Print this Article


වස් කාලය පුණ්‍ය කාලයක්

වස් කාලය පුණ්‍ය කාලයක්

කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි

"බමුණෙකු බුදුරදුන්ගෙන් ප්‍රශ්න කළේ නිවන කොතනක පවතින්නේද යන්නයි. ඊට පිළිතුරු ලබාදෙමින් බුදුරදුන් දේශනා කළේ බඹයක් පමණ මේ ශරීරය තුළ නිවන ඇත යනුවෙන්ය. මෙයින් පැහැදිලි වන්නේ තමා නිවැරදිව තේරුම් ගැනීම නිවන අවබෝධ කරගැනීම බවයි. මේ සඳහා අඩිතාලම වස්කාලය තුළදීම දමාගත හැකිවේ."

වස්සාන සමය පුණ්‍ය කාලයකි. එය පින්වැඩෙන කාලයක් බවට පත්කරගැනීමට ගිහි පැවිදි දෙපක්ෂයම උනන්දු විය යුතුය. බුදුරදුන් වස්කාලය අනුදැන වදාළ අරමුණ වූයේද වෙනත් කාලයකට වඩා මෙම සමය තුළ අධ්‍යාත්මික දියුණුව සලසා ගැනීමට කටයුතු වඩ වඩාත් සිදුකර ගැනීමයි. එහෙයින් අනුන් ගැන නොසොයා තමන් පිළිබඳ සිතා බලා කටයුතු කරන ලෙස උපදෙස් ලබාදුන්හ. ධම්මපදයෙහි පහත ගාථාව ඊට කදිම මගපෙන්වීමකි.

නපරේසං විලෝමානි
නපරේසං කතා කතං
අත්තනොව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානිච

මෙයින් පැහැදිලි වන අරුත වෙනත් කාලයන්ට වඩා වස් කලාසීමාවට වඩාත් යෝග්‍ය වේ. අනුන් විසින් අඩුපාඩුකම් දක්වමින් කරන බැනුම් ආදියෙන් වැඩක් නැත. අනුන් විසින් නොකළ දේවලින්ද වැඩක් නැත. තමා විසින් කළ නොකළ දේවල් ගැන ම බලන්න. බුදුදහමේ සමස්ත හරය පදනම් වන්නේ තමා පිළිබඳ යථාර්ථය සොයා ගැනීම මතය.

එක් වරෙක බමුණෙකු බුදුරදුන්ගෙන් ප්‍රශ්න කළේ නිවන කොතනක පවතින්නේද යන්නයි. ඊට පිළිතුරු ලබාදෙමින් බුදුරදුන් දේශනා කළේ බඹයක් පමණ මේ ශරීරය තුළ නිවන ඇත යනුවෙන්ය. මෙයින් පැහැදිලි වන්නේ තමා නිවැරදිව තේරුම් ගැනීම නිවන අවබෝධ කරගැනීම බවයි. මේ සඳහා අඩිතාලම වස්කාලය තුළදීම දමාගත හැකිවේ.

භික්ෂූන් වහන්සේට වසට ආරාධනාව ලැබෙනුයේ චෝදනා මුඛයෙනි. එනම් අන්‍ය ශ්‍රමණයන් මෙන්ම සතා සිව්පාවාද වැසි සමයෙහි තම ආරාමයට, කූඩුවලට වී සිටින බවත් ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් ළා තණ පාගමින් ඇවිදින බවත්ය. මේ නිසා කරුණු කිහිපයක් මුලික කොට බුදුරදුන් වස් විසීමට අවසර ලබාදුන්හ. එහිදී ප්‍රධානතම කාරණයක් වූයේ භික්ෂූන්ගේ පැහැදීම අපහැදීම පිළිබඳ ගැටලුවයි. එනම් බුදුරදුන් භික්ෂූන්ට නිරන්තරව දේශනා කළේ නොපැහැදුන අයගේ පැහැදීම පිණිසත් පැහැදුන අයගේ වර්ධනීය පැහැදීම පිණිසත් සිටිය යුතු බවයි.

අප්ප සන්නානං වා පසාදාය
පසන්නානං වා භිය්‍යොභාවය

භික්ෂූන් මෙසේ මහජන අප්‍රසාදයට පත්වීම ඉහත පාලිපාඨයට පටහැනි වන නිසා වස් ශික්ෂාව පැනවීමට අදහස් කළහ. එසේම බුදුරදුන් සොබාදහමට දැක්වූ මෙත් බව මේ සඳහා තවත් හේතුවක් විය.

