Print this Article


ජාතික සමගියේ සංකේතයක් වූ ශ්‍රී දළදා පෙරහර

ජාතික සමගියේ සංකේතයක් වූ ශ්‍රී දළදා පෙරහර

ඇසළ පෙරහර යනු බෞද්ධ හා හින්දු යන දෙපිරිසගේ ම උරුමයකි. එක් පැත්තකින් ජාතික සමගිය තහවුරු කෙරෙන යහපත් පදනමක් ද එහි පවතියි. පෙරහර අවසානයේ සිදුකෙරෙන චාරිත්‍රවලට හින්දු කෝවිල ද සම්බන්ධ ය. දළදා පෙරහර යනු ජාතික සමගියේ සංකේතයක් ලෙස හැඳින්වීම නිවැරැදි ය. බෞද්ධ හා හින්දු ජනතාව අතර පවතින ආගමික සහජීවනය ඔස්සේ ජාතික සමගිය ශක්තිමත් කර ගැනීමට ආගමික උතුමන්ගේ අවධානය යොමුකරන්නේ නම් එය අපේ රටේ දියුණුවට හා සාමකාමී පැවැත්මට පිටුබලයකි.

සිංහල ජාතිය සතු උතුම් ම වස්තුව ශ්‍රී දළදා වහන්සේ යි. වසර දහසකට අධික කාලයක් අපේ මව්බිමේ රාජ්‍යත්වය පිළිබඳ සංකේතය ලෙස සැලකෙන්නේ ශ්‍රී දළදා වහන්සේයි. බෞද්ධයන් වූ අපට දළදා වහන්සේ ලැබුණේ සිව්වන සියවසේ කිත්සිරි මෙවන් රජු දවසේදී ය. එම අවධියේ සිට ම දළදා වහන්සේට සිදුකළ ගරු බුහුමන් ඉතිහාසයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව කීපවරක්ම බුදුරදුන්ට පුදන ලද දේශයකි. එම නිසා රාජ්‍ය උරුමයෙ සංකේතය වූයේ ශ්‍රී මහබෝධීන් වහන්සේ ය. රාජ්‍ය පාලන මූලස්ථානය අනුරාධපුරයෙන් වෙනත් ප්‍රදේශවලට ගෙනයාම නිසා අනුරාධපුර වැඩ සිටින ශ්‍රී මහ බෝ සමිඳුන් රාජ්‍ය උරුමයේ සංකේතය ලෙස යොදාගැනීම ප්‍රායෝගික වශයෙන් ගැටලුවක් විය. එම නිසා තැනකින් තැනකට වැඩමවා ගෙනයාමට හැකි බෞද්ධ පූජනීය වස්තුවක් වන දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ සංකේතය ලෙස සැලකීමට රජවරු නිරායාසයෙන් හුරු වූහ. රාජ්‍ය පාලනය සඳහා ස්ථානයක් තෝරාගත් සෑම අවස්ථාවක ම තම මාලිගාව අසළ දළදා වහන්සේ තැන්පත් කරවා ගෙන ගරු බුහුමන් දැක්වීමට රාජ්‍ය පාලකයන් පියවර ගත්තේ ඒ අනුවය.

මහනුවර රාජධානි සමය වන විට දළදා වහන්සේ සහ රාජ්‍යය අතර දැඩි බැඳීමක් පැවතුණි. දළදා වහන්සේ අත්පත් කර නොගෙන රාජ්‍ය පිළිබඳ අයිතිවාසිකම් කීමට කිසිවකුටත් හැකියාවක් නොමැත. අපේ මව්බිම ආක්‍රමණය කළ විදේශිකයන් දළදා වහන්සේ තමන් සතු කරගැනීමට විශේෂ උත්සාහයක් දැරුවේ ද ඒ නිසයි.

දළදා වහන්සේ පිළිබඳ පුද පූජා චාරිත්‍ර සහ සාහිත්‍ය කෘති රාශියක් තිබෙන නමුත් මහනුවර රාජධානියේ මුල් යුගයේ දී දළදා වහන්සේ මුල්කරගත් ඇසළ පෙරහරක් පැවති බවක් දක්නට නොමැත. අනුරාධපුර යුගයේ හා පොළොන්නරු යුගයේ පැවති දළදා පෙරහර ගැන වාර්තා තිබේ. ඇසළ උත්සවය පිළිබඳ ඉතිහාසය ගජබා රජු දවස දක්වා ඉතා ඈතට විහිද යයි. එය දේව විශ්වාසයන් මුල්කරගත් පූජාවකි. දෙවන රාජසිංහ රජු සමයේ (1660) ලක්දිවට පැමිණි රොබට් නොක්ස් වාර්තා කරන පරිදි ජූනි හෝ ජූලි මස මහනුවර දේවාල පූජෝත්සව පැවතුණි. ඇසළ පෙරහර එයින් ප්‍රධාන ය. ඔහු ඒ ගැන විස්තර කර තිබේ.දේවාලයේ ප්‍රධාන කපුරාල මුඛ වාඩමක් බැඳගෙන අලංකාර ලෙස සරසන ලීයක් කර තබාගෙන අලි හතළිස් ගණනක් පිරිවරා ගත් ඇතකු පිට නැඟී පෙරහරේ ගොස්ඇත. මේ අයුරින් ඇසළ පෙරහර පැවැත්වූයේ අලුත්නුවර, කතරගම හා පත්තිනි යන දේවාලයන්හි ය. පසුකාලයක දී අලුත්නුවර දෙවියන් සිටි තැන විෂ්ණු දෙවියන්ට හිමි වී තිබේ. එකල කාර්තික පූජාව ද මහනුවර පැවතුණි. එහි දී සිදු කෙරුණේ දේවාලවල පහන් දැල්වීමයි.

