නිවනට
උපකාරක ධර්මයක්
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
කෘතගුණ සැළකීමේ සත්පුරුෂ ගුණය තථාගත බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ.
අනුශාසනාවෙන් ම ප්‍රශංසා කළහ. බුද්ධත්වය ලබා දෙවෙනි සතියෙහි තමන් වහන්සේට බුද්ධත්වය
ලැබීමේ දී සෙවන දුන් ඇසතු වෘක්ෂය දෙස සතියක් පුරා ඇසිපිය නොහෙලා බලාහිඳිමින් කෘතගුණ
සැළකීමේ සත්පුරුෂ ගුණය ලොවට පෙන්වා දුන්හ.
මංගල සූත්‍රයේ අට තිසක් උතුම් මංගල කරුණු අතර කළගුණ සැළකීම ද මංගල කරුණකි. තමාට කළා
වූ ස්වල්ප උපකාරය ද අමතක නොකොට සුදුසු අවස්ථාවෙහි උපකාර කිරීම කළගුණ සැළකීම
නම්වෙයි. “කේවලා හේසා භික්ඛවේ සප්පුරිසභූමි, යදිදං කතඤ්ඤුතා කතවේදිතා” කළගුණ දන්නා
සහ සළකන බවක් වේද එය සත්පුරුෂ භූමියයි.
කෘතගුණ සැළකීමේ සත්පුරුෂ ගුණය තථාගත බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ.
අනුශාසනාවෙන් ම ප්‍රශංසා කළහ. බුද්ධත්වය ලබා දෙවෙනි සතියෙහි තමන් වහන්සේට බුද්ධත්වය
ලැබීමේ දී සෙවන දුන් ඇසතු වෘක්ෂය දෙස සතියක් පුරා ඇසිපිය නොහෙලා බලාහිඳිමින් කෘතගුණ
සැළකීමේ සත්පුරුෂ ගුණය ලොවට පෙන්වා දුන්හ. ඇසතු වෘක්ෂය හෙවත් වර්තමානයෙහි බෞද්ධයන්
විසින් හඳුන්වන බෝධීන් වහන්සේ මනුෂ්‍යයෙක් නොවන බව සත්‍යයකි. එම කෘතගුණය
මනුෂ්‍යයෙකුට මෙන් බෝධීන් වහන්සේට නොදැනෙන බව ද සත්‍යයකි. එහෙත් මෙමගින් පෙන්නුම්
කළේ, අජීවි වස්තුවකට මෙලෙස ප්‍රත්‍ය උපකාර කරන්නේ නම් ජීවි වස්තුවකට කොපමණ නම්
ප්‍රත්‍ය උපකාර කළ යුතු ද යන්නය. සත්පුරුෂ ලෝකයක් වන්නට නම් සත්පුරුෂ මනුෂ්‍යයන්
ජීවත්වන පරිසරයක් වන්නට නම් කෘතගුණ සැළකීම පැවතිය යුතුම මානුෂික ගුණයකි.
තථාගත බුදුරජාණන් වහන්සේ කෘතගුණ සැළකීමේ ගුණය තමන් වහන්සේගේ චරිතාදර්ශයෙන් පෙන්නුම්
කළ අයුරු විමසා බලමු. තමන් වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය මුලින් ම දේශනා
කිරීමට අදහස් කළේ සත්‍ය සොයාගෙන යන ගමනේ දී පළමුව ම උපකාරී වූ ආළාරකාලාම සහ
උද්දකාරාම පුත්‍ර නම් වූ ආචාර්යවරුන් දෙදෙනාටය. දෙදෙනාම ඒ වන විට කළුරිය කොට තිබූ
බැවින් දුෂ්කර ක්‍රියා කරන සමයේ තමන් වහන්සේට උපස්ථාන කළ පස්වග මහණුන් වහන්සේ සොයා
ගියහ. උන්වහන්සේලාට ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මුල්කොට ගත් නිවන් මඟ දේශනා
කිරීමට අදහස් කළහ. ඒ අනුව බරණැස ඉසිපතනයේ මිගදායේ දී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා
කළහ.
මව්පියන්ගේ මනස සුවපත් කරමින් උපස්ථාන කළහ. ලෝකයට ද මව්පිය උපස්ථානය පිළිබඳව දේශනා
කළහ. “මාතාපිතූ ගුණෝ අනන්තෝ” මව්පියන්ගේ ගුණය අප්‍රමාණ බව දේශනා කළහ. හත්වෙනි වස
තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කළහ. තමන් වහන්සේ කුඩා කල
හදාවඩාගත් සුළු මෑණියන් වූ මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ පිරිනිවන් පෑම සඳහා
වැඩම කරන අවස්ථාවෙහි එතුමියගේ පිටුපසින් උන්වහන්සේ වැඩම කළහ. එසේ අසමසම ගුණයෙන්
පිරිපුන් තථාගත බුදුරජාණන් වහන්සේ සුළු මෑණියන්ගේ පිටුපසින් වැඩම කොට කෘතගුණ
සැළකුවේ මාතෘ ගුණයෙහි උත්තරීතර බව ලොවට පෙන්නුම් කරමිනි.