‘වනංජින්දත, මාරුක්ඛං – වනතො ඡායතොභයං’ කෙලෙස් වනය සිදින්න, එහෙත් ස්වභාවික වනාන්තරවලට හානි නොකරන්න යනුවෙන් උන්වහන්සේ ධම්මපදයේදී දේශනා කළහ.

මෙම හේතු මූලිකවම පෙනුනද වස් ශික්ෂාවේ මුඛ්‍යතම අරමුණ සිව්වනක් පිරිසට කුසල් වඩා ආර්ය ලාභය ලබාගැනීමට ඉඩ සැලසීමයි. ඒ සඳහා දැක්විය හැකි ප්‍රධාන කාරණා කිහිපයකි. ශාසනිකව පිරිස වැඩිවීම නිවන අරමුණ කරගත් පිරිසෙන් බාහිර පිරිස් සසුනට එක්වීම හා බොහෝ භික්ෂූන් පරහට දහම් දෙසීම මුලික අරමුණ කොට ක්‍රියාකිරීම නිසාවෙනි. එයද බුදුරදුන් වරදක් කොට නොසැලකූහ. ඊට හේතුව වූයේ උන්වහන්සේගේම පැනවීමකි. එම පැනවීම මහාවග්ග පාලියෙහි මෙසේ සඳහන් වේ.

“චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානු කම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං මා ඒකේන ද්වේ අගමිත්ථ” මෙයින් උන්වහන්සේගේ මුල් අදහස පැහැදිලි කරගත හැකිය. එනම් බොහෝ ජනයාට හිතසුව පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙදෙනෙකු එකමඟක නොගොස් ධර්ම චාරිකාවේ යෙදෙන්න.

ඉහත පැනවීම නිසාවෙන් භික්ෂුන් වහන්සේ දිවා රෑ අව් වැසි නොතකා ජනපද චාරිකාවෙහි යෙදුණහ. මෙම හේතු සියල්ල මත වස් ශික්ෂාපදය පැනවූහ. මෙහිදී උපසපන් භික්ෂුවක් ආරක්ෂා කරන ශික්ෂාපද 227ට අමතර තවත් අතිරේක ශික්ෂා පදයකින් මෙම කාලයේදී ආරක්ෂාව කටයුතු කළ යුතු වේ. එම වස් ශික්ෂාව මෙසේය.

ඉමස්මිං විහාරේ ඉමං තේමාසං වස්සං

උපේමි ඉධ වස්සං උපේමි” ඉහත ශික්ෂාව භික්ෂුන් සමාදන්ව ගිහි පින්වතුන්ට වෙනත් කාලයන්ට වඩා පින් කුසල් සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සකසාදිය යුතුය. එසේම භික්ෂූන් වහන්සේද අධ්‍යාත්මය ගොඩ නගා ගැනීම උදෙසා වෙනදාට වඩා කාලය මිඩංගු කළ යුතුවේ. අතිතයේදී ඇතැම් දායක පිරිස් මෙසේ භික්ෂුන් වස් පිහිටුවා තමන්ද වස් තුන් මාසය පුරාවට අටසිල් සමාදන්ව ආරක්ෂා කරගැනීමට වගබලා ගත්හ. එවිට සිදුවන කඨින පින්කම මහත් පින්කමක් ම වේ. කඨින චීවරය යනු ස්ථූපයක් සකසා කොත පැළඳවීම හා සමාන වේ.

කොතක් පැළඳවීමට නම් ස්ථූපයක් අංගසම්පූර්ණ විය යුතුය. අංග සම්පූර්ණ නොවු ස්ථූපයකට කොතක් පැළඳවීම අපහසු වන්නාසේම නිසි අයුරින් බුද්ධ නියමයට අනුව ගෙවා නොදමන වස් කලායක් ඇත්නම් කඨිනයක අනුසස් ලැබීම දුෂ්කර වේ.

