Print this Article


ගිනිගත් ලොව නිවා සනසන්නට නම්.. .

ගිනිගත් ලොව නිවා සනසන්නට නම්.. .

අසිරිමත් ගුණයන්ගෙන් හෙබි මෙලොව පහළ වී වදාළ අසහාය පුරුෂ රත්නය වනාහි අප සරණ ගිය භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ ය. නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටිමින් ලෝ සතුනට අපමණ සෙත සෑදු උන්වහන්සේගේ සම්බුදු දිවියේ උත්තම ගුණ සුවඳ සදා අනුස්මරණීය වන්නේ ය.

සසරේ රැස්කළ අපමණ පුණ්‍ය බල ඇති බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් දමනය කෙරුමට සෘද්ධිමත් පෙළහර ද, අනුන්ගේ සිත් බලා දහම් දෙසීම නම් වූ ආදේශනා ප්‍රාතිහාර්යය ද, කුසල් අකුසල් පෙන්වාදීම නම් වූ අනුශාසනීය ප්‍රාතිහාර්යයද උපයෝගි කරගත් සේක. වත්මන් සමාජයේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ බනින්නාට පෙරළා බනින, නින්දා අපහාස කරන්නන්ට පෙරළා නින්දා අපහාස කරන්නවුන් ය. නමුත් තථාගතයන් වහන්සේගේ ස්වභාවය ඊට ඉදුරාම වෙනස් ය. අක්කෝස භාරද්වාජ, සච්චක, ආළවක වැනි අය අපහාසාත්මක වදන් පවසද්දී ඉවසා වදාළ බුදුරජාණන් වහන්සේ පෙරළා පැවසුවේ සුමිහිරි සම්බුදු වදන් ය. ඒ නොදැමුණු සිත් සතන් දමනය වී ශ්‍රාවකයන් බවට පත්ව අපහාස කළ මුවින් ම මුනිදු ගුණ කීවේ අනුත්තර පුරිසදම්මසාරථි ගුණයේ අනුහසිනි. වරක් අභයරාජ කුමරුන් ඇමතු උන්වහන්සේ, පින්වත් කුමරුනි, යම් වචනයක් අන් අයට පි‍්‍රයමනාපද, සත්‍යවාදී ද, අර්ථවත් ද සුදුසු කල් බලා තථාගතයන් වහන්සේ ඒ පවසන සේක. වචනය අන් අයට අපි‍්‍රයද, අමනාපද එනමුත් සත්‍යවාදීද අර්ථවත් ද එය ද සුදුසු කල් බලා පවසන සේක. පන්සාළිස් වසක් පුරාවට දහම් අමා වැසි වස්සවද්දී භාග්‍යවතුන් වහන්සේ තුළ තිබූ මේ වාචසික සංවරය සැබවින් ම අසිරිමත් ය.

උන්වහන්සේ නිරන්තරයෙන් කනට සැප එළවන, පේ‍්‍රමනීය වූ, හෘදයාංගම ශිෂ්ට සම්පන්න, මතකයේ රැඳවිය යුතු, අර්ථවත්, විමුක්ති රස වෑහෙන, බොහෝ දෙනාට පි‍්‍රයමනාප වන වචන පැවසූ සේක. ශාස්තෘන් වහන්සේ ශ්‍රායකයන්ගෙන් ද අපේක්ෂා කළේ එබඳු වදන් ම ය. උන්වහන්සේ එක් අවස්ථාවක රාහුල හිමියන් අමතා මෙසේ අනුශාසනා කළ සේක. පින්වත් රාහුල, ඔබ හොඳින් අවබෝධ කර ගන්න මාගේ වචනයෙන් කරන ක්‍රියාව මට විපාක පිණිස පවතින්නේ නැහැ. අන් අයට විපාක පිණිස පවතින්නේ නැහැ. දෙපැත්තේ ම යහපත පිණිස පවතිනවා. මේ වාචසික ක්‍රියාව කුසලයක්. සැප උපදවන දෙයක්. සැප විපාක තිබෙන දෙයක්. කියා ඔබ වචනයෙන් කළ යුත්තේ මෙබඳු වූ ක්‍රියාවකු.යි.

තමන්ගේ වචනය එසේ සංවර කරන්නා සේ ම බාහිර වදන් ශ්‍රවණයේදී සිත රැකගත යුතු අයුරු ද මැනවින් වදාළ සේක. පින්වත් මහණෙනි, අනිත් උදවිය ඔබට වදන් කියාවි. සත්‍යයෙනුත්, අසත්‍යයෙනුත් වදන් කියාවි. මොළොක් ලෙසත්, දරුණු ලෙසත් යහපත පිණිසත්, අයහපත පිණිසත් වදන් කියාවි. මෛත්‍රි සිතින්, ද්වේෂ සිතිනුත් වදන් කියාවි. එවිට ඔබ මේ ආකාරයට හික්මිය යුතු වේ. මාගේ සිත වෙනස් කර ගන්නේ නැහැ. මම පාපී වදන් කියන්නේ නැහැ. හිතානුකම්පීව ඉන්නවා. ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා. ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවාගෙන වාසය කරනවා. එමෙන් ම මෛතී‍්‍රයට අරමුණු වූ සකල ලෝකයටම වෛර නැති තරහ නැති, සිතකින් යුතුව මෙත් සිත පතුරුවා ගෙන වාසය කරනවා කියායි.

