Print this Article


සතුටු සිතින් ලෝකය දෙස බලන්න

සතුටු සිතින් ලෝකය දෙස බලන්න

“කිපෙන්නට, ක්‍රෝධ කරන්නට හේතුවන කරුණක් තිබුණද එය ක්‍රියාත්මක වීමට ඉඩ නොදී ඉවසීමෙන් සංසිඳුවා ගන්නේ නම් ඔහු උත්තමයෙකි.” යි, ධම්මපදයෙහි ක්‍රෝධ වර්ගයෙහි සඳහන්වේ. ක්‍රෝධ නොකිරීමේ ඇති වැදගත්කමත් ක්‍රෝධ සිතිවිල්ල අවබෝධයෙන් තේරුම්ගෙන සන්සුන් සිතක් ඇතිකර ගැනීමේ ඇති වටිනාකමත් මෙයින් පෙන්වා දෙයි. ජේතවනාරාමයට ආසන්නව, ගසක් තම නිවස කරගෙන සිටි දෙවඟනක් මුල්කරගෙන මෙම ධර්ම පාඨය දේශනාකර ඇත. භික්ෂුවක් තමාට අවශ්‍ය කුටියක් සාදාගැනීමට ගසක් දැක එහි අතු කපන්නට සූදානම් විය. මේ ගසට අධිපති දෙවඟන තම දරුවාද පෙන්වා මේ ගස තම වාසස්ථානය බවත්, මෙය කැපුවොත් තමාට යන්නට තැනක් නැති බවත් ප්‍රකාශ කළා ය. දෙවඟන කියූ දෙයට කන් නොදුන් භික්ෂුව ගසට පොරෝ පහරක් ගැසුවේ ය. භික්ෂුව ගැන කෝපයට පත් දෙවඟන භික්ෂුවට පහරදීමට අත්දෙක එසවුවා ය. අත්දෙක ඔසවාගෙනම ඇය මෙසේ සිතුවා ය.

“මා පහර දුන්නොත් භික්ෂුව මරණයට පත්වනු ඇත. භික්ෂුව සිල්වත් ය. මෙහි විපාක වශයෙන් අනන්ත කාලයක් අපායගාමීව දුක් විඳින්නට සිදුවනු ඇත.” ඇය අත් දෙක පහළට හෙළුවා ය. අසරණ වු දෙවඟන තම දුක්ගැනවිල්ල ජේතවනාරාමයෙහි වැඩසිටින බුදුරදුන් වෙත පැමිණ ඉදිරිපත් කළා ය.

බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් මගේ නිවස වූ වෘක්ෂය මා එපා කියද්දීත් කපා විනාශ කළේ ය. කෝපය නිසා ඒ භික්ෂුවට පහර දීමට අත්දෙක එසවුවද එහි බරපතල විපාකය ගැන සිතා අත්දෙක පහළට දැමුවෙමි. යි ප්‍රකාශ කළාය. දේවතාවියගේ ඉවසීම විශිෂ්ට බව ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ ඇයගේ ක්‍රියාවට ප්‍රශංසා කළහ. මෙහිදී බුදුරදුහු ඉහත කී ගාථාව දේශනා කරමින් වේගයෙන් යන රථයක් අතුරු අන්තරාවක් නොවී පදවන්නා සේ තමන් තුළ ඇති වන්නාවූ කෝපය සංසිඳුවා ගැනීමේ ඇති වැදගත්කම පෙන්වා දුන්හ.

උදේ සිට රාත්‍රී නින්දට යනතෙක් ඔබ ගතකළ කාලය දෙස බලන්න. ඒ කාලය පුරා ඔබේ සිත වික්ෂිප්තව නො සන්සුන් ව, පසුතැවිල්ලට පත් වූ අවස්ථා දෙස බලන්න. ක්‍රෝධය, වෛරය, තරහ, ඊර්ෂ්‍යාව ඇති වූඅවස්ථා දෙසත් බලන්න. මෙබඳු අවස්ථාවල ඔබ මොනතරම් මානසික ව පීඩාවට පත්වෙනවාද? ඔබේ දරුවන් සමඟ කේන්තියෙන් තරහින් ක්‍රියාකළ අවස්ථා දෙස බලන්න. ඔබේ දරුවන්ගේ, ඔබේ භාර්යාවගේ, ඔබේ ස්වාමියාගේ නුරුස්සනා ක්‍රියාවලින් ඔබ කෝපයට, වේදනාවට පත් වූ අවස්ථා කොතෙකුත් තිබෙන්නට පුළුවන.

