Print this Article


නිවැරැදිව ගත කරන යහපත් ජීවිකාව

නිවැරැදිව ගත කරන යහපත් ජීවිකාව

බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයට අනුගමනය කිරීම සඳහා පෙන්වා දෙන ලද මාර්ගය මැඳුම් පිළිවෙත ලෙස හැඳින්වේ. එය පළමුව පස්වග තවුසන්ට දේශනා කරන ලද්දකි.එහෙත් පසුව ගිහි පැවිදි සැමට අනුගමනය කිරීම සඳහා අනු දැන ඇත. ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනත් කිසිදු ආගමක දහමක දර්ශනයක ඇතුළත් ඉගැන්වීමක් නොවේ.එය පළමු වරට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ධම්ම චක්කපවත්වන සූත්‍රදේශනාවේදීය.

සම්මා ආජීවය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පස්වැනි අංගයයි. නිවැරැදි ලෙස ගත කරන යහපත් ජීවිකාව එයින් කියැවේ.

තත්ථ කතමො සම්මා ආජීවො ඉධ අරිය සාවකො මිච්ජා ආජීවං පහාය සම්මා ආජීවෙන ජීවිකං කප්පෙති, අයං වුච්චති සම්මා ආජීවො

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා ආජීවය නම්, කවරේද? මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මිථ්‍යා ආජීවය අත්හැර සම්මාආජීවයෙන් ජීවත් වේද,ඊට සම්මා ආජීවය යැයි කියනු ලැබේ. .ප්‍රාණඝාතාදී කාය, වාග් ,දුශ්චරිතයෝ විනෝදය පිණිසත්, ක්‍රෝධය ඊර්ෂ්‍යාදිය පිණිසත් ,නොයෙක් හේතුන් නිසා කරන්නාවූ දුශ්චරිතයන් ගෙන් වෙන්වීමත් ,දුශ්චරිතයන් අත්හැරීමත් , සම්‍යක් කර්මාන්ත නම් වූ මාර්ගාංගයයි. දිවි පවත්වා ගැනීම හේතුවෙන් අන්‍ය හේතූන් උදෙසා කරන්නාවූ මුසාවාදාදී වාග් දුශ්චරිතයන්ගෙන් වෙන්වී, ඒවා අත්හැරීමත් සම්‍යක් වචනය නම් වේ. දිවි පැවැත්මට උපකාර කර ගනු පිණිස කරන්නාවූ කාය වාග් දුශ්චරිතයන්ගෙන් වෙන්වී ඒවා අත් හැරීමත් සම්මාආජීවය නම් වූ මාර්ගාංගයයි.

නිවන් සාක්ෂාත් කරගැනීම සඳහාත් ආජීව පාරිශුද්ධිය වුවමනාය.ආජීව පාරිශුද්ධිය ඇති කර ගැනීම සඳහා ගිහියන් විසින් ප්‍රාණඝාතාදී කාය වාග් දුශ්චරිතයන්ගෙන් දුරු විය යුතුය. ආයුධ වෙළෙඳාම, වහල් වෙළෙඳාම, මස් වෙළෙඳාම, මත්පැන් වෙළෙඳාම, විෂ වෙළෙඳාම, යන අධාර්මික වෙළෙඳාම් පසින් වැළකී ගොවිතැන් කිරීමෙන් හා ධාර්මිකව දිවි පැවැත්ම කළ යුතුය.

සම්මා ආජීවය විස්තර කරන නොයෙක් තැන්හි බෞද්ධයා විසින් නොකළ යුතු පංච විධ වෙළෙදාමෙන් ඈත්වීම යහපත් ජීවිකාව ලෙස හඳුන්වා තිබේ. සම්මා ආජීවය හුදෙක් මිනිසා ගේ ආර්ථික කටයුතුවලට පමණක් සීමා නොවේ. ආර්ථික කටයුතුවලින් බැහැර තවත් බොහෝ දේ එමඟින් ආවරණය වේ. බෞද්්ධ සදාචාරයට අනුව ජීවන රටාව ගොඩනඟා ගැනීම සම්මා ආජීවයට ඇතුළත් වේ. යහපත් වචනයෙන් යහපත් ක්‍රියාවෙන් දිනපතා ජීවිතය ගත කිරීම සම්මා ආජීවයයි. මුදල් සෙවීම, මුදල් වියදම් කිරීම, සමාජ සබඳතා ගොඩනඟා ගැනීම, විෙවිකය ගත කිරීම, සුව පහසු ජීවිතයක් ගත කිරීම , ජීවිතයේ ආශ්වාදය ලැබීම මේ සියල්ල ජීවන රටාව ගොඩනැඟීම සඳහා වැදගත් වේ.

ධනය උපයා ගැනීම සඳහා අනුගමනය කළ යුතු යහපත් ක්‍රියාමාර්ගය බුදු දහමෙහි හඳුන්වා දී ඇත.

