට විවාහ කර දිය යුතු දැයි යන ගැටලුව ඇති වු අතර එය
විසඳා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම පිණිස දිසාපාමොක් ආචාර්යවරයා වෙත ගියේ ය.
සියල්ල අසා සිටි දිසාපාමොක් ආචාර්යවරයා “බමුණා රූමත් අයෙකුට දීමත් යහපත් ය.
වයෝවෘද්ධයෙකුට දීමත් යහපත් ය. වංශවත් අයෙකුට දීමත් යහපත් ය. නමුත් මේ සියල්ලන්ටම
වඩා හැදියාවෙන් හා ගුණයෙන් යුත් තැනැත්තෙකුට දියණිවරුන් විවාහ කොට දීම වඩාත් ම
යහපත් ය” යනුවෙන් බමුණාට උපදෙස් ලබා දුන්නේ ය.
ජාතක පොතෙහි එන සාධුසීල ජාතකය ප්‍රමාණයෙන් ඉතා කුඩා කථාවක් වුවද එයින් සැපයෙන
උපදේශය විශාල අගයකින් යුක්ත ය. විවාහය වැනි අතිශය වැදගත් කරුණක් පිළිබඳ තීන්දු තීරණ
ගැනීමේ දී එයින් සැපයෙන උපදෙස් බෙහෙවින් වැදගත් වේ. විවාහයට පෙර විවාහ අපේක්ෂක
තරුණිය හා තරුණයාගේ රූපය, වයස, පෙළපත හා හැදියාව පිළිබඳ විශේෂ සැළකිල්ලක් දක්වනු
ලැබේ. මෙම කථාවෙහි උපදෙස් සපයන දිසාපාමොක් අචාර්යවරයා රූපය, වයස හා කුලය යන කරුණු
කිසිවක් ප්‍රතික්ෂේප නොකරයි. ඔහු දක්වන්නේ හැදියාව හා ගුණවත්කම තිබෙන තැනැත්තාට
දියණිවරුන් විවාහ කරදීම වඩාත් සුදුසු බවයි. ඒ අනුව හැදියාව හා ගුණවත්කම විවාහයේ දී
සලකා බැලිය යුතු වැදගත් මෙන් ම අත්‍යවශ්‍ය කරුණ ලෙස පිළිගෙන තිබේ.
ස්ත්‍රී හා පුරුෂ දෙදෙනා අතර ඇතිවන ආකර්ෂණීය බව සාර්ථක විවාහයකට හේතුවේ. සංයුත්ත
නිකායේ පුරිස සූත්‍රයෙහි මෙම ආකර්ෂණීය ස්වභාවය අංශ කීපයක් යටතේ විස්තර වේ. ඒ අනුව
කාන්තාවක් පුරුෂයෙකු කෙරෙහි ආකර්ෂණය වන්නේ එම පුරුෂයාගේ රූපය (රූපවාහොති) ධනය
(භොගවා හොති) හැදියාව (සීලවා හොති) දක්ෂතාව මෙන්ම උත්සාහය (දක්ඛොවා හොති අනලසො) හා
එම පුරුෂයාට දාව දරුවන් ලැබීමේ හැකියාව (පජඤ්චස්ස ලභති) යන කරුණු පදනම්කරගෙන ය.
මෙයින් අවසන් කරුණ විවාහයෙන් පසුව බලපැවැත්වෙන්නක් වන අතර මුල් කරුණු හතර විවාහයට
පෙර සලකා බැලේ. එම ලක්ෂණවලින් හීන වූවෙකුට විවාහයක් කර ගැනීම අතිශය දුෂ්කර
කටයුත්තක් ය යන්න අමුතුවෙන් විස්තර කිරීම අනවශ්‍ය ය. ජාතක කථාවේ දැක්වෙන ආකාරයට
සීලය හෙවත් හැදියාව විශේෂකොට සළකා තිබේ. රූමත් බව මෙන් ම ධනය කොතෙක් තිබුණත් නිසි
වයස සපුරා වංශවත් පෙළපතකට අයත් වුවත් සදාචාරයෙන් පිරිහුණු තැනැත්තෙක් නම් සාර්ථක
විවාහ ජීවිතයක් අපේක්ෂා කළ නොහැකි ය. තමා හා විවාහ ගිවිස ගන්නා තැනැත්තාගේ හෝ
තැනැත්තියගේ හැදියාව හා සදාචාරය නොසළකා විවාහයට ඇතුළත්ව එය ඛේදවාචකයක් කරගත් බොහෝ
දෙනෙක් පිළිබඳ නිතර අසන්නට ලැබේ. සුන්දර අපේක්ෂා ඇතිව විවාහයට ඇතුළත් වූ බොහෝ
දෙනෙක් ඉතා කෙටි කලකින් ම එය නිමාකරගන්නේ විවාහ වීමට පෙර ඒ පිළිබඳ ගැඹුරින් සළකා
තීරණ නොගත් හෙයිනි. බුදුදහමින් ඇගයෙන්නේ විස්තෘත පවුලයි. එහි පරම්පරා තුනකට අයත්
සාමාජිකයෝ වෙති. විවාහය වැනි ජීවිතයේ අතිශය වැදගත් සන්ධිස්ථානයක දී පවුලේ
වැඩිහිටියන්ගේ උපදෙස් ලබා ගැනීම සාර්ථක විවාහයකට හේතුවේ. පියෙකු වශයෙන් තම වගකීම
පිළිබඳ මනා අවබෝධයකින් සිටි බමුණා ස්වකීය දියණිවරුන්ට සුදුසු සහකරුවන් සොයා ගැනීමේ
දී දිසාපාමොක් ආචාර්යවරයා වැනි උගත්, බුද්ධිමත් අයෙකුගේ උපදෙස් බලාපොරොත්තු වූ
ආකාරය ජාතක කථාවෙන් පැහැදිලි වේ. තම දරුවන්ගේ විවාහය ගැන උනන්දුවන දෙමාපියන්ට මෙය
මහඟු ආදර්ශයකි.
