Print this Article


යහපත් අරමුණක සිත පිහිටුවා ගන්න

යහපත් අරමුණක සිත පිහිටුවා ගන්න

බෞද්ධ නිර්වාණගාමී ප්‍රතිපදා මාර්ගය වූ ආර්ය අෂ්්ටාංගික මාර්ගයෙහි අටවන හෙවත් අවසාන අංගය සම්මා සමාධියයි. එනම් සිත එකඟකර ගැනීමයි. එක් අරමුණක පිහිටුවා ගැනීමයි. යහපත් අරමුණක හෙවත් කුසල අරමුණක සිත පිහිටුවා ගැනීමයි. විසුද්ධි මාර්ගයට අනුව චිත්ත චෛතසික ධර්මයන්, ඔබ මොබ විසිර යා නොදි මනාකොට, යහපත් එක් අරමුණක පිහිටුවාලීම සම්මා සමාධි නම් වෙයි. ඇස, කන, නාසය ආදි පඤ්ච ඉන්ද්‍රියයන්ට අරමුණු වන රූප , ශබ්ද, ගන්ධ ආදිය කෙරෙහි රාග, ද්වේශ ආදි කෙලෙස් හා සම්බන්ධ වු සමාධියක් ගැනද සඳහන් වන අතර එය මිච්ඡා සමාධි නාමයෙන් හඳුන්වයි.

වර්තමාන සමාජයෙහි මේ මිච්ඡා සමාධිය නිසා බාහිර ලෝකය පිළිබඳව අවධානයෙන් තොරව කටයුතු කිරීම නිසා සිදුවන දුම්රිය අනතුරු, රිය අනතුරු ආදි විපත් පිළිබඳව නිතර අසන්නට ලැබේ. මේ මිච්ඡා සමාධියෙන් සිදුවන අහිතකර විපාක අපට සම්මා සමාධියේ යහපත් ආනිසංස ඉස්මතු කර දක්වන බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරමි.

එසේම ඇතැම් සූත්‍රදේශනාවන්හි “සම්මා” යන විශේෂණයෙන් තොරව යෙදුන සමාධියක් ගැනද සඳහන් වේ. එයින් අදහස් කෙරෙන්නේ තාවකාලිකව සිතේ ඇතිවන තැන්පත් බවක් පිළිබඳවත් බුදුදහමෙන් පරිබාහිර ඇතැම් ආගම් දර්ශනවල සිතෙහි සමාධිය දියුණු කිරීමෙන් ලැබු පංචාභිඥා අෂ්ට සමාපත්ති පිළිබඳව සඳහන් වේ. මේ සමාධීන්හි සිදුවන්නේ සිතේ පවතින කෙලෙස් සන්සිඳීමක් නොවේ. යටපත් වීමක් පමණි. එහිදී සිදුවන්නේ කෙලෙස් ඉපදීමට හේතුවන ලෝභ, දෝස, මෝහ යන මූල ධර්ම එසේම තිබියදී මඩ සහිත බිමකට වැලි හෝ පස් දමා වසා දැමීමක් වැනි තාවකාලික සමාධියකි.

ශීලයෙන් හැඩගැසුණු පුද්ගලයා තුළ නීවරණ ධර්ම දුරුකිරීමේ හැකියාව පහළ වේ. ශීලයෙන් සංවර වූ පුද්ගලයා අල්පේච්ඡ පුද්ගලයෙක් වෙයි. අනුන්ගේ ගරු සැලකිලි සත්කාර අපේක්ෂා නොකරයි. ඔහුගේ වැඩි කැමැත්ත අප්‍රසිද්ධියේ ජීවත්වීමටයි. තමාගේ මූලික අවශ්‍යතා අවමයෙන් පිරිමසා ගන්නා ඔහු වෙනත් කිසිවක්, අපේක්ෂා නොකරයි. බොහෝසෙයින් බ්‍රහ්මචාරි වන ඔහු තම පරමාර්ථය ඉටුකර ගැනීම සඳහා උපරිමයෙන් උත්සාහ දරයි. අනුන් සමඟ කිසිම ගැටුමක් ඔහුට නැත. ක්‍රෝධයෙන් තොරය, ආහාරයේ පමණ දන්නා නිසා නිරෝගී පුද්ගලයෙක් වෙයි. ක්‍රියාශීලිය. කම්මැලි නැත. සිත අනවශ්‍ය සිතිවිලිවලින් තොර බැවින් සන්සුන්ය. තමා යන මග නිවැරදි බව දන්නේය.