වස් තුන්මාසය පුරාවට අධ්‍යාත්මය වැඩෙන ක්‍රියා සිදුකළ යුතුය. එය ස්ථූපයේ කොටස් සම්පූර්ණවීම හා සමානය. ස්ථූපයක කොටස් එකින් එක සම්පූර්ණ වන්නාසේ වස් තුන්මාසය තුළ අධ්‍යාත්මය ශක්තිමත්ව ගොඩනැඟිය යුතුවේ. මේ සඳහා අධ්‍යාත්මය දියුණු වන ක්‍රියා සිදු කළ යුතු අතර අධ්‍යාත්මය බිඳෙන ක්‍රියාවන්ගෙන් ඈත්වීම අත්‍යවශ්‍ය වේ. සිදුකරන සෑම ක්‍රියාවක්ම තරගකාරිත්වයෙන් මිදිය යුතුවේ. වස් කාලය එකිනෙකා තරග කරන, තම ශක්තිය පෙන්වන කාලයක් නොවිය යුතුවේ.

අධ්‍යාත්මය කිළිටිවන දෙතිස් කථාවෙන් මෙම කාලසීමාවේදී ඉවත්විය යුතුවේ. විශේෂයෙන්ම දෙපක්ෂයම මේ කාලසීමාවේදි නොකළ යුතු කථාවෙන් ඉවත්වීමට වගබලා ගත යුතු වේ. එම දෙතිස් කථා මෙසේය.

රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහ ඇමැතිවරුන් කථා, සේනා කථා, බියවීම පිළිබඳ කථා, යුද්ධ කථා, ආහාර කථා, පාන වර්ග කථා, අඳින ඇඳුම් පිළිබඳ කථා, මල් මාල පිළිබඳ කථා, සුවඳ වර්ග කථා, නෑයන් පිළිබඳ කථා, රථවාහන පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම්ගම් පිළිබඳ කථා, නගරයන් පිළිබඳ සුන්දරත්වය, ජනපදයන් පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, ශූරක්‍රියා කරුවන් පිළිබඳ කථා. මත්පැන් පිළිබඳ කථා, වීථීන් පිළිබඳ කථා. පැන්තොටේ ස්ත්‍රීන් කථා, පේ‍්‍රතයන් පිළිබඳ කථා, නිශ්චල දේවල් පිළිබඳ, කථා, ලෝකය පිළිබඳ කියා ඇති කථා, සාගරය පිළිබඳ කථා, ආත්මයක් පිළිබඳ කථා, මරණින් සියල්ල කෙළවරවේ යන මිථ්‍යා මත, කෙනෙකුගේ ධන සම්පත් වැඩිවීම පිළිබඳ කථා,බොහෝ දෙනාගේ විනාශය සඳහා හේතු වන කථා, පස්කම් සුවය පිළිබඳ කථා,ශරීරයට දුක්දීම නිවනට හේතුවේ යැයි සිතන කථා.

ඉහත කථාවෙන් වස් තුන්මාසය ගෙවා දැමීම වස් කාලය පුඤ්ඤ කාලයක් කරගැනීමට මහත් බාධාවකි. එසේම මෙම කාලසීමාවේදී කළ යුතු කථා වර්ගයන් දහයක් පිළිබඳ පෙළදහමෙහි සඳහන්ය.

එවැනි යහපත් කථාවෙන් යුක්තව ගිහිපැවිදි දෙපක්ෂයම සීලය ආවර්ජනා කරමින් කටයුතු කළ යුතු වේ. දායක පිරිස් විශේෂ වශයෙන් මේ කාලසීමාව තුලදී සිව්පසයෙන් උපස්ථාන කරමින් වැඩි වැඩියෙන් පින් එකතු කරගැනීමට උත්සුක වීම වැදගත්ය. මෙසේ දෙපක්ෂය නිසි පරිදි වස් තුන් මාසය ගෙවා දැමීමෙන් අනතුරුව මහා පවාරණයෙන් පවාරණය වූ පසු කඨින පින්කම් සිදුකිරීමට සුදුසු බවට පත්වේ. දායක පිරිස වස් ආරාධනා කොට අවසන් දවසේ කඨිනය පුජා කිරීමට පමණක් පැමිණීම කඨින පින්කමේ ශක්තිය නොලැබීමට හේතුවකි. එහෙයින් තුන් මාසය පුරාවටම පින් වැඩෙන ක්‍රියාවන්ගෙන් යුක්තව කටයුතු කිරීම වැදගත් වේ.