Print this Article


කරණීය මෙත්ත සූත්‍රයෙන් ... : නො ඇලුණ සිත

කරණීය මෙත්ත සූත්‍රයෙන් ...

නො ඇලුණ සිත

අනුරාධපුරයේ ‘පෝරණක විහාරය’ නමින් පුරාණ පන්සලක් තිබුණා. ලොකු හාමුදුරුවෝ තමන්ගේ නැඟණියගේ එකම එහිදී පුතා සසුන් දිවියට ඇතුළත් කළා.

පුංචි හාමුදුරුවෝ ටික කලක් එහි වැඩ සිටියා. වැඩිදුර ඉගෙන ගන්නට, බණ භාවනා පුහුණු කරන්නට රුහුණු රටට වැඩම කළා. බොහෝ කල් ගෙවුණා. ‘මට පොඩි හාමුදුරුවෝ දකින්නට ඕනෑ’. නිතරම උන්වහන්සේ මතක් වෙනවා. පොඩි හාමුදුරුවන්ගේ අම්මා, ලොකු හාමුදුරුවන්ට නිතර ඇවිටිලි කළා.

“හොඳයි. මේ වස් කාලේ වස් සමාදන් කරවන්නට පොඩි නම මෙහි වැඩම කරවන්නම්.” උන්වහන්සේ පොරොන්දු වුණා. එක් වස් සමයක ලොකු හාමුදුරුවෝ රුහුණු රට වැඩියා. අතරමඟ නිල්වලා ගං තෙරේ දී පොඩි හාමුදුරුවෝ මුණ ගැසුණා. “මම ඔබ වහන්සේ දකින්නට ගමට වඩිනවා. දැන් මුණ ගැසුණු නිසා ආපසු වඩින්නම්.” පොඩි හාමුදුරුවෝ පැවසුවා.

“නෑ පොඩි හාමුදුරුවෝ ගමට වඩින්න. ගමේ පන්සලේ වස් වසන්න. අම්මා, තාත්තා ඔබ වහන්සේ දැක ගන්න මඟ බලාගෙන ඉන්නවා.” පොඩි හාමුදුරුවෝ ගමට වැඩියා. ලොකු හාමුදුරුවෝ රුහුණට වැඩියා. ගමේ පන්සලේ දායකයෝ එකතුවෙලා පන්සල් බිම තැන, තැන කුටි හදලා. වස් වසන හාමුදුරුවන්ට බණ භාවනා කරන්න. පොඩි හාමුදුරුවන් ගේ මවුපියන් ද ඒ අතර සිටියා.

“ඔබ වහන්සේ මේ කුටියේ වස් වසන්න. හැමදාම අපේ ගෙදරට වැඩම කර දානය පිළිගන්න.” පොඩි හාමුදුරුවන්ගේ අම්මා ආරාධනා කළා. උන්වහන්සේ වස් කාලයම එලෙස ගත කළා. වස් අවසානයේ පිරිකර පූජා පිළිගෙන ආපසු රුහුණට වැඩම කළා. නිල්වලා ගං තෙරදී පොඩි හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවෝ මුණ ගැසුණා. උන්වහන්සේ ආපසු ගමට වඩිනවා.

පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ට වන්දනා කළා.

“බොහොම හොඳයි. අම්මා, තාත්තා හමු වුණාද? වස් කාලය හොඳින් ගත කළා ද?” ලොකු හාමුදුරුවෝ ඇසුවා.

‘එහෙමයි, ස්වාමීන් වහන්ස! අම්ම, තාත්තා මුණ ගැසුණා. හැමදාම ගෙදරට වැඩම කරලා එහිදී දානය වැළඳුවා. මේ පිරිකර ඔවුන් පූජා කළ ඒවා. එයින් කොටසක් ඔබ වහන්සේට පුජා කරනවා.’ ලොකු හාමුදුරුවෝ ගමට වැඩියා. උන්වහන්සේගේ නැඟනිය පොඩි හාමුදුරුවෝ දැක ගන්නට තවමත් මඟ බලාගෙන ඉන්නවා. ඒත් ලොකු හාමුදුරුවෝ තනිවම වඩිනවා. දෑස් කඳුළින් පිරුණා. “අපේ පොඩි හාමුදුරුවන්ට කරදරයක්ද? උන්වහන්සේ අසනීපවෙලාද?” ඇය හඬමින් ඇසුවා. ‘ඇයි? මේ වතාවේ පන්සලේ වස් සමාදන් වුණේ පොඩි හාමුදුරුවොනේ. ඔබේ පුතා හඳුනා ගන්න බැරිවුණාද?’

“අනේ! අපට හඳුනා ගන්න බැරි වුණා. පුතා නිකමටවත් ඒ ගැන කීවේ නෑ.” තුන් මාසයක්ම අපි උන්වහන්සේට හොඳින් සැලකුවා.” අම්මා සතුටු වුණා. දෑස් සතුටින් කඳුළින් පිරුණා.

මේ පොඩි හාමුදුරුවන්ගේ චර්යාව අපට ලොකු පණිවුඩයක් දෙනවා. උන්වහන්සේ පවුලට, කුලය ඇළුණේ නෑ. වතුපිටි, ගේ දොර ගැන සොයා බැලුවේ නෑ. ගිහි සමාජය සමඟ ගැටුණේ නෑ. සැබෑ බුද්ධ පුත්‍රයකුගේ ස්වභාවය නම් එයයි. මෙහිදී අම්මා, තාත්තාට නො සලකනවා, ඔවුන් ගැන සොයා නොබලමි යන වැරැදි අර්ථය නොගත යුතු යි.

කරණීය මෙත්ත සූත්‍රයේ කුලෙසු අනනුගිද්ධෝ ගුණය නම් මෙයයි. එනම් කුලයට, පවුලට ගිජු නොවීමයි. ඒවායේ නොඇළුුණු යන අදහසයි. පිඬු සිඟා යාමෙහි, දානයෙහි ඇලී, ගැලී කාලය ගෙවීම භික්ෂූන් වහන්සේ නමකට නොගැළපේ. එවිට සියලු දෙනාටම සම සිතින් මෛත්‍රිය කිරීමක් කළ නොහැකිය. ‘කුලේසු අනනුගිද්ධෝ’ යන්න විශේෂයෙන්ම බලපාන්නේ භික්ෂු ජීවිතයටයි. උන්වහන්සේ ඇලීමෙන් හා ගැටීමෙන් තොරව ජීවිතය පවත්වාගෙන යති. මනස සියලු ඇලීම්වලින් තොරව පවත්වාගෙන යාමට ක්‍රියා කරති. දායක පවුල් සමඟ ප්‍රමාණය ඉක්මවා අනවශ්‍ය ලෙස සම්බන්ධතා පැවැත්විම නිවනට බාධකයකි. එමඟින් ප්‍රත්‍ය තෘෂ්ණාව ඇතිවන නිසා ය.

ගිහි පිරිසද මෙහිදී සැලකිල්ලට ගත යුතු දෙයක් තිබේ. භික්ෂූන් වහන්සේ සමඟ අනවශ්‍ය සම්බන්ධතා ඇති කර ගත යුතු නොවේ. කීර්ති, ප්‍රශංසා බලාපොරොත්තුවෙන් දන්දීම ආදී පින්කම් නොකළ යුතු වේ. ගිහි ජීවිතයේ වුවද ඥාතීන්, සහෝදර, සහෝදරියන් හැර සමහර පවුල් සමඟ පවත්වන සම්බන්ධතා ගැන සීමාව දැන ගත යුතු වේ.