සඟ මහලු
පිළිවෙතයි
වස්සාන කාලයයි
මක්කානිගොඩ අස්සජි හිමි
හේමන්ත,ගිම්හාන,වස්සාන යනුවෙන් ප්‍රධාන ඍතු භේද තුනකි. ඇසළ පොහොයෙන් ආරම්භවන ඉල්
පොහොය දක්වා සිව්මස වස්සාන ඍතුවයි. වස්සාන කාලය විශේෂයෙන් දඹදිවට විශාල වර්ෂාවක්
ගෙන දෙන කාලයකි. නොකඩවා ඇද හැලෙන මහා වර්ෂාව නිසා දෙගොඩතලා යන මහා ගංවතුර ය.
මංමාවත් වතුරෙන් යට වෙයි. නිතර ගැවසෙන හරක් කුරවලින් මඩ වූ මාවත් පා ගමනින් යා
නොහැකි ලෙස මඩ වෙයි. වියළී, මැළවී තිබූ තණබිම් ළා කොළ පැහැයෙන් බබළන්නට පටන් ගන්නේ
මෙම කාලයෙහි ය.වන සිව්පාවෝ වැහි ආවරණ යටට රොක් වෙති. සියොත් කැළ ආහාර පිණිස හෝ
බැහැර නොගොස් කැදලිවල ලගිති. බොහෝ බ්‍රහ්මචාරිහු ලුණු ඇඹුල් රැස්කරගෙන රුක්මුල්, වන
ලැහැබ්, ගස්බෙන, ගල්ගෙවල් ආදිය වෙතටවී වැස්සෙන් ආරක්ෂා වෙති. වැසි සමයෙහි දඹදිව මහා
මග ජනශූන්‍ය ය.
වැසි කාලයෙහි අන්‍ය ආගමික බ්‍රහ්මචාරින් චාරිකාවෙන් වැළකී එක්තැනක වාසය කරමින් ළා
තණ පත් නොපාගා සිටින බවත්, පක්ෂීන්ද එම කාලයෙහි කූඩුවල ලගින බවත් පෙන්වා දෙන ඇතැම්
අය ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවක පිරිස චාරිකාවෙහි යෙදෙතියි චෝදනා නැගූහ. එය
බුදුන් වහන්සේට සැළවිය. පසුව බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසට ද වැසි
සාරමාසයෙහි වස් වසන ලෙස අවවාද කර ඇත. ඒ අනුව පසුකාලයෙහි එය විනය ප්‍රඥප්තියක් වූ වග
මහා වග්ග පාලියෙහි වස්සූපනායික ඛන්ධයෙන් පැහැදිලි වෙයි. “අනුජානාමි භික්ඛවෙ වස්සානේ
වස්සං උපගන්තුං, යනුවෙන් වදාරා ඇත්තේ වස් කාලයෙහි වස් වැසිය යුතු බවයි. දායකයන්
ආරාධනා කළද, නොකළද උපසම්පදා භික්ෂුව වස්වැසිය යුතුය. එසේ වස් නොවැසීම දුකුළා ඇවතකි,
වස්වැසීම භික්ෂු ජීවිතයට අත්‍යවශ්‍යම අංගයක්ද වෙයි. එයට හේතුව නම් භික්ෂූන් වහන්සේ
නමකගේ වැඩිමහලු බව මනින මිම්ම වස්ගණන වීමයි. එහිදී වයස ගණනය කරන්නේ (වැඩිමහල් බව
සලකන්නේ) උපසම්පදාවෙන් පසු ගෙවා ඇති වස් ගණනෙනි, විමසා සිටින්නේ වස් කීයද යනුවෙනි.
වස් වැසීමේ අවස්ථා දෙකක් වෙයි. එනම් පෙරවස් වැසීම හා පසුවස් වැසීම ය. ඇසළ පුර
පසළොස්වක පොහෝ දින පොහොය සීමාවට රැස්ව පොහොය විනය කර්ම සිදුකොට අව පෑළවිය දින වස්
සමාදන්වීම පෙරවස් වැසීම වන අතර , නිකිණි පුර පසළොස්වක පොහෝ දින පොහොය විනය කර්ම කොට
අව පෑළවිය දින වස් වැසීම පසු වස් වැසීමයි.