ධාර්මිකවද, සාහසික නොවන ලෙසද, ධනය උපයාගත යුතුය. උට්ඨාන වීර්යෙන්, දෑතේ මහන්සියෙන් , දහදිය හෙළා ශ්‍රමය වැයකර ධනය ලබාගත යුතුවේ. මෙහිදී කායික ශ්‍රමය පිළිබඳ විශේෂ අවධානය යොමුකර තිබේ. කායික ශ්‍රමය පමණක් නොව මානසික ශ්‍රමයද අගය කරනු ලැබේ. කරන කාර්යෙහි දක්ෂ විය යුතුය.(දක් ඛෝ )කම්මැලි නොවිය යුතුය. (අනලසෝ ) ඒ වැඩ කිරීමටද වැඩ සංවිධානයටද දක්ෂ විය යුතුය. (අලං කාතුං අලං සංවිධාතුං)උපාය විමසා බලා උච්ත පරිදි කටයුතු කළ යුතුයි. (තත්‍රැසාය විමංසාය සමන්නාගතෝ ) මානසික ශ්‍රමයද ධාර්මිකත්වය සඳහා ඇගයීමට ලක්කර තිබේ. බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංච ශිලය ආරක්ෂා වන පරිදි ධනය ඉපයිය යුතු වේ. අනෙක් නිර්ණායක වනුයේ ධාර්මික වූ රැකියාවක් වුව ද, සැහැසිකමින් තොරව ඉටු කිරීමය. ධනෝපායනයේ දී සාහසිකත්වය කිසියම් අංගයක් කෙරෙහි බලපැවැත්විය හැකියි. පාරිභෝගිකයා කෙරෙහි, නිෂ්පාදකයා කෙරෙහි, පරිසරය කෙරෙහි, ස්වාමියා හා සේවකයා කෙරෙහි යනුවෙනි. කිරුම් මිනුම් වලින් රැවටීම මගින් විශේෂයෙන්ම පාරිභෝගිකයා සූරා කෑ හැකිය.අඩුවෙන් අගය කිරීම මගින් නිෂ්පාදකයා රවටනු ලැබේ. සුදුසු පරිදි වැටුප් , නිවාස පහසුකම් උසස් වීම් ආදිය නොතකා කටයුතු කිරීමෙන් සේවකයන් දුෂ්කරතාවලට පත් කරන ආකාරය පෙනෙයි. නියමිත කාලයට වැඩ නොකිරීමෙන් ,අඩුපාඩු ඇතිවන පරිදි කාර්යෙහි යෙදීමෙන්, සේවකයන් අපහසුතාවට පත් වේ. මේ ආකාරයෙන් සම්පත් අනවශ්‍ය පරිදි් නාස්ති කරමින් ජීව අජීව පරිසරය විනාශ කරමින් කරන සැහැසිකම් දැක්විය හැකියි.

ධනය ධාර්මිකව උපයාගත්තද එසෙලසම ධාර්මිකව පරිහරණය කිරීම ආජීවය යහපත් වීමට හේතු වෙයි. ඒ සඳහා බෞද්ධ මඟ පෙන්වීම සුත්‍ර ගණනාවක ඇතුළත් කර තිබේ. අත්තානං සුඛේති පිණේති සංවිභජති පුඤ්ඤාති කරෝති

පාරිභෝගිකයාගේ අවධානය යොමු විය යුතු අංග දැක්වේ. පාරිභෝගිකයා තමාගේ අවශ්‍යතා සපුරාගැනීම (සුඛේති) තමාගේ පහසුව සළසා ගැනීම (පිණේති) තමන්ගේ වගකීම් හා යුතුකම් ඉටු කිරීම (සංවිභජති) පින් කිරීම(පුඤ්ඤාති. කරෝති )

මේවා කෙසේ සපුරා ගත යුතුද යන්න පත්තකම්ම සුත්‍රය විමසීමෙන් පමණක් වුවද, තේරුම් ගත හැකියි. පාරිභෝගිකයාගෙන් ඉටු විය යුතු නීති (යෝ්ග්‍ය) කාර්ය සතරක් (පත්තකම්ම)ලෙසින් ඉදිරිපත් කර තිබේ.

තම මව්පිය, අඹුදරු,සේව්‍ය සේවක පවුලේ හිත මිතුරන් යන අයගේ අවශ්‍යතා ඉටුකිරීම ඥාතීන් අසල්වා සීන් යන කොටස් කෙරෙහි කළ යුතු යුතුකම් වගකීම් ඉටු කිරීම. පූජ්‍ය පක්ෂය වෙනුවෙන් සංග්‍රහ කිරීම කළ යුතුවේ.

මේ අයුරින් ධනය වියදම් කර පරිභෝ ජනය කිරීම ආයතන පාරිභෝජකයන් ලෙස හැඳින්වේ. හුදෙක් තමන් පිළිබඳ පමණක් නොසිතා තමා හා සම්බන්ධ විවිධ කොටස් කෙරෙහි තමාගේ යුතුකම් හා වගකීම් ඉටුකළ යුතුය. ආර්ථිකය පමණක් නොව සමාජ සම්බන්ධතා යහපත් ආකාරයෙන් ගොඩනඟා ගැනීම වැදගත් වේ. එකිනෙකාගේ හිතසුව සැපයීම, සුවපහසු ජීවිතයක් ගත කිරීම, තමා තෘප්තියට පත්වීම , ඉදිරියට දියුණුවට හේතුවන පින් කිරීම යනාදී කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතු වේ. ආගමික නායකත්වයට ගරු කිරීමෙන් ආගමික සහනශීලි පැවැත්ම සිදුවේ. ආපදාවන්හිදී අසරණ නොවේ. මෙවැනි සාර්ථක පාරිභෝගිකයෙක් විය හැකි වන්නේත් , සම්‍යක් ආජීවය සපුරා ගත හැකි වන්නේත්, සම්‍යක් දර්ශනයක් ඇත්නම්, පමණි.