විවාහයේ දී බොහෝ දෙනෙකු රූමත් බව හා ධනවත් බව කෙරෙහි පමණක් සැළකිලිමත්වන අතර
උගත්කම් හා හැදියාව ගැන දක්වන්නේ අඩු සැළකිල්ලකි. මෙම ජාතක කථාවේ එන වර්තමාන හා
අතීත කථා දෙකෙන් ම අවධාරණය කරන්නේ සදාචාරය හෙවත් හැදියාව වඩාත් උසස් බවයි. සිල්වත්
බව හෙවත් විනයගරුක බව බුදුසමයෙන් විශේෂ ඇගයුමට ලක්කර තිබේ. සිල්වත්කමින් තොර උගත්කම
අර්ථවත් නොවන බව එහි එන එක ඉගැන්වීමකි. එසේම සිල්වත් වීම හා ධනවත්වීම අතර ද විශේෂ
සම්බන්ධයක් තිබේ. සිල්වත් වීමෙන් ධනවතෙක් බවට පත්විය හැකි බව බුදුසමයේ පිළිගැනීමයි.
උපයන ධනය සුරාවට, සූදුවට හා දුරාචාරයට යොමු නොකිරීමෙන් ටික කලකින් ම ධනවතෙක් බවට
පත් විය හැකි ය. එහෙත් උපයන ධනය සුරාවට, සූදුවට මෙන්ම දුරාචාරයට වැය කරන්නා නොබෝ
කලකින් ම දුප්පතෙකු වන බව ප්‍රත්‍යක්ෂ කරුණකි. එවැනි පුද්ගලයෙකුට සාර්ථක විවාහ
ජීවිතකට හිමිකම් කිව නොහැකි ය. දූෂිත චරිතයකින් හෙබි තැනැත්තෙකු හෝ තැනැත්තියක යම්
පවුලක ආධිපත්‍ය දරන්නේ නම් එම පවුල ඉතා කඩිනමින් විනාශයට පත් වේ.
සිංහල බෞද්ධයන්ගේ විවාහ උත්සව විශාල ලෙස මුදල් වැය කරන සේ ම ණය කාරයන් බවට පත්කරන
මට්ටමට පත්ව තිබීම ඛේදවාචකයකි. බාහිර අලංකාරය ගැන පමණක් උනන්දුවන විවාහාපේක්ෂකයන්
බහුතරයකට තමා ආරම්භ කරන අභිනව ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ නිසි
වැටහීමත් නොමැත. ගිහි පිරිස පවින් වළක්වා යහපතෙහි යෙදවීම භික්ෂුවගේ සමාජ කාර්යභාරයේ
එක් වගකීමක් වේ. ඒ අනුව පී‍්‍රතිමත් යුග ජීවිතයක් සඳහා ගිහියාට අවශ්‍ය ධර්මානුකූල
උපදෙස් සැපයීම භික්ෂුවට පැවරෙන විශේෂ වගකීමකි. බුදුරජාණන් වහන්සේ ද එම පිළිවෙත
ආදර්ශයට නැංවූ බව උග්ගහ සිටුවරයාගේ විවාහපේක්ෂිත දියණිවරුන් අරබයා කළ දේශනයෙන්
පැහැදිලි වේ. බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍රකරගනිමින් ගිහි පැවිදි වැඩිහිටි උතුමන්ගේ
සහභාගිත්වය හා මගපෙන්වීම අනුව විවාහාපේක්ෂිත තරුණ තරුණියන්ට ධර්මානුකූල උපදෙස්
සැපයීමෙන් ඔවුන්ට ආදර්ශමත් විවාහ ජීවිතයක් ගතකිරීමට සහාය විය හැකි ය. විවාහ ජීවිතය
පිළිබඳ බෞද්ධ උපදෙස් පමණක් නොව වෛද්‍ය විද්‍යාත්මක මෙන් ම සමාජ විද්‍යාත්මක දැනුමත්
එයට එක් කිරීමෙන් එම සත්කාර්ය තවදුරටත් අර්ථවත් කරගත හැකි වේ.
|