අව පෑළවිය දින මධ්‍යම රාත්‍රියට පෙර විහාර මන්දිරයට ගොස් ඇවැත් දෙසා ගෙන, බුදුන්
වැඳ සඟමහලු පිළිවෙලට උක්කුටිකයෙන් සිට නමස්කාර පාඨය තෙවරක් කියා “ඉමස්මිං විහාරෙ
ඉමං තේමාසං වස්සං උපෙමි ඉද වස්ස උපේමි” යනුවෙන් තෙවරක් කියා වස් සමාදන් වීම පැරණි
ආචාර්ය සම්මතය යි. ඉන් පසු පිරිත් කියා දෙවියන්ට පින් අනුමෝදනා කොට වැඩිමහලු
භික්ෂුව විසින් අවවාදයක් කරනු ලබයි. එහිදී විශේෂයෙන් විහාර සීමාව සම්මත
කරගැනීමත්,රාත්‍රියක් බැහැර විසීමට යාමේදී අනුගමනය කළ යුතු වැඩපිළිවෙලත් අවධාරණය
කෙරේ. ඉන් පසු වැඩිමහල්ලන් ක්ෂමාකරවා ගෙන තමන් වසන ස්ථාන වෙත පිටත්ව යයි.
වස්කාලය වැදගත් කොට සලකන කරුණු කීපයක් වෙයි. පෙරවස් සමාදන් කරවා ගැනීමෙහි ලා මහජනයා
වැඩි උනන්දුවක් දක්වන්නේ වසරකට වරක් පමණක් තම විහාරස්ථානයෙහි සිදුකර ගත හැකි මාහැඟි
පින්කම වන කඨින පින්කම සිදු කර ගැනීම සඳහා එම ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වීමයි.
උපසම්පදා ස්වාමීන්වහන්සේ නමක් පෙරවස් වැස වස්සච්ඡේදනයට පත් නොවී වප් පුරපසළොස්වක
පොහෝ දින සීමාවකට එක්ව මහා පවාරණයෙන් පවාරණය කරනු ලැබුවහොත් පමණි, කඨින පින්කමක්
දායකයින්ට සිදු කරගත හැකි වන්නේ. එබැවින් උපසම්පදා භික්ෂූන්වහන්සේ මෙම කාලය තුළ ඉතා
සිහිකල්පනාවෙන්ම කාලය ගත කළ යුතු ය. විශේෂයෙන් වර්තමානයෙහි විහාරස්ථානවල ඉතා සීමිතව
උපසම්පදා භික්ෂූන් වහන්සේ වැඩ සිටින හෙයින් වස්සච්ඡේදනයට ලක් නොවී වස් ආරක්ෂා
කරගැනීමෙන් තමන්ට මහත් කුසලයක්ද රැස් කරගත හැකිවෙයි.
වස්කාලය අන් කාලයකට වඩා මහජනයාටත් භික්ෂූන්වහන්සේලාටත් පින් වැඩෙන සමයෙකි. ඊට හේතු
කීපයකි.
මහජනයා නිරන්තරයෙන් විහාරස්ථානවලට රැස්ව පින්කම්හි යෙදේ.