සාමාන්‍ය පුද්ගලයා නිරායාසයෙන්ම පංචකාම වස්තූන් කැමති පරිදි ලැබෙන විට එයට ඇලෙයි. නොලැබෙන විට ගැටෙයි. නිරන්තරයෙන්ම සිත මේ ඇලීමත්, ගැටීමත් අතර දෝලනය වෙමින් පවතී. වර්තමාන සමාජය තුළ අප නිතර දකින්නේ මේ ඇලීම හා ගැටීම නිසා නොසන්සුන්වූ අසහනකාරි අසංවර සමාජයකි. එම නිසා සම්මා සමාධිය වර්තමාන ලෝකයට අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. ථීනමිද්ධ හෙවත් කම්මැලිකමද අප සමාජය තුළ බෙහෙවින් දක්නට ලැබෙන චෛතසික ධර්මයකි. නිකන් ඉද සැපවිඳීමේ අභිලාෂයෙන් බොහෝ දෙනා කටයුතු කරති. උද්ධච්චය හෙවත් සිතේ විසුරුණු බව හා කුක්කුච්චය හෙවත් කුකුස එනම් තමන් අතින් සිදුවු වැරදි පිළිබඳවත් තමන්ට කළ නොහැකිවූ යහපත් දේ පිළිබඳවත් සිතමින් පසුතැවිලි වීමද බොහෝ දෙනා තුළ දැකිය හැකි ලක්ෂණයකි. සම්මා සමාධිය තුලින් මෙම නීවරණය යටපත් කළ විට පුද්ගලයා කළ යුතු දේ කිරීමටත්, නොකළ යුතු දේ නොකර සිටීමටත් මේ මොහොතේ සිටම පෙළඹේ. විචිකිච්චා යනු බුද්ධාදී අටතැන් පිළිබඳ සැකය යැයි විස්තර වන අතර මෙහිදී විශේෂයෙන් තමා විමුක්තිය සොයා යන මාර්ගය පිළිබඳ සැකය නිවැරදි කර ගැනීම අදහස් කෙරෙන බව සැලකිය යුතුය. කාමච්ඡන්දය සහිත සිත නොයෙක් වර්ණයන්ගෙන් වර්ණ ගැන්වූ ජලයකට උපමා කර ඇත. වර්ණ ගැන්වූ ජලයකින් අපේ මුහුණ බැලීම කළ නොහැක. ව්‍යාපාදය සහිත සිත කැකෑරෙන ජලය සහිත බඳුනකට , ථීනමිද්ධය සහිත සිත දිය සෙවලින් ගහන වු ජලයකටද, උද්ධච්ච , කුක්කුච්ච සහිත සිත සුළඟින් කැළඹුණු ජලයකටද, විචිකිච්ඡා සහිත සිත අඳුරේ තබන ලද මඩ සහිත ජලයකටද උපමා කර ඇත. මේ කිසිදු ජලයකින් මුහුණ බැලීම කළ නොහැක. ඒ සඳහා පිරිසුදු පැහැදිලි ජල බඳුනක් තිබිය යුතුය. පංච නීවරණයන් යටපත් කළ සිත එබඳු පැහැදිලි ජලබදුනක් බඳුය. එබඳු සිතකින් පඤ්චස්ඛන්ධයන් ගේ ඇති සැටිය මැනවින් දැකිය හැකිය.

