Print this Article


බුදු දහමයි දේවාශිර්වාදය යි

බුදු දහමයි දේවාශිර්වාදය යි

සසර සැරිසරන සත්ත්වයා උපත ලබන භූමි කිසිසේත් ම අප දන්නා ලෝකයට පමණක් සීමා නොවේ. එය මනුෂ්‍යත්වයේ පටන් දිව්‍ය, බ්‍රහ්ම ආදී වශයෙන් උසස් බවට ද, යක්ෂ ප්‍රේතාදී වශයෙන් පහත් බවට ද පත්වන බව බුදු දහමෙහි පිළිගැනීමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි අදාළත්වය බලපවත්වන ලෝකය ‘සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්මණ බ්‍රාහ්මණියා පජාය මනුස්සාය’ දෙව් මිනිසුන් සහිත ලෝකය බව හඳුන්වා තිබේ.

දේව, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝකයට වඩා වෙනස් සංයුතියකින් හා කාලය හා අවකාශය පිළිබඳ වෙනස් අනුභූති සමූහයකින් යුක්ත වන බව ද සඳහන් වේ. මේ අනුව මූලික බුදු දහම දේව සංකල්පය අවිවාදයෙන් ම පිළිගන්නා බව අවිවාදනීය කාරණයකි. දේව ලෝකවල උපදින්නේ මිනිස් ලොව පින් කළ අයයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට නොවන ශක්තීන් දෙවියන් සතුව ඇතැයි බුදු දහම පිළිගනී. එබඳු දෙවියෙකුගෙන් පිහිට පතන අයකුට පිහිට වීමට දෙවියන්ට හැකිය. ලෞකික ජීවිතයේ දී උදාවන ගැටලු සඳහා සහාය ගැනීමේ අරමුණින් පුද පූජා පවත්වා පින් පෙත් පමුණුවා ලෞකික ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම ඉල්ලා සිටීම වරදක් නොවේ.

බුදුදහමට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම හා සම්බන්ධව විමාන වත්ථුප්පකරණයේ එන සේරිස්සක විමාන වත්ථුව කදිම නිදසුනකි. මෙහිදී දඹදිව සේතව්‍ය නුවර රජ කළ මිථ්‍යා දෘෂ්ටික පයාසි රාජඤ්ඤ රජතුමා කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ වෙතින් ධර්මශ්‍රවණය කොට බුදු දහම වැළඳ ගනී. ආයු කෙළවර ඔහු චාතුම්මහාරාජික දෙව්ලොව සේරිස්සක නමින් දිව්‍ය පුත්‍රයෙක්ව උපදී. වෛශ්‍රවණ දෙව් රජු මොහුට ආඥාවක් නිකුත් කරයි. එනම් දඹදිව සිට කාම්බෝජයට යන මඟෙහි අතරමං වන්නෝ ආරක්ෂා කරන ලෙසයි. ඒ අනුව දින සතකට වරක් කාන්තාරය දෙස බලන සේරිස්සක දිව්‍ය පුත්‍රයා, මේ මාර්ගයේ නවසියයක වෙළෙඳ පිරිසක් අතරමංව සිටින බව දිවැසින් දකියි. සේරිස්සක දිව්‍ය පුත්‍රයා තම දිව්‍ය විමාන සහිතව පැමිණ ඔවුනට පිහිට වෙයි. දිව්‍යමය ආහාර ලබා දෙයි. අනතුරුව පිරිස අමතන සේරිස්සක දෙවියා තමා මෙහි පැමිණි කාරණය ඔබලා දන්නාහුදැයි අසයි. අපගේ කන්නලව්ව නිසා ඔබ වහන්සේගේ සම්ප්‍රාප්තිය සිදු වූ බව ඔවුන්ගේ පිළිතුර විය.

එවිට දිව්‍ය පුත්‍රයාගේ පිළිතුර වුයේ, ඔබලාගේ කන්නලව්ව නිසා මාගේ පැමිණීම සිදුවූයේ නොවේ. මේ පිරිස අතර එකම එක සිල්වතෙකු සිටියි. ඔහු නිති පන්සිල් රකියි. පොහොය අටසිල් රකියි. පස්පව්, දස අකුසල් නොකරන්නෙකි. කරණවෑමි වූ ඔහු ශ්‍රද්ධාවෙන් ශීලයෙන්, හිරියෙන්, ඔත්තප්පයෙන්, ත්‍යාගයෙන්, ඤාණයෙන් පොහොසතකි.

ඔහු නිසාම මා මෙහි පැමිණ ඔබ සැමට උපකාර වුනෙමි. බුදු දහමට අනුව දෙවියන්ගේ ආශිර්වාදය ලබන තවත් අවස්ථාවක් වන්නේ මෛත්‍රිය වැඩීමයි. මෛත්‍රිය වැඩීමේ ආනිසංස එකොළසක් දක්වන බුදුරජාණන් වහන්සේ හයවැනි ආනිසංසය ‘දෙවතා රක්ඛන්ති’ යනුවෙන් දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන අයුරු දේශනා කොට වදාළහ.

අංගුත්තර නිකායේ සඳහන් සක්කවත පද සූත්‍රය ද දිව්‍ය ආරක්ෂාව ලබන ක්‍රම පහක් පෙන්වා දෙයි. මව්පියන් පෝෂණය කරන, පරපුරෙහි වැඩිහිටියන් පුදන, පි‍්‍රය මෘදු වදන් කතා කරන, කේලාම් කීමෙන් දුරුවන, මසුරු බව දුරු කිරීමෙහි යුක්ත, ක්‍රෝධය මැඩ පවත්වන පුද්ගලයා දේවාශීර්වාදයට පාත්‍ර වන බව දක්වයි.

