Print this Article


සිහියෙන් උපදවා ගත යුතු

සිහියෙන් උපදවා ගත යුතු

සති යන පාලි වචනය වෙනුවට භාවිතා කරන සිංහල වචනය ‘සිහිය‘ යන්නයි. මිනිස් දිවියේ මනා සිහිය මෙලොව දියුණුවටත් පරලොව සුවයටත් ඉතා වැදගත්ය. එම නිසා සිහිය හෙවත් සතිය පිළිබඳව මනා වැටහීමක් අප සතු විය යුතුය.

සිහිය ඇතිව යමක් කළ යුතුයි යනුවෙන් එදිනෙදා ජීවිතයේදී අප හඳුන්වා දුන්නත් ඇත්තෙන්ම සිහිය යන්න එයින් බොහෝ ඔබ්බට ගොස් අවබෝධ කර ගත යුත්තකි. සතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දේශනා කළ සේක. පඤ්ච ඉන්ද්‍රිය ධර්මයන් දේශනා කරන විට, සතිය ඉන්ද්‍රිය ධර්මයක් ලෙසත්, පඤ්ච බල ධර්මවල දී සතිය බල ධර්මයක් ලෙසත්, සප්ත බොජ්ඣංග ධර්මයන් දේශනා කරන විට සතිය පළමුවන බොජ්ඣංග ධර්මය ලෙසිනුත්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය දේශනා කරන විට සම්මා සතිය නිවනට පිවිසෙන්නට භාවිතා කළ යුතු මාර්ගාංගයක් ලෙසිනුත් දේශනා කර ඇත.

අප මේ අවස්ථාවේදී ආර්ය අෂ්ටාංගික මාර්ග දේශනාවේ දී පැහැදිලි කරන්නට යෙදුණු සම්මා සතිය යන්න කුමක්දැයි විමසා බලමු.

යමක් පිළිබඳව මනා කොට යථාර්ථවත් ලෙසින් සිහිකිරීමට උපකාර වන්නේ සතිය හෙවත් සිහියයි. සිහිය හඳුනා ගැනීමට හැකි ලක්ෂණය ‘අපිලාපන‘ වශයෙන් ධර්මයේ හැඳීන්වේ. අපිලාපන නම් සිතට ගත් අරමුණු අමතක නොකර සිත තබා ගැනීමේ හැකියාවයි. එයින් බොහෝ පෙර කළ කී දැය පවා සිහිකරන්නට හැකි වේ. එමෙන් ම උපකාරක ධර්මයන් සිතට ළංකර ගැනීමේ හැකියාව සිහියේ ඇති ලක්ෂණයකි. මේ ධර්මය යහපත්, මේ ධර්මය අයහපත් යයි විමසා දැනීමට හා එයින් යහපත් ධර්මය ගෙන අයහපත් ධර්මය අතහැර දැමීමට හැකියාව ලැබෙන්නේ සිහිය පිහිටුවාගත් පුද්ගලයාට යි. සිහිය මැනවින් ඇති තැනැත්තාට අමතක වීමක් නොවන්නේය. තමන් සිහි තබා ගත් කාරණා මැනවින් මතක් කරගැනීමට හැකිය. එය සතියේ ඇති විශේෂත්වය හෙවත් රසයයි. තමන් සතියෙන් යුක්ත පුද්ගලයෙක් යැයි තමන්ට වැටහෙන්නේ සිත වැරදි අරමුණුවලට යා නොදී රැකගැනීමට ඇති හැකියාව අනුවය. නිතර වෙනස්වන වංක, චපල අදහස් ඇත්තෙකුට සම්මා සතිය ඇති කරගැනීම අපහසුය.

සතිය සෑම කුසල් චෛතසිකයක් සමගම යෙදෙන්නකි. හැම ව්‍යඤ්ජනයකටම ලුණු අවශ්‍ය වන්නා සේ හැම කුසලයකටම සතිය අවශ්‍ය වේ. මේ නිසා කුසල් අදහස් ඇති කරගැනීමට සම්මා සතිය කෙතරම් වුවමනාදැයි තේරුම්ගත හැකිය. සම්මා සතිය පිහිටා තිබෙන පදනම වන්නේ සතර සතිපට්ඨානයයි.

කාලයක් තිස්සේ අපේ සිත නොයෙක් නරක, අකුසල් දෙයට පුරුදු වී තිබේ. කැලයෙන් බැඳගෙන ආ කුලු හරකකු සේ නිතරම හොඳ අරමුණුවලට වඩා නරක අරමුණුවලට සිත ඇදී යයි. වනයෙන් ආ කුලු හරකා නැවත වනයට යා නොහැකි වන සේ රැහැනකින් බැඳ එළිමහනට ගෙනවිත් සවි ශක්තිය ඇති කණුවක බැඳ උගේ කුලු ගතිය නැතිවී යනතුරු ආහාර ද නොදී තැබිය යුතුයි. එසේම මේ රූපාදී අරමුණු කෙරෙහි කාමාශාවන් උපදවමින් එයටම පැන සිත සති නැමැති රැහැනින් බැඳ, කායානුපස්සනා දී සතිපට්ඨාන ධර්මයක බැඳ ටික කලක් ගොස් හීලෑවනතුරු තැබිය යුතුවේ. එසේ සතිපට්ඨාන ධර්මයන්ට සිත මැනවින් පුරුදු වූ සිතේ වික්‍ෂිප්ත බව නැති වී රූපාදී අරමුණු කරා ගියත් එහි පවත්නා නිසරු බව දැක සතිපට්ඨාන නමැති කණුව වෙතම පැමිණේ. එය හීලෑ වු කුලු හරකා කැලයට ඇරියත් එහි නොරැදී ආපසු පැමිණෙන්නා සේය.

