Print this Article


ශෝකය හුලකි විසල් වේදනා ගෙන දෙන

ශෝකය හුලකි විසල් වේදනා ගෙන දෙන

“සල්ල” යනු “හුල” යන අදහසයි. වහරේ දී එය 'උලක්' ලෙස ද භාවිත වේ.හුලක් පාදයේ ඇණුනේ නම් හෝ හුලකින් ශරීරයට යම් විපතක් සිදු වූයේ නම් එය මහත් වේදනා ගෙන දෙන්නේ ය.

මිනිස් සන්තානයේ හටගන්නා වූ ශෝකය ද මහත් වූ කායික හා මානසික වේදනා ගෙන දෙන “හුලක්” හැටියට ධර්ම කතාවේ දක්වා තිබේ. පඨවි ආදී හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සියලු සංඛත වස්තූන් අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ධර්මතාවයන්ට යටත් බව විදර්ශනා මනසට හසුවෙයි. විදර්ශනා මනසින් අරමුණු දැක ගන්නට අපොහොසත්වන සිතක ආලය වගේ ම ශෝකයත්, පටිඝයත් එනම් තරහවත් අකැමැත්තත් එකසේ ම හට ගනී. ඇලෙන හැම අරමුණක් ම සංඛත බැවින් ඒවා වෙනස්වීමේ දී විදර්ශනාවෙන් පුරුදු නොකරන ලද සිතකට එය මහත් දුකකි. වේදනාවකි. ඒ වෙනස්වීම පිළිගන්නට ඇති අකැමැත්ත පටිඝයක් ලෙස ද්වේෂයක් ලෙස සකස් වේ. එහි ඵලයක් ලෙස ශෝකය බලවත් වී සිත් තැවුල්, හැ¼ඩීම, වැළපීම සහ දැවෙන කායික හා මානසික ස්වභාවය දැක්විය හැකියි.

යම් වස්තුවකට තමා මොනතරම් කැමැති වුණත්, අකැමැති වුණත් ඒ සියල්ලෙහි ම පවතින්නේ උදයව්‍යය බව එනම් හටගැනීම හා නැසී යාම බව සිත් තුළ පුරුදු විය යුතුමයි. උදයව්‍යය පිළිබඳව නොවඩනා ලද සිත මුලින් සඳහන් කළ සේ ම කැමැති අරමුණෙහි ඇලීමත්, අකැමැති අරමුණෙහි ගැටීමත් සිදු කරයි. ශෝකය මෙහි අතුරුඵලයකි. මෙය හුලකි. දිගු සසර ගමනෙහි සියලු සත්වයෝ ම ප්‍රියයන්ගෙන් වෙන්වීම හෝ ප්‍රිය වස්තූන් බැහැර වීම නිසා වගුරන ලද කඳුළු සිව් මහා සාගරයෙහි ජල කඳට වඩා වැඩි බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට තිබේ. මේ නිසා ශෝකය “සල්ල” හෙවත් හුලක් බව නුවණින් දැක විදර්ශනාව සිතෙහි පුරුදු කොට පරමාර්ථ වශයෙන් ඇලීම, ගැටීම දුරුකිරීමත් එමඟින් ශෝකය සංසිඳුවා ගැනීමටත් උත්සාහ ගත යුතුමයි. ඒ සඳහා මේ “සල්ල” සූත්‍රයේ සඳහන් දහම් පෙළ ඔබට දහම් කතිකාවතක් වනු නො අනුමානයි. ඒ මෙසේයි.

“මෙලොවෙහි මනුෂ්‍යයන් ගේ ජීවිතය (මරණය හඟවන) නිමිති නැතියෙක. එහෙයින් මැ අඥත යැ. සුඛ යාපනීය නොවෙයි. අල්පද වෙයි. එද දුකින් යුක්තය.”

“මේ ලෝකයේ මනුෂ්‍යයන්ගේ ජීවිතයෙහි නිමිති නැත්තේ ය. ඒ නිසා අඥතයි. සැප පවතින්නේ නොවේ. ඉතාම කෙටි කාලයකි, එය ද දුකින් යුක්ත ය.”

නුවණින් සිහිපත් කොට බලන්න. මනුෂ්‍යයන්ගේ ජීවිතය පිළිබඳව නිමිති හෙවත් අනාගත වාක්‍ය පහසුවෙන් සඳහන් කළ නොහැක්කේ ය. එනම් ජීවිතයේ කුමන කුමන ආකාරයෙන් පවතින්නේ ද? කුමන ලෙඩ දුක්වලට මුහුණ දෙන්නට සිදුවෙයි ද? කොපමණ කාලයක් ජීවත්වෙයි ද? කුමන අවස්ථාවක කුමන ආකාරයෙන් මරණයට පත්වෙයි ද? මියැදුන පුද්ගලයා කොතැනක මහ පොළවේ පස් යට කරයි ද? යන කරුණු වශයෙන් හෝ මතු සිදුවන නිමිති හෙවත් අනාගත සිදුවීම් කිව නොහැකිමය. ඒ නිසා ජීවිතය ගැන නිසි වූත්, ස්ථිර වූත් තොරතුරු සඳහන් කළ නොහැකිමය. දිගින් දිගට පවත්නා වූ සැපතක් ම පරිහරණය කළ නොහැක්කේ ය. යම් වූ ද සැපයක් පැවතුණත් එය අල්පය. ඉතාම ටික කාලයකි. අභාවිත සිතකට එය සැපතක් ලෙස දැනුණත් එය ද දුක මතම සකස්ව ඇති බව නුවණින් මෙනෙහි කරන්නකුට පැහැදිලි වේ.

අප සැප යැයි සිතින් අල්ලා ගන්නා වූ බොහෝ අරමුණු තුළ ගැබ්ව ඇත්තේ බිය, සැකය, ශෝකය හා දුක් නොවේ දැයි නුවණින් කල්පනා කොට බලන්න. ඉතාම සමීප වූ මව්පියෝ දරුවන් ස්වාමි භාර්යා වශයෙන් හෝ එසේත් නොමැති නම් ගේ දොර ධන ධාන්‍යය වශයෙන් හෝ මෙනෙහි කොට බලන්න. මේ වස්තූන් සැප යැයි අපි සිතින් සිතාගෙන සිටිමු. එහෙත් මේ සැප සිතෙහි රඳාපවත්නා ගන්නට ශෝකයෙන් යුතු මොනතරම් උත්සාහයක් කයින් ද මනසින් ද ගත යුතු දැයි පැහැදිලිය.

ඛුද්ධක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයට අයත් සල්ල සූත්‍රය ඇසුරිනි.