ඇසළ අව අටවක 2017.07.16
වස්සානයේ පුණ්‍ය කාලය
අයං වස්සාන කාලෝ – මේ වස්සාන කාලයයි.
ගමත්, පන්සලත් අතර වූ අවියෝජනීය බැඳීම තවත් ශක්තිමත් කරමින් පින් පුරන්නට , පින්
වඩන්නට වෙසෙස් පුණ්‍ය කාලයක් එළඹ තිබේ. ඒ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයෙන් ඇරඹි
වස්සාන කාලයයි.
දායක කාරකාදීන්ගේ ඇප උපස්ථාන ලබමින්, ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන්, බුදුරජාණන් වහන්සේ
දේශිත ධර්ම මාර්ගයේ යමින්, යථාර්ථය තේරුම් ගන්නට අවවාද අනුශාසනා ලබා දෙමින්, මිනිස්
සිත් සතන් සදහම් සුවඳින් සුගන්ධවත් කරමින්, සංඝයා වහන්සේ වස් සමාදන් වී සිටිති.
අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී සද්ධර්මය රැගෙන ලක්දිවට වැඩම කිරීමත් සමඟ අපට උරුම
වූ මේ ආගමික වත් පිළිවෙත් අදටද නොකඩ කොට ආරක්ෂා කරගෙන ඒම බෞද්ධයන් ලෙස අප ලද මහත්
භාග්‍යයකි. අතීතයේ අපේ මුතුන් මිත්තෝ ජීවිතයේ කුදු මහත් සියලු කටයුතුවලදී මුල්තැන
දුන්නේ ගමේ විහාරස්ථානයටය. භික්ෂුන් වහන්සේ ඔවුන්ගේ ප්‍රධාන අනුශාසකයා විය. ජීවිතයේ
අනිත්‍ය වටහා දෙමින්, අටලෝ දහමින් කම්පා නොවී ජීවත් වන්නට, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට
ප්‍රවිෂ්ඨ වන්නට උන්වහන්සේ ඔවුන්ට දහම් මඟ දේශනා කළහ. ඒ දහම් ශ්‍රවණය කළ අපේ
පැරැන්නන්ගේ ජීවිත සරල විය. ලද දෙයින් සතුටු විය. තුනුරුවන්ම මුල් තැන තැබූහ.
පන්සලෙන් දුරස් නොවූහ.
කාර්ය බහුල නිසා, සමාජය සංකීර්ණ නිසා අද බොහෝ දෙනකුට පන්සලට යන්නට වේලාවක් නැත. ඒ
අඩුව නිසා දරුවන්ද පන්සලෙන් දුරස්ය.
බෞද්ධයන් ලෙස අපට තෙරුවන් හැර අන් සරණක් නැත. ජීවිත ජීවත්කරවන්නට කරන අරගලය මැද
මොනතරම් අවිවේකී වුවද ආගමට දහමට මුල් තැන දිය යුතුමය. වත් පිළිවෙත් නොපුරන්නාගේ
සිල් නොපිරේ යැයි ධර්මයේ සඳහන්වේ. පිළිවෙත් පුරන්නට මේ සුදුසුම කාලයකි. වස් සමය
පුරාම සෑම වෙහෙර බිමකම විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කෙරේ.බෝධි පූජා පින්කම්, ධර්ම
දේශනා, භාවනා වැඩසටහන් පැවැත්වේ. ජීවිත සටනේ දවසේ මෙහෙවර අවසන දු දරුවන් හා එක්ව
ගමේ පන්සලට යන්නට, මළුපෙත් ඇමද, පන්සල් බිම පිරිසුදු කරන්නට, පන්සලේ ලොකු
හාමුදුරුන්ගේ, සාමණේර හාමුදුරුවන්ගේ අඩුපාඩු සොයා බලන්නට, පන්සලේ අඩුපාඩු විමසන්නට
බෞද්ධයන් ලෙස අමතක නොකළ යුතුය. වැඩිහිටියන් වන අප ඒ ආදර්ශය බාල පරපුරට දිය යුතුය
මය.
දරුවන් බොහෝ ආවේගශීලි යැයි, අකීකරු යැයි, ආත්මාර්ථකාමී යැයි, අසංවේදී යැයි, සමහර
මව්පියවරු මැසිවිලි නඟති. එහෙත් එය දරුවන් ගේ වරදක් නොවේ. වරද, ගුණ නැණ දෙකෙන්
ඔවුන් පොහොසත් නොකිරීම ය. පොත පත දැනුම පමණක් දී විභාගය වෙනුවෙන්ම සූදානම් කරනවා
හැර සිත් ගුණ දහමින් පෝෂණය කරන්නට තවමත් ඇතැම් වැඩිහිටියන්ට අමතක වී ඇති ආකාරයක්
පෙනේ.
යන්ත්‍රානුසාරී වී, ආදරය, සෙනෙහස, තමන්ගේකම, මිනිස්කම නොහදුනන සිත් සමනය කළ හැකි,
සුවපත් කළ හැකි එකම මඟ දහම් මඟයි.
පන්සල් බිමේ වැඩ හිඳින බෝ සමිඳුන්ගේ සිසිලස, බුදු පිළිම වහන්සේගෙන් නිරූපිත මෙත්
කරුණා මහා ගුණ මහිමය, වෙහෙර වහන්සේගේ ආශිර්වාදය සේම මහා සංඝරත්නයේ අනුශාසනය ජීවිතය
සහනශීලි මඟකට යොමු කරයි. අධ්‍යාත්මික සුවය, සිසිලස සදයි.
ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ගේ අනුදැනුම ලබන දරුවා වැරැදි කරන්නට බියය. පවට
ලජ්ජාශීලිය, ආගමික කටයුතු සමාජ සේවාවන්හි මුල් තැන ගන්නට පි‍්‍රයය. පොඩි
හාමුදුරුවන් වහන්සේ දරුවන්ට කල්‍යාණ මිතුරෙකි. ගිහි සැප හැර දමා ධර්මය වෙනුවෙන් කැප
කළ උන්වහන්සේ ගේ ජීවිතය සරලය. වෛරි සිතිවිලි, තරහව, ක්‍රෝධය, ආවේගශීලිබව උන්වහන්සේ
වෙත නොවේ. උන්වහන්සේ කිසි විටෙක වරදට අනුබල නොදෙති. ඒ කලණ මිතුරු ඇසුර දරුවන්ගේ
ජීවිතයට ආලෝකයකි. අඳුර පළවා හරින්නකි.
ගමත් ,පන්සලත් අතර බැඳීම තව තවත් වැඩි දියුණු කරන්නට, දැහැමි සමාජයක්, දැහැමි
අනාගතයක් දකින්නට අපට තවමත් කාලය ඇත. වැඩිහිටියන් ලෙස අප කෙරෙහිද, දරුවන් වෙතද ධර්ම
රසය ඇති කරමින් අධ්‍යාත්මික ගුණ දහම් පෝෂණය කර ජීවිතය අර්ථවත් කර ගන්නට මේ පුණ්‍ය
කාලය ආරම්භයක් කරගන්නට වීර්යය කරමු.
|