ලිච්ඡවි රාජ කුමාරවරුනට දම් දෙසන බුදුරජාණන් වහන්සේ සෑම කල්හිම තම මව්පියන්ගේ කටයුතු සොයා බලන, තම අඹු දරුවන් කෙරෙහි හිතැති, සියලු ජනයාගේ අර්ථය පිණිස ක්‍රියා කරන, කළුරිය කළ ඥාතීන්ට හා ජීවත් වන ඥාතීන්ට අර්ථ පිණිස කටයුතු කරන, දැහැමින් ගිහිගෙයි වසන ඒ පුරුෂයා දෙවියන්ගේ ප්‍රසාදයට පාත්‍රවන බව ලිච්ඡවි කුමාර සූත්‍රයේ දී දේශනා කරති.

මේ සම්බන්ධිතව කරුණු සඳහන් වන බුද්ධවංශ පාලිය ‘යම් නුවණැති කෙනෙක් ධ්‍යානයෙහි ඇලුණහුද කෙලෙස් සංසිඳවන නිවනෙහි ඇලුණහුද මනා සිහි ඇති ඒ උතුමන්ට දෙවියෝ පි‍්‍රය වන බව දක්වාලයි.

දේවාශිර්වාදය ලබන තවත් කරුණු කිහිපයක් සංයුක්ත නිකායේ සඳහන් වනුයේ,

යම් කෙනෙක් මල් ඵල උයන් වවන්නේද, පියෙවි වන වගා කොට දෙයිද, ඒ දඬු පාලම් තනන්නෝ වෙත්ද, පැන්හල් පැන් පොකුණු තනවා දෙන්නේද, ආවාස තනා දෙන්නේද, ඔවුනට නිතර පින් වැඩෙන බවත් දහම් හි පිහිටි ශීල සම්පන්න වූ ඒ ජනයෝ දේවාශිර්වාදයට ලක්වන බවයි. වරක් අතීත සිද්ධියක් දේශනා කරන අප බුදුරජාණන් වහන්සේ, (සක්කනමස්ස සූත්‍රය - සංයුක්ත නිකාය) වරක් දෙවියන්ගේ රජුවන ශක්‍ර දේවේන්ද්‍රයා පවා සිල්වත්, තම අඹුදරුවන් දැහැමින් පෝෂණය කරන උපාසක උපාසිකාවන් නිරතුරුවම ඔහුගේ වන්දනයට හා ආරක්ෂාවට පාත්‍ර වන අයුරු පෙන්වා දෙයි. මේ අනුව සලකා බැලීමේ දී බුදු දහමට අනුව සිල්වත්, ගුණවත්, ත්‍යාගවන්ත, යුතුකම් ඉටු කරන සිහි ඇති ප්‍රඥාවන්ත පින්වතා නිරතුරුවම දේවාශීර්වාදයට යොමුවන බව පැහැදිලි කරුණකි.

එහෙත් බුදුරජාණන් වහන්සේ දෙවියන්ට පින් දීම පුද පූජා පැවැත්වීම කිසිවිට ප්‍රතික්ෂේප නොකළහ. අංගුත්තර නිකායේ දී පින්පෙත් අනුමෝදන් වන දෙවියෝ, මවක් ඇකයේ රකින පොඩි දරුවකු සේ පින්පෙත් දෙන්නවුන් රකින බව දේශනා කොට වදාරයි. මජ්ක්‍ධිම නිකායේ ධනඤ්ජානි සූත්‍රයට අනුව ගිහියකු විසින් ඉටුකළ යුතු යුතුකම් දක්වන බුදුරජාණන් වහන්සේ ‘දේවතාබලි’ යනුවෙන් දෙවියන් වෙනුවෙන් කළයුතු යුතුකම් දක්වාලති. බුදුදහමට අනුව අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය, සෘද්ධිමත්, පරසිත් දන්නා නුවණැති මහානුභාව සම්පන්න දෙවිවරු සිටිති.

දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරන්නා පුද පූජා පවත්වන්නා ආරක්ෂාවට භාජනය වන බවද බුදු දහමෙහි අන්තර්ගත කරුණකි. ‘දිවාච රත්තෝච හරන්තියේ බලිං” යම් කෙනෙකු පුද පූජා පවත්වන්නේ නම් ඒ අය ආරක්ෂා කරන ලෙස බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළහ. එපමණක් ද නොව බුදු දහම මේ අයුරින් දේවාශිර්වාදය ලබන අයුරු මෙන්ම දේවත්වය කරා යා හැකි මඟද පෙන්වා දෙනු ලැබේ.

රුහුණු පුරයට අධිපතිව කතරගම දෙවොලෙහි වැඩ සිටින මහා බල සම්පන්න සෘද්ධිමත් කතරගම දිව්‍ය රාජයාණන් ද බුදුරජාණන් වහන්සේගෙන් සදහම් අසා සෝවාන් ඵලයට පත් මහේශාක්‍ය දෙවියෙකි. ඒ උතුම් ධර්ම මාර්ගය අනුගමනය කොට උතුම් දේවත්වයට පත් උදාර දිව්‍ය පුත්‍රයෙකි. එබැවින් එතුමන්ට පින් පෙත් අනුමෝදන් කිරීමෙන් පුද පූජා පැවැත්වීමෙන් මහත් ආරක්ෂාව සැමට සලසා ගත හැකි ය.