තවත් දිනක් පන්සීයක් භික්ෂූන් පිරිවරා භාග්‍යවතුන් වහන්සේ මඟ වඩිද්දී ගුරු ගෝල තාපස දෙපළක් ඒ පසුපස ගමන් කළා. සුප්පිය නම් ගුරු තාපසතුමා තුණුරුවන්ට බෙහෙවින් දොස් නගන්නටත් , බ්‍ර‍්‍රහ්මදත්ත නම් ගෝල තාපසයන් තුණුරුවන් ගුණ වයන්නටත් වුණා. ඔවුන් පිටව ගිය පසු සව්වන් ඇමතු තථාගතයන් වහන්සේ දොස්් නඟන විට නොගැටී, පසසන විට නො ඇලී සිත රැකගන්න යැයි අවවාද කළා. අසංවර වදනින් සදාචාරය සෝදාපාළුවට ලක්වන වත්මන් සමාජයට බුදුරජාණන් වහන්සේගේ මේ අවවාද මහඟු ආදර්ශයන්ය.

ආගන්තුක භික්ෂුන් හා පිළිසඳරේ යෙදීම බුදුරජාණන් වහන්සේ තුළ පැවති මෙත් සහිත සිරිතක්. පින්වත් මහණෙනි, සුවසේ වැඩමකළා ද? පිණ්ඩපාතයෙන් අපහසුවක් වුණේ නැහැ නේද? පහසුවෙන් වස් කාලය ගත කළා ද? ආදී කාරුණික වදනින් නිරතුරු සව්වන් ඇමතූ සේක. අබිසෙස් ලත් රජවරු ද, බ්‍රාහ්මණ සිටුවරු ද, ගොවි ගෙවිලියන්ද, අසරණ දැසි දස්සන්ද භාග්‍යවතුන් වහන්සේ සොයා ආහ. ඒ සියලු දෙනට සම සිතින්, සම මෙතින් සැළකු බුදුරජාණන් වහන්සේ හිස ඔසවා බලා පි‍්‍රයමනාප මුහුණෙන් සියලු දෙනා පිළිගත් සේක. වරක් වෙහෙස මහන්සි වී කුසගින්නේ දම් ඇසුමට ආ ගොවියෙකුට පළමුව ආහාර පාන ලබාදී පසුව දම් දෙසු සේක. ලාංකීය සමාජය අනාදිමත් කලෙක සිට ආගන්තුක සත්කාරයට ලොවෙන් පැසසුම ලබන්නේ ඒ උතුම් බුදු සිරිතේ ත් සම්බුදු දහමේත් ආභාෂයෙනි.

පරිසරයේ සොඳුරු චමත්කාරජනක බව සමඟින් බුදුරජාණන් වහන්සේ පිවිතුරු නිකෙලෙස් දිවිය මනාව ගැලපී ගියේ ය. සුන්දර සාල වනයක ජන්මය ලද අතුපතර විහිදී ගිය සුවිසල් ඇසතු රුක් සෙවනක සම්බුදු බව පසක් කළ සුපිපි සල් රුක් සෙවනක පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේ නිරතුරු වාසය කළේ ද ස්වභාවික පරිසරය සමඟින් එකාත්මිකව ය. පිඬු සිඟා ලත් බොජුන් ගංතෙරක හෝ රුක් සෙවණක වැඩහිද වැළඳු උන්වහන්සේ බවුන් වඩමින් දැහැනේ සිත රැඳවූයේ ද වන මැද තරු සෙවණක ය.

භාග්‍යවතුන් වහන්සේ ගස් කොළන් සිඳලීම ද, තණකොළ මත ජලය මත මළමුත්‍රා කිරීම, කෙළ ගැසීම ද,නොකරන ලෙස පැවිදි ශ්‍රාවකයාට ශික්ෂා පදයන්ද පැනවූ සේක. හුදු ලාභපේක්ෂාවෙන් ගස් කොළන් වනසමින්, ජල මාර්ග අපවිත්‍ර කරමින් පාරිසරික දූෂණයේ යෙදෙන වත්මන් මිනිසාට නිවැරැදි විය හැක්කේ බුදුරජාණන් වහන්සේගෙත්, ශ්‍රාවකයන් වහන්සේලාගේත් ඒ උතුම් පැවතුම් ආදර්ශයට ගනිමින් ධර්මයේ පිහිටා පමණි.