එසේම සාමඤ්ඤඵල සුත්‍රයේදී දක්වා ඇති ආකාරයට සම්මා සමාධිය තුළින් කාමච්ඡන්දය දුරුකිරීම නිසා ලබන මානසික සුවය පොලියට ණය මුදලක් ගත් තැනැත්තෙක් එම ණය මුදල ආපසු ගෙවා අවසන් කිරීමෙන් පසු එම ණය නැති බව නිසා ලබන සතුටට සමානය. ව්‍යාපාදය දුරු කිරීමෙන් ලබන සතුට බලවත් ලෙස රෝගීවූ තැනැත්තෙක් එම රෝගය දුරුවීමෙන් පසු ලබන සතුටට සමානය. ථීනමිද්ධය දුරුකිරීමෙන් ලබන සතුට හිරගෙයට වැටුණ මිනිසෙක් එම හිරගෙයින් මිදීමෙන් පසු ලබන සතුටට සමානය. උද්ධච්ච කුක්කුච්චයෙන් මිදීමෙන් ලබන සතුට දාසයෙක් එම දාස භාවයෙන් මිදීමෙන් ලබන සතුටට සමානය. විචිකිච්ඡාවෙන් මිදීමෙන් ලබන සතුට උවදුරු සහිත ජලය නොමැති කාන්තාරයක යන මිනිසෙක් නිදුක්ව එම කාන්තාරය තරණය කිරීමෙන් ලබන සතුටට සමානයි.

මේ සම්මා සමාධිය ඇතිකරගැනීම සඳහා අප කුමක් කළ යුතුද? “මහණෙනි” ඔබ ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කිරීමට කැමති නම් අනාපානසති සමාධිය වඩන්න, ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කිරීමට, තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කිරීමට, චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කිරීමට කැමති නම් මේ ආනාපාන සති සමාධිය වඩන්න” යන සංයුක්ත නිකායේ දීප සූත්‍රයේ සඳහන් දේශනා පාඨයට අනුව සම්මා සමාධිය ඇතිකර ගැනීම සඳහා ආනාපාන සතිය පුරුදු පුහුණු කිරීමයි, කළ යුත්තේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ මේ සහතිකය ප්‍රමාණවත්ය. සමාධිය වඩනු කැමති පුද්ගලයා අරියකාන්ත ශීලයෙන් සමන්විත විය යුතුය. ‘සීල පරිභාවිතො සමාධි මහප්පලො හොති මහානිසංසො’ යන දේශනාවට අනුව මැනවින් සුරැකි ශීලයෙන් යුතුව වඩන සමාධියයි අර්ථවත් වන්නේ. එම සමාධියෙන් යුතුව වඩන ප්‍රඥාව මහත්ඵල මහානිසංස වේ. මේ සමාධිය හෙවත් ධ්‍යාන භාවනා වැඩිම පැවිදි පක්ෂයට පමණක් සීමාවූවක් ලෙස සමහරු සලකති. එය නිවැරදි මතයක් නොවේ. අංගුත්තර නිකායේ අනුස්සති වග්ගයෙහි සඳහන් වන ආකාරයට මහානාම ශාක්‍යයා පැමිණ තමන් නිතර පුහුණු කළ යුතු ධර්ම මොනවාදැයි භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ විට උන්වහන්සේ දේශනා කර වදාළේ සද්ධා විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංච ධර්මයන්හි පිහිටා බුද්ධ, ධම්ම, සංඝ, සීල, චාග, දේවතා අනුස්සති ධර්ම හෙවත් භාවනාවන්, සතර ඉරියව් පැවැත්වීමේදීත්, රැකි රක්ෂාවන්හි යෙදී සිටින විටත්, දූදරුවන්ගේ බාධා කිරීම් සහිතව ඇඳේ සිටින විටත් වඩන ලෙසයි. ඒ අනුව මෙම සම්මා සමාධිය නිරවුල් සුවපත් ගිහි ජීවිතයක් ගත කිරීම සඳහාද අත්‍යවශ්‍ය සාධකයක් බව පැහැදිලිය.