Print this Article


සම්බුදු දහම සහ සහජීවනය

සම්බුදු දහම සහ සහජීවනය

එකිනෙකාට ගෞරවය කරමින් ඔවුනොවුන්ගේ අනන්‍යතාවයන් ආරක්ෂා කරමින් සහයෝගයෙන් සමගියෙන් ජීවත්වීම සහජීවනයයි. සහජීවනයෙන් යුතු සමාජයක් බිහිකිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ බොහෝ ඉගැන්වීම් සිදුකළහ. එම ඉගැන්වීම් අතර සතර සංග්‍රහවස්තූන්ට හිමිවනුයේ ප්‍රමුඛස්ථානයකි. සෑම බෞද්ධ ඉගැන්වීමක් ම අරමුණු කරගත්තේ මෙලොව මෙන් ම පරලොව සුබසිද්ධිය උදෙසාමය. එවැනි ඉගැන්වීම් තවත් පිරිසක් අපහසුතාවයට පත් කිරීමට යෙදවීම බුදුදහමට පටහැනි වේ. සහජීවනය, ගොඩනැගිම සඳහා සිඟාලෝවාද සූත්‍රයෙහි උගන්වනු ලබන සතර සංග්‍රහ වස්තු, වර්තමාන සමාජයට එදාටත් වඩා අද බෙහෙවින් අවශ්‍ය ය.

දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය, යන සංග්‍රහ වස්තූන්ගෙන් සංග්‍රහ කළ යුත්තේ මිනිසාට පමණක් නොවේ. සතා සිව්පාවට මෙන්ම අජීවී ගහකොළට, පරිසරයටද සංග්‍රහ කළ හැකි ය.

දහම ගෝචර නොවන අය

එසේම, මෙම සංග්‍රහය ලැබිය යුතු වන්නේ එක් ජාතියක් එක් ආගමක් පමණක් නොවේ. විශේෂයෙන් බුදුදහමේ ඉගැන්වීම් සිංහලයා පමණක් අරමුණු කරගත් දේශනාවන් නොවේ. බුදුරදුන් දේශනා කළේ මගේ දහම ප්‍රඥාවන්තයන්ට පමණක් බව ය. ඉන් අදහස් වන්නේ ප්‍රඥාව හීන අයට මෙම දහම ගෝචර නොවන බවයි. උපතින් බෞද්ධයෙකු වුවද ඔහු ප්‍රඥාවෙන් හීන ලෙස මෙම දහම තේරුම් ගන්නේ, නම් ඔවුන් ද බුදුමග පිළිපැදීමට නුසුදුස්සෝ වෙති. කුමන ජාතියකට ආගමකට අයත් වුවත් යථාර්ථය පිළිගන්න කැමති, සිතීමේ විමසීමේ හැකියාව ඇත්තවුන්ට මෙම දර්ශනය අනුගමනය කළ හැකි ය. දානය හෙවත් අත්හැරීම යහපත් ලක්ෂණයකි. එසේම බෙදාහදාගැනීම සුබසාධනය වැනි ක්‍රියාකාරකම් දාන ගනයට අයත්වේ. නැතිබැරි අයට අනුග්‍රහයක් ලෙස ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් මෙන්ම ආගමික මුහුණුවරින් සිදුකරන දානාදියට වර්ග පාට පක්ෂ භේද අදාළ නොවේ. කෙනෙකුට සංග්‍රහ කළ හැකි ඉතා අනර්ඝ සංග්‍රහවස්තුවක් ලෙස දානය ඉහළින්ම අගය කළ හැක. ලෝකයේ සෑම ආගමක්ම දානය අනුමත කර ඇත.