වස් තෙමස හෝ හාරමාසයෙහි විශේෂයෙන් කඨින පින්කම දක්වා උපන් දින, විවාහ සංවත්සර දින,
මියගිය දින ඇතුලු අනුස්මරණ දිනයන්හි මල්පහන් පූජාපැවැත්වීම සිරිතකි. මේ සඳහා විශාල
වියහියදමක් දැරිය යුතු නැත. තෙල්, මල්, සුවඳ දුම් ,ගිලන්පස සූදානම්කරගෙන පැමිණ
පහසුවෙන් එම පූජාව කළ හැකිය. විහාර මලු ඇමදීම ,ශුද්ධ පවිත්‍ර කිරීම වත්පිළිවෙත්
කිරීම පින් වැඩෙන ක්‍රියාවකි. ඇතැම් අය තම පින්කම් දිනට පැමිණෙන අයට සුලු
සංග්‍රහයක්ද පවත්වති. එයද පින්කමකි. වස්කාලය පුරාවටම අටසිල් සමාදන්ව ප්‍රතිපත්ති
පූජාවෙහි යෙදීමද සමහරුන් ගේ පින්කමකි. මෙම කාලයේ ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ආදියද
පවත්වති. වස්කාලයට අදාළව වස්දාන පිරීනැමීම ද තවත් පින්කමකි. වැසිසලු පූජාකිරීමත් මේ
නිමිති කර පැවැත්වෙන පින්කමකි. වස් අවසානයෙහි කඨින පින්කම ඉතා උත්කර්ෂවත්ව සිදු
කරති. ඊට සමගාමීව වස්සාවාසික සිව්රු පූජාකිරීම ද විශේෂයකි.පෙරහර පැවැත්වීම ද සැමගේ
අපේක්ෂාව වෙයි. කල්පවෘක්ෂ පුජාව ද මේ හා සම්බන්ධ වටිනා පින්කමකි.
ස්වාමින්වහන්සේලාටද මෙම කාලය පින් ඵල වැඩෙන කාලයකි.දායක පිරිසගේ පුණ්‍යකාමී චේතනාව
සාධනය කිරීම,දිනපතා විශේෂ පූජා පින්කම් පැවැත්වීම , විශේෂ ශීල සමාදාන සංවිධානය ,
ධර්මදේශනා ධර්ම සාකච්ඡා පැවැත්වීම ,වස් තෙමස වස් ආරක්ෂා කර ගැනීම , වස් සලකා දාන
පිළිගැනීම , දිනපතා විවිධ වතාවත්වල යෙදීම ,තම අධ්‍යාත්මික සංවර්ධනයට වැඩි කාලයක්
යොදමින් විහාරස්ථානයෙහි වැඩ සිටීම , වෙහෙර විහාරස්ථාන පිළිසකර කරවීම ,කඨින චීවරය
භාරගැනීම ආදියයි.
ලක්දිව වස්වැසීමේ ඉතිහාසය ඉතා ඈතට විහිදී යයි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ
ලක්දිවට වැඩම කළේ ශී‍්‍ර බුද්ධ වර්ෂ 236 වැන්නෙහි ය. මෙහිදී දේවානම්පියතිස්ස රජතුමා
ඇතුලු පිරිස බුදුදහම වැළදගත් පසු ලක්දිව බුදුසසුන ස්ථාවරවීමට නම් සිංහල දරුවකු මහණ
උපසම්පදා කොට මෙහි විනය සංගායනාවක් කළ යුතු බව පවසා ඇත. ඒ අනුව අරිට්ඨ කුමාරයා
ඇතුලු පිරිසක් පැවිදි උපසම්පදාවට පත් කොට ඇත. අනතුරුව එම පිරිස සඳහා වැඩ සිටීමට
මිහින්තලාවේ අට සැට ලෙනක් කරවූ බවත්, ලක්දිව ප්‍රථම වස්සමාදානය මිහින්තලාවේ දී
සිදුවුන බවත් සඳහන් ය. ඉන් අනතුරුව අනුරාධපුරය, කැලණිය, තිස්සමහාරාමය, සිතුල්පවුව
ආදී ප්‍රදේශයන්හි භික්ෂු පිරිස් පැතිරගිය අතර, ඒ හැම විහාරස්ථානයකම වස්වැසීමේ
ක්‍රියාවලිය සිදුව ඇත. එදා සිට අද දක්වා අවුරුදු දෙදහස් තුන්සිය විසිපහකට
වැඩිකාලයක් මෙම ශාසනික පුණ්‍යක්‍රියාව ඉතා උසස් අන්දමින් පැවැත්වීම පිළිබඳව
දක්වන්නේ දැඩි උනන්දුවකි. විශේෂයෙන් ථේරවාදී බෞද්ධ ජනතාව මෙම පින්කම් මාලාව කරෙහි
මහත් උනන්දුවක් දක්වන බව බුරුමය , තායිලන්ත වැනි රටවල එවන් උත්සවයන්ගෙන් පැහැදිලි
වෙයි. |