ක්‍රෝධය ඇතිවීමට බලපාන හේතු දහයක් ධර්මයෙහි සඳහන් ය.

අසවල් තැනැත්තා මගේ දියුණුවට බාධා කර ඇත. දැනුදු බාධාකරයි. මත්තෙහි බාධා කරනු ඇත. මගේ තරහකරුවෝ මගේ මිතුරාගේ දියුණුවට බාධාකර ඇත. දැනුදු බාධාකරති. මත්තෙහි ද ඔවුන්ගේ දියුණුවට බාධා කරනු ඇත.

අසවලා මගේ සතුරාට උදව්කර ඇත, දැනුදු උදව් කරයි. මත්තෙහි ද උදව් කරනු ඇත. මේ අවස්ථා නවය නවවිධ ආඝාත වස්තු ලෙස දක්වා ඇත. වැස්ස වසින විටත්, නොවසින විටත්, අව්ව ඇති විටත්, නැති විටත්, සුළඟ ඇතිවිටත්, නැතිවිටත්, ඇතිවන තරහ මෙන්ම ගල්මුල්වල හැපී ඇතිවන කෝපය අස්ථාන ක්‍රෝධය ලෙස ධර්මයෙහි සඳහන් ය. මේ අස්ථාන ක්‍රෝධයන් සමඟ අපතුළ ක්‍රෝධය ඇතිවන අවස්ථා දහය දසවිධ ආඝාත වස්තු ලෙස පෙන්නුම් කර ඇත.

ක්‍රෝධ සූත්‍රය අනුව සමාජගත මිනිසා ක්‍රෝධයෙන් බලා ඊර්ෂ්‍යාවෙන් පුපුරන අවස්ථා හතක් පෙන්නුම් කර ඇත.

අන් අයගේ හැඩරුව, ලස්සන දෙස ඊර්ෂ්‍යාවෙන් බැලීම.

අන් අයගේ සුව නින්දට ද ඊර්ෂ්‍යා කිරීම.

අන් අයගේ ධනය, මිලමුදල් දෙස තරහින් බැලීම.

අන් අයගේ ගේ දොර, ඉඩකඩම්, යානවාහන දෙස ඊර්ෂ්‍යාවෙන් බැලීම.

අන් අයගේ කීර්තිය, ප්‍රසිද්ධිය දෙස ඊර්ෂ්‍යාවෙන් බැලීම.

හිත මිතුරන් පිරිවරා සිටී නම් තරහින් බැලීම.

සමහර අය මරණයට පත් වූ පසුද ඒ දෙස බලා ‘ මේ මනුස්සයා අපායටම යන්න ඕනෑ’ කිසා සිටීම.

මේ අවස්ථා හත සමාජය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන සිද්ධීන් බව ප්‍රත්‍යක්ෂ ය.

බුද්ධ චරිතය යනු අපගේ ජීවිත හැඩගස්වන වටිනා පාඩම් පොතකි. ක්‍රෝධයෙන්, තරහින් සිටින කිසිම අවස්ථාවක්, බුද්ධ චරිතය තුළ නැත. මාගන්ධිය, චින්චිමානවිකාව නින්දා, අපහාස, ඇණුම් බැනුම් කළද බුදුරදුහු ද ඒ කිසි දෙයකින් කම්පා නොවූහ. හේතුවක් නැතිව කරන චෝදනා අපහාස පවතින්නේ දින 7 ක් පමණක් බව බුදුරදුහු පෙන්වා දුන්හ. බුදුරදුහු නින්දා අපහාස ඉවසා, ඔවුනට මෛත්‍රී කළහ.