දීමට සහ ලැබීමට භේදයක් නැත

දීම සහ ලැබීම කියන කාරණයේ දී ආගමක් නැත. බඩගින්න සහ මූලික අවශ්‍යතා හැමෝටම සමාන ය. මෙය මනුස්සත්වය මත පදනම් ව අවබෝධ කරගත යුතු වේ. විශේෂයෙන් බෞද්ධයා කෑම බීම සහ වෙනයම් පරිත්‍යාගයන් සිදු කිරීමේ දී පටුවාදභේද සලකන්නේ නැත. බුදුරදුන් පවා බණ අහන්න පැමිණි පිරිසට මුලික ආහාර ලබාදෙන්න යැයි දේශනා කළහ. එහිදී ඔවුන්ගේ ආගම ජාතිය, සැලකිල්ලට නොගත්හ. ජාතීන් අතර සුහදත්වය දානය, පරිත්‍යාගය නිසාම ගොඩනැඟේ. වෙසක්, පොසොන් කාල සීමාවන්වල දී බොහෝ දන්සල් තුළ ජාතික සමඟිය, සහජීවනය දැකිය හැකි වේ. විශේෂයෙන් ලේ දන්දීමේ දී බෞද්ධයා ආගමක්, ජාතියක් කිසිසේත් ම සැලකිල්ලට ගනු නොලැබේ. නියම බෞද්ධකම රැඳෙනුයේ එවන් අවස්ථාවලදී ය. එසේම බඩගින්නේ සිටින සතුනට කෑම බීම ලබාදීමේ දී එම සතුන්ගේ කුල මල භේද නොසලකයි.

පටු භේද නොසැලකීම

ගම්මට්ටමින්, ආයතන මට්ටමින් පටු භේද නොසලකා ඇති හැකි අය නැති බැරි පිරිස් උදෙසා පරිත්‍යාගයන් සිදුකළ යුතු වේ. එය සංග්‍රහවස්තු තුළ දානය නමි වේ. මෙම පරිත්‍යාගයන් නිසා පවුල, ගම, රට තුළ එකිනෙකා පිළිබඳ ආදරය සෙනෙහස අවබෝධය නිර්මාණය වේ. බදාගෙන කෑම වෙනුවට බෙදාගෙන කෑම දානය තුළින් සිදුවේ. ගසක් සෙවන ලබාදීමේ දී මෙන් ම ඵලදාව ලබාදීමේ දී ජාති ආගම් කුලභේදය නොසලකා හරින්නේ නම් සිත් පිත් ඇති අප එසේ කිරීම කිසිසේත් යෝග්‍ය නොවේ.

බොහෝ ප්‍රශ්න ගැටුම් ආරවුල් නිර්මාණය වන්නේ අයහපත් වචන භාවිතයෙනි. කට පරිස්සම් නොකර ගැනීම නිසා ලෝකයක් විනාශ විය හැක. හූ කියා කට වසාගත් පමණින් එය නිවැරදි නොවේ. හූව කියන්නට පෙර සිතා බැලිය යුතු ය. අපේ භාෂාව හොඳට මෙන්ම නරකට භාවිත කළ හැකි ය. ජාති ආගම් භේදයන්ගෙන් තොරව සියල්ලෝම යහපත් වචනයන්ට කැමති ය. පි‍්‍රය වචනය අමිල සංග්‍රහ වස්තුවක් වේ. කෙනෙකු පහදවා ගැනීමට වචනය ප්‍රබල මෙවලමකි. මෙය වටහා ගන්නෝ සමාජයේ විරල ය. බුදුරදුන් දේශනා කරනුයේ තමා උපමා කරගෙන කටයුතු කරන ලෙසයි. එහෙයින් කෙනෙකු තමන්ට අපි‍්‍රය වචනයෙන් කතා කරනවාට තමන් අකැමැතිනම් අනෙකාටද එසේ නොකළ යුතු ය. ජාතීන් අතර බොහෝ ප්‍රශ්න මතුවීම උදෙසා අයහපත් වචන භාවිතය හා භාෂාමය අනවබෝධය ඉවහල් වී ඇත.

පි‍්‍රය වචන නොමැතිකම නිසා රජවරුන්ට තම රාජ්‍යයන් පවා අහිමි වූ අවස්ථා ලෝක ඉතිහාසයෙන් සාක්ෂි හඳුනාගත හැකිවේ. යහපත්ව වචන මෙහෙයවීමට අපොහොසත් වීම නිසා මෙන් ම මිනිසා පි‍්‍රයවචනයෙන් ඈත්වීම මත බොහෝ සමාජ ප්‍රශ්න උද්ගත වේ. ලෝකයේ බොහෝ වාර්ගික ගැටුම්වලට හේතුවන්නේ ද අසංවර භාෂාවය. වචන හොඳට මෙන්ම නරකටද යොදා ගත හැකිය. පැළෑණේ වජිරඥාණ හිමිපාණන් වහන්සේ වචනයේ හොඳ නරක මෙසේ කවියට නැඟූහ.

මහනෙල් සුවඳමය
කුඩමසු පිළීගඳමය
දෙකට එක දියමය
හොඳට නරකට දෙකට කටමය

සාල්‍යෙයක සූත්‍රය තුළ පි‍්‍රයවචනය මෙසේ පැහැදිලි කළහ.