එක් අවස්ථාවක පියාණන් වහන්සේ වූ සුදොවුන් මහරජතුමා බලවත් සේ ගිලන්ව වැතිර සිටියේය.
අගසවු දෙදෙනා වහන්සේ සමඟින් තම පියාණන්ගේ ඇඳ සමීපයට වැඩම කොට හිස පිරිමදිමින්
සුවදුක් විචාළහ. “බුදු පුතේ, ඔබ වහන්සේගේ හස්තයෙන් හිස පිරිමදින විට සියලු වේදනා
පහව ගියේ යැයි” රජතුමා පැවසූහ.
සම්බුදු සසුනේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ද කෘතගුණ සැළකීමේ ගුණය පෙන්නුම් කළහ. සැරියුත්
මහරහතන් වහන්සේ, රජගහනුවර ඉතාම දුප්පත් මහලු බමුණෙක් පැවිදි කොට තම කුටියද, දානය ද
ලබා දුන්හ. අර්හත් බව ලබනා තෙක් උපස්ථාන කළහ. මෙසේ උපස්ථාන කරන ලද්දේ තමන් වහන්සේ
මේ බමුණා විසින් කරන ලද ස්වල්ප වූ උපකාරයක් සිහිපත් කරමිනි. දිනක් රජගහනුවර
පිඬුසිඟා වඩින විට බත් හැන්දක් පාත්‍රයට පූජා කිරීම ඒ උපකාරයයි. මෙම කතා
ප්‍රවෘත්තින් දෙස බැලිය යුත්තේ මානුෂික ස්වරූපයෙනි.
කාරුණික මනසකින් යුතුව විමසා බලන්න. කුඩා කල පටන් තමන් හදාවඩා පෝෂණය කළ මවුපියන්
අමතක කරන දූ දරුවන් කොපමණ සිටී ද?. වර්තමානයේ මහලු නිවාස වැඩිවෙමින් පවතී. ඒවායෙහි
වැඩිපුරම සිටින්නේ කාත්කවුරුවත් නැති අසරණයන් ම නොවේ. සමහර මවුපියන්ගේ දරුවන් රටේ
උසස් නිලයන් දරණ පහසුකම් ඇති ජීවිත ගත කරන අයය. තමන් ලොකු මහත්වන විට කුමන පිරිසක්
ජීවිතයට සමීප වුවත්, කුමන ආකාරයේ ධනයක් තමන් රැස්කර ගත්තත්, ජීවිතයේ මුලින් ම මගේ
පුතේ, ‘මගේ දුවේ මම නුඹට මුළු ලෝකයටම වඩා ආදරෙයි’ යනුවෙන් පැවසූ මවුපියන් අමතකවීම
අසත්පුරුෂ කමකි. අකෘතඥ බව විනා වෙන කවර නම් ගතියක් ද? ඉතාමත් ගුණැති බෝධිසත්වවරුන්
බඳු දරුවන් බොහොමයක් සිටින වර්තමාන පරිසරයෙහි මව්පියන්ට හිරිහැර කරන අය ද නැතුවා
නොවේ.
තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබාදුන් ගුරු උතුමන් අමතක නොකළ යුතුය. ඔවුන් වෙතින් ශිල්පය
හෝ දැනුම ලැබීම “කඩයකින් බඩුවක් ගන්නාක්” මෙන් නොසිතිය යුතුය. මෙම උතුම් බුද්ධ
ශාසනයෙහි ආචාර්ය උපාධ්‍යායවරුන්ට සළකන්නේ හා උපස්ථාන කරන්නේ මව්පියන්ට කරන උපස්ථානය
හා සමානව සලකමිනි.
හිතමිත්‍ර භාවය හෝ කල්‍යාණ මිත්‍ර භාවය පවතින්නේ ද කෙළෙහි ගුණ සැළකීම නම් වූ ගුණය ද
මුල් කර ගෙනය. කල්‍යාණ මිත්‍රයෝ දුකෙහිදී, විපත්තියේ දී අත්නොහරිති. “මා සමඟ දුකේ
දී සැපතේ දී එක්ව සිටි හිත මිත්‍රයන් ය” යන අදහසින් කෘතවේදීව පිහිට වෙති. මේ ලෝකයේ
තනිව ජීවත්විය නොහැකිය. ඔවුනොවුන්ගේ උපකාරය අවශ්‍යය. සෑම දෙයක් ම මුදලින් ම මැන
නොබැලිය යුතුය. “අහක දාන ඉබිකටුවත් ඕන කරන වෙලාවක් එයි” යනුවෙන් පැරැන්නෝ පවසති. මේ
නිසා සියලු දෙනා හැකි උපකාරයක් අවශ්‍ය අවස්ථාවක දී ඔවුනොවුන්ට සිදුකිරීම යහපති.