සිත දමනය කරගනිමින් සම්මා සතිය පිහිටුවා ගැනීමට උපකාර වන්නා වූ සතර සතිපට්ඨානය කෙටියෙන් විමසා බැලිය යුතුය. සතිපට්ඨාන යන්නෙහි අර්ථය වන්නේ උපදවාගත් සිහි ඇති බව යන්නයි. කායානුපස්සනාව යනු සිහියෙන් යුක්තව කය දෙස බැලීමයි. කාය නම් ඇසට පෙනෙන රූපකායයි. මේ රූප කාය කෙස්, ලොම්, නිය, දත්, ආදී දෙතිස් කුණප කොටස් රැසකින් යුතුය. ඒ සියල්ල ඉතා පිළිකුල් සහගත කොටස්වලින් යුක්තය. සතියෙන් යුක්ත තැනැත්තා මේ කය දෙස බැලිය යුත්තේ නිත්‍ය, සුභ, සුඛ ගති ඇති වටිනා දෙයක්, ලබා ගත යුතු රසවත් දෙයක් ලෙසින් නොවේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙසිනි. එසේ මනා සිහියෙන් (සම්මා සතියෙන්) යුක්තව කය දෙස බැලීම කායානුපස්සනාවයි. මෙහිදී භාවිත කරන භාවනාවන් වන්නේ ආනාපනසති භාවනාව හා අසුභානුස්සති භාවනාවන්ය.

වේදනානුපස්සනාව යනු සිහියෙන් යුක්තව ඇතිවන වේදනාවන් දෙස බැලීමයි. එම වේදනා සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා යනුවෙන් ත්‍රිවිධාකාර වේ. මෙලෙස විඳීන්නට සිදුවන මෙම වේදනාවන් විඳීන විට මේ විඳීන්නේ මෙනම් වේදනාවයි යැයි සිහියට නඟා ගනීද, තමා මෙන්ම අනුන් පිළිබඳවත් එසේම යැයි සිතමින් තෘෂ්ණා විරහිතව, ආත්ම වශයෙන් කිසිවක් නොගනිමින් කටයුතු කරන තැනැත්තා වේදනානුපස්සනා සතිපට්ඨානයෙන් යුක්තය. සම්මා සතිය වඩන විට චිත්තානුපස්සනාව ගැන ද අවබෝධ කර ගත යුතුය. චිත්තානුපස්සනා යනු සිත හැසිරෙන තත්වය අනුව සලකා බැලීමයි. තමාගේ සිත රාගික වන විට, විරාගිකවන විට, තරහ ඇතිවන විට, තරහ නැතිවන විට, මුළාවට පත්වන විට, නොමුළාවන විට, කලබලවන විට, කලබල නොවන විට මේ ආදී වශයෙන් සිත පවත්නා අයුරු වෙන වෙනම සිතා බැලීම චිත්තා- නුපස්සනාවයි. සම්මා සතිය දියුණු කරගන්නට කැමැති පුද්ගලයා ධම්මානුපස්සනා සතිපට්ඨානය ද මෙනෙහි කරයි. පඤ්ච නීවරණයන් අතුරෙන් නීවරණ තමාගේ සිත්හි පහළවූ හෝ පහළ නොවූ බව සලකමින් ඒ නීවරණ බැහැර කර නැවත නොඉපදනා පරිදි දැන ගනී. එසේම රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන, යන පඤ්චස්කන්ධය ද ඇතිවීම, ඇතිවිමේ හේතුව, නැතිවීම හා නැතිවීමේ හේතුව සොයා බලයි. එලෙසින්ම චක්ඛු. සොත, ඝාණ, ජිව්හා, කාය,මන යන ආයතන හා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන ආරම්මණයන් ද ඒවා ගැටිමෙන් ඇතිවන සංයෝජනයන් ද, සංයෝජන ප්‍රහාණයන් ද දැනගැනීම මෙහිදී වැදගත් වේ. පියවි සිහියෙන් යුක්තව කටයුතු කරන විට ඕනෑම අයෙකුට තමන්ගේ ඕනෑම කාර්යයක් සාර්ථක කර ගැනීමට හැකියාව තිබෙන බව මෙයින් පැහැදිලි වේ. එලොව මෙලොව දෙලොවටම තම සෙත සාදා ගැන්මට හැකියාව ඇත්තේ සම්මා සතිය නිසි අයුරින් උපදවා ගතහොත් පමණක් බවත් මෙයින් පැහැදිලි වේ.