“පරුෂ වචන හැර පියා, පරුෂවචනයෙන් වැළකුණේ, නිර්දෝෂ, කනට සුව එළවන, ප්‍රේමනීය, ළගන්නා ශිෂ්ට බස පි‍්‍රයවචනයයි.

බලය, නිලය, වංශය, කුලය උගත්කම වැනි සාධක නිසා නරක ආකාරයට භාෂාව මෙහෙයවීම තුළ සමාජයේ අන්තර් පුද්ගල සබඳතාවයන් බිඳ වැටේ. ඇතැම්විට ලේ වැගිරීම් තත්ත්වයන් දක්වා යම් ප්‍රශ්න උද්ගතවීමට භාෂාව නරක ලෙස භාවිත කිරීම හේතුවිය හැකි ය.

සමගිය ඇති කිරීමට

සමාජය හා පුද්ගලයා යහපත් කිරීම සඳහා කතාවෙන් මෙන්ම ක්‍රියාවෙන් අර්ථචර්යාව පෙන්විය හැකි ය. අනුන්ගේ යහපත ජාතීන් අතර පවුල් අතර සමඟිය සඳහා සද්චේතනාවෙන් උපදෙස් දීම මඟපෙන්වීම, දිරිගැන්වීම වඩා වැදගත්ය. විවිධ සංස්කෘතීන්, ජාතීන්ට සිරිත් විරිත්වලට උරුමකම් කියන පිරිස් විෂයෙහි ගෞරවාන්විත ක්‍රියාකාරකම් සකසාගත යුතු වේ. බුදුරදුන් පළමු රහත් 60 නම අමතා දේශනා කළේ මේ ස්වභාවයයි. ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය’ බොහෝ පිරිසකට යහපත පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස කටයුතු කරන ලෙසයි. සමාජ පැවැත්ම අභිවෘද්ධිය සඳහා හේතුවන සියලු ක්‍රියා අර්ථචර්යාව ලෙස හැඳින්විය හැකි ය. මෙම ගුණය තමන්ගේ ක්‍රියාකාරකම් තුළ ගැබ්වී ඇත්නම් පුද්ගලගැටුම් පටුසීමාවන් තුළ ඇති නොවේ.එවන් තත්ත්වයක් මත සාමය, සහජීවනය ආරක්ෂා වේ.

සමානව සැලකීම

සමාන කණ්ඩායම්වලට සමානව සැලකීම සමානාත්මතාවයයි. නායකයෙකුට, පාලකයෙකුට තම පාලනය අර්බුදවලින් තොරව ගෙන යාමට මෙය ඉවහල් වේ. අත්තූපනායික ධර්ම පර්යාය මත පිහිටා සමාජ කටයුතුවල නියැළීම මෙයින් අදහස් වේ. සමාජ ජීවීන් තමන් සමඟ අනවශ්‍ය ලෙස සංසන්දනය නොකළ යුතු ය. එසේ සමානකොට තමා උසස් ය, එසේ නොමැතිනම් පහත් ය සිතීම නුසුදුසු ය. තවද තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකු ගැන සිතා ඔහු ද තමන්සේ ම සාමාන්‍ය කෙනෙකු සේ කල්පනා කිරීම අධීනකමකි. මෙසේ කල්පනා කිරීම මත සමාජයේ නැති භේද උද්ගත විය හැකි ය.

කුමන තරාතිරමක වුවද ලෝක ධර්මතාවයන්ට පිටුපෑමට කිසිවෙකුට හැකියාවක් නැත. උස් පහත් බව භාෂාව, ඇදහීම් සදාතනික කාරණයක් නොවේ. එසේම අනුන්ගේ කම් තමන්ගෙකම් තාවකාලිකය. මෙය බුද්ධියෙන් තේරුම්ගෙන තව කෙනෙකුගේ සාධාරණ අයිතිවාසිකමකට අකුල් නොහෙලිය යුතු ය. මේ තත්ත්වය අවබෝධකොට ගෙන කල්පනාකාරීව කරුණු සැලකිල්ලට ගනිමින් හැසිරීම වැදගත් ය. ඒ ඒ අවස්ථාවන්ට අනුකූලව අන්‍යයන් හා ඇති බැඳීම පවත්වාගෙන යාම සමානාත්මතාවයයි.