තවත් සමහරු කෘත ගුණ නොසැළකීමට වඩා භයානක දෙයක් කරති. එනම් තමන්ට උපකාර කළ අයට විපත්
කිරීමය. ජන සමාජයේ මෙයට පවසන්නේ ‘කන්න දීපු අත සපා කන්නට එපා’ යනුවෙනි. නැතිබැරි
අවස්ථාවන්හි දී හෝ රෝගී වූ විටෙක හෝ අසරණ වූ අවස්ථාවන්හි දී පිහිට වූ අයගේ එම ගුණය
අමතක කිරීම පමණක් නොව එම අයට කරදර විපත් සිදුකිරීම කිසිවිටෙකත් සිදු නොකළ යුතුය.
යත්ථ රුක්ඛස්ස ඡායාය
නිසීදෙය්‍ය සයෙය්‍ය වා
න තස්ස සාකං භඤ්ජ්‍යෙය
මිත්ත දුබ්බෝහි පාපකෝ
යම් කෙනෙක් ගසක් යට සෙවනක හිඳ ගත්තේ ද, සයනය කළේ ද, ඔහු හෝ ඇය විසින් ඒ ගසේ අතු
නොකැඩිය යුතුය. ගසේ අතුකඩා ගසට විපත් කළොත් ඔහු හෝ ඇය මිත්‍ර ද්‍රෝහියෙකි. කළගුණ
නොදත්තෙකි.
සමහර දුර්ජන අයට කොපමණ ගුණ කළත්, හොඳ හෝ යහපත් නොවෙති. ‘කොපමණ ගුණ කළත්, දුර්ජන අය
හොඳ මඟට ගැනීම අපහසුය. කිරිදියෙන් සේදුවත්, අඟුරු සුදුවන්නේ නම් නැත.’ කෘතගුණ
දන්නා, කෘතගුණ සළකන සත්පුරුෂ මනුෂ්‍ය රත්නයක් වීමට අපට හැකිනම් පරිසරය බොහෝ සෙයින්
ම යහපත් වේවි. දහම් මගේ දී, මාර්ග බ්‍රහ්මචරියාවේ දී මෙම උතුම් වූ ගුණාංග ඉතාමත් ම
වැදගත් ය.
කෘතගුණ සැළකීම, සත්පුරුෂ කල්‍යාණවන්ත බවේ ලක්ෂණයක් නම්, එයම කල්‍යාණ වූ නිවනට
උපකාරක ධර්මයකි. එවැනි ගුණ ඇති පුද්ගලයෙකුගේ මනස පරමාර්ථ ධර්මය හෙවත් අනිච්ච,
දුක්ඛ, අනත්ත නම් ත්‍රිලක්ෂණ ධර්මය තේරුම් ගැනීමට තරම් පොහොසත්ය. එයට හේතුව නම්,
සක්කාය දිට්ඨියේ එනම් මම ය, මාගේය නම් වැරදි දැක්ම පටන් සංයෝජන ධර්ම බැහැර කිරීමට
එවැනි ‘කල්‍යාණවන්ත’ සිතකට හැකියාව පැවතීමය. එවැනි සිතක් තමාට උපකාර කළ හෝ කරන
අයෙකුට හෝ පිරිසකට පමණක් නොව සියලු සත්ත්වයන් කෙරේ කරුණාව, මෛත්‍රිය පැතිරවීමටත්,
දානාදියටත් එනම් අත්හැරීම පුරුදු කිරීම, සිත, කය සහ වචනය සකස්වෙයි. කල්‍යාණවන්ත වූ,
සත්පුරුෂ වූ බෝධිසත්ව චරිතවල පවත්නා එවැනි එක ද ගුණයකින් නමුත් නිවන් මඟ ආරම්භ කළ
හැකිය. අවබෝධයෙන් යුතුවම ඇලීම් සහ ගැටීම්වලින් යුතු සිත දමනය කිරීමට උත්සාහ කිරීමේ
දී මෙවැනි සත්පුරුෂ සහ කල්‍යාණවන්ත ගුණාංග එමඟට උපකාරක ධර්ම බවට පත්වෙයි.
දීපා පෙරේරා |