රාජ්‍ය වර්ෂ 1707 දී කීර්ති ශ්‍රී නරේන්ද්‍රසිංහ රජතුමා ඉතා උත්කර්ෂවත් අන්දමෙන් දළදා වහන්සේ මුල්කරගෙන ඇසළ පෙරහරක් පැවැත් වූ බව සඳහන් වෙයි. ඇසළ පෙරහර දළදා වහන්සේට කරන පූජෝත්සවයක් බවට පත් වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ උපදෙස් අනුවය. ඒ බව මුංකොටුවේ රාළගේ සඟරජවත නමැති කව් පොතේ දැක්වෙයි.

සෙංකඩගල නුවර
ඇසළට කෙරෙන පෙරහර
දෙවියන්ට නිසිකර
පැවත ආවේ කලෙක සිට පෙර

රන්සිවි ගෙයක් කොට
විජයොත් රථය විලසට
තබා ඇත් රජු පිට
වඩා දා කරඬුවක් සිවි ගෙට

බුදුන් පෙරදැරි කොට
දෙවියන් ඊට පසුකොට
පෙරහර යන ලෙසට
පැවතුනේ අප මුනිඳු කාලෙට

(සඟරජවත)

හින්දු ආගමික බලපෑම්වලට බෞද්ධ උරුමය යට වන්නට ඉඩ නොදී එය ආරක්ෂා කරගැනීමට දැරූ උත්සාහය ගැන වැලිවිට ශ්‍රී සරණංකර සඟරජ මාහිමියන්ට බෞද්ධයන් විසින් නමස්කාර කළ යුතු ය. ඇසළ පෙරහර යනු සැබවින්ම බෞද්ධ හා හින්දු සංස්කෘතියේ මිශ්‍රණයකි. ඒ අතර බෞද්ධ සංස්කෘතික අංගවලට මූලිකත්වය හා එහි අනන්‍යතාවය ආරක්ෂා වන අයුරින් පෙරහර පවත්වාගෙන යන්නට කටයුතු කර ඇති බවක් පෙනේ. අද අපට දක්නට ලැබෙන ආකාරයට බෝසත්වරුන් ලෙස සැලකෙන නාථ සහ විෂ්ණු දෙවිවරුන් සඳහා පැවැත්වෙන පෙරහර දළදා පෙරහරට අනතුරුව ගමන් කරන්නට සැලැස්වූයේ බුදුරදුන්ට මුල්තැන හිමි වියයුතු නිසා ය. එපමණක් නොව දේවාල පෙරහරවලද බුදුරදුන්ට ප්‍රධානත්වයක් ලැබෙන පරිදි සකස්කර තිබේ.

අතීතයේ දී දළදා පෙරහර සමඟ අස්ගිරි මල්වතු මහා විහාරවල භික්ෂූන් වහන්සේලා ගමන් කළහ. මහනාහිමිවරු ගමන් කළ අවස්ථා ගැනද සඳහන් වෙයි. වර්තමානයේ ඒ සිරිත දක්නට නොමැත. ආසන වෙළෙඳුන් පදික වේදිකා වෙන්කරගැනීම නිසා දුරබැහැර සිට පෙරහර බැලීමට එන ගම්බද සැදැහැවත් බෞද්ධ ජනයාට ඒ සඳහා තිබෙන ඉඩකඩ ක්‍රමයෙන් සීමාවීම මෑතක සිට දක්නට ලැබෙන කනගාටුදායක සිද්ධියකි.

ඇසළ පෙරහර යනු බෞද්ධ හා හින්දු යන දෙපිරිසගේ ම උරුමයකි. එක් පැත්තකින් ජාතික සමගිය තහවුරු කෙරෙන යහපත් පදනමක් ද එහි පවතියි. පෙරහර අවසානයේ සිදුකෙරෙන චාරිත්‍රවලට හින්දු කෝවිල ද සම්බන්ධ ය. දළදා පෙරහර යනු ජාතික සමගියේ සංකේතයක් ලෙස හැඳින්වීම නිවැරැදි ය. බෞද්ධ හා හින්දු ජනතාව අතර පවතින ආගමික සහජීවනය ඔස්සේ ජාතික සමගිය ශක්තිමත් කර ගැනීමට ආගමික උතුමන්ගේ අවධානය යොමුකරන්නේ නම් එය අපේ රටේ දියුණුවට හා සාමකාමී පැවැත්මට පිටුබලයකි.