ඉවසීම ඉතා උසස් අන්දමින් පෙන් වූ අවස්ථාවක් ලෙස ක්ෂාන්තිවාදී ජාතකය දක්වන්නට පුළුවන. වනවාසී ක්ෂාන්තිවාදී තවුසා, ලුණු ඇඹුල් සොයා කලකට පසු නගරයට පැමිණේ. මෙසේ පැමිණි තවුසා, රජුගේ උද්‍යානයෙහි භාවනුයෝගීව සිටින අවස්ථාවෙ රජු අන්තඞපුර ස්ත්‍රීන් සමඟ මෙම උද්‍යානයට පැමිණ විනෝද වෙයි.

රජු එක් කාන්තාවකගේ උකුලෙහිම නින්දට වැටුණු අතර අනෙක් කාන්තාවෝ රජුට නින්ද ගොස් ඇතිනිසා, උද්‍යානයෙහි සිරි නැරඹූහ. මෙහිදී තවුසාණන් දැක ඔහු ළඟට ගොස් එතුමා දේශනා කරන ධර්මයට සවන් දීගෙන සිටියහ. මේ අතරතුර නින්දෙන් පිබිදුනු රජු මේ කාන්තාවන් කොහි ගියාදැයි ඇසූවිට ‘ඔවුහු තාපසතුමා වටකරගෙන බණ අසමින් සිටිතියි’ කීවා ය. කෝපයට පත් රජු කඩුවගෙන ‘ඔය තවුසා මරමියි’ වේගයෙන් තවුසා කරා දිවීය. තවුසා කරා ගිය රජු නුඹ කවරෙක්ද? ඇසීය. ‘රජතුමනි මම ක්ෂාන්තිවාදී තවුසාවෙමි. ඉවසීම උතුම්කොට ඇතැයි කීවේ ය. නුඹ ඉවසනවාද? එසේ කියා ඉක්මනින්ම වධකයා එතනට ගෙන්වා මොහුගේ සිරුරේ එක් පැත්තකට පහරවල් පන්සීය බැගින් හතර පැත්තට පහරවල් දෙදහසක් ගසන ලෙස රජු නියම කළේ ය. කස පහරට ලක් වූ තවුසාගේ ශරීරය ලේ විලක් බවට පත්විය. සම හා මස් ගැලවිණි. නහර පිපිරිණි. ලේ වැගිරිණි.

නුඹ තවත් ඉවසනවාදැයි තවුසාගෙන් ඇසීය. රජතුමනි, මගේ ඉවසීම හමේ හෝ මසේ හෝ නහරවල හෝ නොව මගේ ඉවසීම ඇත්තේ හදවතේ යැයි කීවිට මොහුගේ වචනය වැඩියි, කකුල් දෙක කපනු, ඒ අනුව වධකයා කකුල් දෙක කැපූ විට තවත් ඉවසනවාදැයි රජු ප්‍රශ්න කළේ ය. රජතුමනි, මගේ ඉවසීම ඇත්තේ කකුල් දෙකේ නොව හදවතේ යැයි තවුසා පිළිතුරු දුනි. මෙයින් කෝපයට පත් රජු තවුසාගේ අත්දෙක, කන්දෙක හා නාසය ද කැප්පවීය. තවත් ඉවසනවාදැයි ඇසූවිට රජතුමනි, මගේ ඉවසීම අත්දේකේවත්, කන්දෙකේවත්, නාසයේවත් තිබෙන්නක් නොව එය හදවතේ පවතින්නක් බව දැන්වීය.රජුට කළ හැකි දෙයක් නැත. ලේ විලක් මැද සිටින තවුසාගේ පපුවට පයින් ගසා යන්නට ගියේ ය.

