
වස්සානය
බුදු හිමි වඳින හිමිවරු දැක දුක් මුසුව
ඇඳි තුන් සිවුරු කෙත වැහි දියරෙන් යුතුව
දැනගෙන තවත් සිවුරක් අත නැති අඩුව
කඨිනය අනු දත්හ බුදු හිමි වස් පසුව
බඹ සුර සැප ලබන උත්තම වූ වටින
අට මහ කුසල් අතරින් අග තැන් සිටින
වසරට වරක් එළඹෙන පින්කම කඨින
සිහිකර සියලු තැන බොදු කොඩියක් නැඟින
එන්. කරුණාරත්න
සම්බුද්ධ ජයන්ති විහාරය,
සපුගස්තැන්න, නිකහැටිකන්ද
ගුණ දම් සුරකිමු
ගිනිගත් සිත් සැනසේවා
මැදහත් සිත් පිබිදේවා
මුදු හදවත් ඇතිවේවා
ගුණ යහපත් කම් වේවා
බුදු බණ දසදෙස වේවා
සැමදාමත් පව තීවා
සතුරු විපත් දුරු වේවා
සත්‍යම ලොව ජය වේවා
දෙහිවල, සරණංකර පාරේ, අසුන්තා අමරසේකර
හනිකට පන්සලට යන්න
ගොම්මන් වෙලේ පන්සල් වත්තෙන්
හනිකට ගෙපැළට පැන ආවේ
ඇයිද මගේ බුදු පුතණුවනේ
පොඩි සාදු වී පිළිවෙත් පිරීම
සුමානෙකින් අවසන්වී දෝ
ලොකු හාමුදුරුවෝ බුදුන් පුදන්නට
විහාරයට ගිය නිමේෂයේ
හනිකට ආවේ මගෙ සුදු අම්මට
මේ බත්පත ගෙනවිත් දෙන්නයි
සමාවෙන්න මගෙ සුදු අම්මේ
දවල් දානයෙන් සැමටම රහසේ
බත්පත සැඟවූවා අම්මේ
පෙරදා වාගේ අද රෑ යාමෙත්
මගෙ සුදු අම්මා කුසගින්නේ බව
මට දැනෙනව ආදර අම්මේ
ඔබ මතු දිනයක බුදුවේවා පුත
ඒ භවයෙත් අම්මා වෙන්නම්
නියත විවරණයි පුංචි පුතේ මගෙ
හනිකට පන්සල් යන්න පුතේ
කිතුල්ගල , රතනසේකර රූපසිංහ |