භාග්‍යවතුන් වහන්සේගේ දිවියේ තිබූ තවත් සුවිශේෂි ගුණයක් වූයේ ආර්ය නිහැඬියාවයි. නිහඬ බව පි‍්‍රය කළ, නිහඬබව අගය කළ, නිහඬ බවේ ගුණ වැයු බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හික්මවා වදාළේ ද ආර්ය නිශ්ශබ්දතාව පිණිසම ය. පුන්සඳ පෑයු දිනක එක්දහස් දෙසිය පනහක භික්ෂු පිරිසක් පිරිවරා භාග්‍යවතුන් වහන්සේ ජීවකයන්ගේ අඹවනයේ වැඩසිටි සේක. අඩු ගණනේ කිවිසුමක හඬක් හෝ උගුර පාදන හඬක්වත් නොමැතිව ඒ සා විශාල පිරිසක් නිහඬ බවේ ගැලී වැඩ සිටිනු දුටු අජාසත් නිරිඳුන් විශ්්මයටත්, උද්දාමයටත් පත්විය. පිරිනිවන් පෑමට වඩිනා අතරමඟ දී පන්සියයක් භික්ෂුන් පිරිවැරූ බුදුරදුන්ගේ නිසසල සංහිදියාවට සිත පහන් කළ පුක්කුස මල්ලවයන් සැදැහැයෙන් තෙරුවන් සරණ ගියේ ය. අන්‍ය ආගමික ආරාමයන් කරා තථාගතයන් වහන්සේ වඩින විට දී සකුළුදායි ආදී පරිබ්‍රාජකයන් සිය සව්වන් පවා නිහඬ කර වීය. තිසරණ ගත සිව්වණක් පිරිස ම අත්විඳි නිහැඬිියාවේ මිහිර ආශ්වාදය ඝෝෂාවන්ගෙන් පිරී ගිය වත්මනට ඇවැසි ම ය.

සම්බුද්ධත්වයට පෙර බෝසතුන් ගතකළ ගිහි දිවිය පවා සත්පුරුෂ ගුණයෙන් සපිරුණු ආදර්ශමත් වූවකි. රම්‍ය, සුරම්‍ය, සුභ යන අතිශය සොඳුරු පහයන්හි සුවපහසු දිවියක් ගතකළ ද සිදුහත් කුමරු ඒවායෙන් මුසපත් වූයේ නැත. බොහෝ දැසි දස්සන් තාඩන පීඩන විඳිමින් රළු වදන්වල දුක් පහස ලබද්දී අප බෝසතුන්ගේ පිරිවර ජනයා කාරුණික වදිනින් ද, මෙත් සහගත සංග්‍රහයෙන් ද නිරතුරු සැනසුනහ. සිද්ධාර්ථයන් යශෝධරාවන්ට පි‍්‍රයාදර ස්වාමියෙක් වූයේ ය. ගෞරව සම්ප්‍රයුක්ත වදනින් වන්දනාමානයෙන් ද ඇප උපස්ථානයෙන් ද මව්පියන් පිදුවේ ය.

වත්මන් ලොව දෙමාපියන් දරුවන් ද, ගුරු සිසුන්ද, බිරිඳ ස්වාමියාද, ස්වාමියා බිරිඳ ද ස්වාමිවරු සේවකයන්ද, පාලකයන් ජනතාවද, මෙල්ල කරන්නට බොහෝ විට යත්ත දරන්නේ සැර පරුෂ වචනයෙනි. දඬුවමිනි.

එහි අනිටු ප්‍රතිඵල සමාජය පුරා පිළිලයක් පරිද්දෙන් පැතිරි අවසන් ය. තථාගත බුදු සිරිතෙන් පරමාදර්ශ ගෙන මෙත් කරුණාවෙන් සදහම් අනුහසින් අන් අය දමනය කිරීම සැබෑ දමනය වන්නා සේම ලොවට සෙත ශාන්තිය සැලසීම ද වේ.

දැමුණු සිතින් යුතු භාග්‍යවතුන් වහන්සේ අවි ආයුධයෙන් තොරව සරු ඵරුෂ වදනින් තොරව මහා කරුණාවෙන් ද, විස්මිත ප්‍රඥාවෙන් ද අන් අය දමනය කළ සේක. ශාන්ත සිත් ඇතිව අන් අය සැනසු සේක. දුකින් මිදී අන් අය ද දුකින් මුදවා ගත් සේක. සසරින් එතෙරට වැඩම කොට අන් අයද සසරින් එතෙර කළ සේක. ඒ උත්තම මුනි දිවිය කෙරෙහි අපේ සිත් පහන් කරගෙන අකාලික සම්බුදු වදන් පිළිසරණ කර ගනිමු.