තවුසාට උද්‍යානයෙහි ඉන්නට ආරාධනාකොට අවශ්‍ය දානමානාදිය සැපයූ තැනැත්තා පැමිණ බලනවිට ලේවිලක් මැද සිටින තවුසා දෙස බලා මෙය අන් කිසිවකු කරන ලද්දක් නොවේ. වෙනත් අය කෙරේ අමනාපයක් ඇතිකර නොගන්න. මෙය කළේ කලාබු රජු යැයි කීවිට තවුසා කළේ ‘යම්කිසිවෙක් මගේ අත් පා කන් නාසා කපා දැමුයේ ද ඒ රජු බොහෝ කලක් යහතින් ජීවත් වේවා’ යන ශුභාශිංසනයයි. තමාට මෙතරම් වද වේදනා දුන්නා වූ රජු කෙරෙහි ක්‍රෝධ නොකර කරුණාවෙන් හා මෛත්‍රියෙන් ක්‍රියා කළ උතුම් චරිතයක් ලෙස ක්ෂාන්තිවාදී තවුස් ජීවිතය පෙන්වා දෙන්නට පුළුවන. ක්ෂාන්තිවාදී තවුසා ඒ බරපතල වේදනා ඉවසුවානම් ඒ අපරාධ කළ අය කෙරේ කරුණාව මෛත්‍රිය හදවතින්ම දැක්වූවා නම් අපට බණින, දොස්නගන, අපට නින්දා අපහාස කරන අප විවේචනය කරන, අය කෙරෙහි අනුකම්පාවෙන් හා මෛත්‍රියෙන් බලන්නට තරම් අපේ සිත් යොමුකරන්නට බැරි ඇයි? මේ ගැන හිතන්න. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ගලේ කෙටූ අකුරු වගේ හදවතේ වෛරී සිතිවිලි වපුරගන්න ඔබ සූදානම් වන්න එපා.

නපුරු සිතිවිලිවල ඇති භයානක කම ගැන සිතා කෝප සිතිවිලිවලින් ඉවත්වන්නට බලන්න. අපායගාමී මගක් සලසා ගන්න එපා. වෛරයෙන් තොරව ඉවසීමෙන් සිටීම මහා පිනකි. ඔබ ඉවසන සෑම තත්ත්පරයක් පාසාම ඔබගේ පින් ගිණුම ස්වභාවිකව වර්ධනය වේ. වියදමකින් තොරව වර්ධනය කරගත හැකි පින් ගිණුම ගැන ඔබ අද පටන් නිතර සිහිපත් කරන්න. කුසල් සිතිවිලිවලින් සිත පුරවාගන්න පුරුදුවන්න. ඔබට සසර ගමන ගැන භයවන්න අවශ්‍ය නැහැ.

අපට සෑදෙන රෝගවලින් 80% කට පමණ හේතුව සිත බව අද බටහිර වෛද්‍ය විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. කුෂ්ඨ රෝග, දියවැඩියාව, කොන්දෙ අමාරු, හෘදයාබාධ, හිසරුදාව, අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් ඇතුළු බොහෝමයක් රෝගවලට අපගේ සිත තුළ ඇතිවන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හා මානසික ආතතීන් බලපාන බව පෙන්නුම්කර ඇත. උපමාවකින් කියනවානම් නුග පැලයක දැල්ල කැඩුවාට මුල තිබෙන තාක්කල් නැවත දළුලන්නාක් මෙනි. මෙහි සඳහන් රෝග සියයට සියයක්ම ඖෂධ මඟින් සුවකළ නොහැකි ය. නිතර වෛරයෙන් ක්‍රෝධයෙන් අනික් පුද්ගලයා, කෙරෙහි ඔබ සිටින්නේ නම් ශරීරය තුළ රසායනික සමතුලිතතාවය බිඳ වැටීම හේතු කොටගෙන ඉහත සඳහන් කළ රෝගාබාධ වලට හේතු කාරක ඇතිවිය හැකි බව වෛද්‍ය විද්‍යාව පිළිගෙන ඇත.

මෛත්‍රී භාවනාව පුරුදු කිරීම ඉතා වැදගත් ය. නිතරම මෛත්‍රී සහගත සිතිවිලිවලින් ජීවත්වීමට උත්සාහ ගන්න. සතුරන් ඇතිකර නොගෙන ජීවත්වීම ඉතා වැදගත් ය. සිතත් ගතත් පිරිසුදුව තබා ගන්න. පවිත්‍ර වූ මනස ඔබට සදා සුවය ලබාදෙනු ඇත.