ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව - අංක 07:
බණ ඇසිය යුතු නියම ක්‍රමය
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක
කොළඹ ආනන්ද විද්‍යාලයේ
විශ්‍රාමික සහකාර
විදුහල්පති
රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ
හිටපු විදුහල්පති
ගල්කිස්ස
බෞද්ධායතනාධිපති
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නාහිමි
බිම ඉඳ සිට කී බණ නාසන් නේ
විම තිව උඩ ඉඳ සිට නාසන් නේ
කැම තිව කීවොත් විමසා සන් නේ
එම වද සගමොක් සැප සාදන් නේ
මෙම කවියෙන් බණ ඇසීම පිළිබඳ උපදෙස් කීපයක් දෙයි. එයින් එකක් නම් සිටගෙන කියන බණ බිම
ඉඳ ගෙන නො ඇසිය යුතු බවයි. එසේ ම වෙනත් කල්පනාවකින් හෝ උඩක ඉඳගෙන හෝ සිටගෙන නො ඇසිය
යුතු බවයි. ධර්මය දේශනා ඕනෑකමකින් සහ විමසීමෙන් වටහාගෙන ඇසිය යුතු බව තවත්
උපදේශයකි. මේ කරුණු පිළිපදින තැනැත්තාට ස්වර්ග මෝක්ෂ සම්පත් හිමිය. සිටගෙන කියන බණ
තමාට අසනීපයක් නැතිනම් සාමාන්‍ය බිමක හෝ ඉඳගෙන ඇසීම සුදුසු නොවේ. එය ධර්මයට කරන
නිගරුවකි. ධර්ම ශ්‍රවණය කරන විට සිත වෙනතකට යොමුකළ හොත් ඒ ධර්මයෙන් නියම ප්‍රයෝජන
ගත නොහැකි ය.
බණ අසන පුද්ගලයන් තුන් කොටසක් ගැන ධර්ම ග්‍රන්ථයන්හි සඳහන්ය. එයින්
අවකුජ්ජපඤ්ඤ නමින් දැක්වෙන පුද්ගලයා ධර්ම දේශනාව ආරම්භ කළ අවස්ථාවේ සිට අවසානය
දක්වා එහි රැඳී සිටින නමුත් ඔහු ධර්මය කෙරෙහි සිත් යොමු නො කරයි. වෙනත් බාහිර දේ
ගැන සිතමින් කල් යවයි. කට යටිකුරු කරන ලද භාජනයකට දිය වත්කළ නමුත් සුළු
ප්‍රමාණයක්වත් ඇතුළට නො වැටෙන්නාක් මෙන් විසිරුණු සිත් ඇති තැනැත්තාගේ මනසට ද දහම්
බිඳුවක් හෝ ඇතුළු නොවේ. වර්තමාන සමාජයෙහි බොහෝ අය ධර්ම ශ්‍රවණය සඳහා යති. විටින්
විට දුරකතන සාකච්ඡාවලට සහභාගි වන අවස්ථා දක්නට ලැබෙයි.
වටපිට බලමින් වෙනත් අරමුණු
වලට සිත් යොදන අය ද නැතුවා නොවේ. අවසානයේ ඒ බණ ටික නම් හරිම හොඳයි’යැයි කියති.
එහෙත් කෙනෙකු ඇසුව හොත් .මොනව ද දේශනා කළේ. යනුවෙන් ,අනේ මට නම් මතක නෑ. යනුවෙන්
උත්තර දෙයි. මේ අන්දමට බණ ඇසීම නිෂ්ඵල ය. කවියෙහි විමතිව යන පදයෙන් දැක්වෙන්නේ
බාහිර කරුණු වලට සිත යන්නට නො දී ධර්මය කෙරෙහිම සිත පිහිටුවා ශ්‍රවණය කළ යුතු බවයි.
එසේ කිරීමෙන් මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් පවා උසස් ප්‍රතිඵල ලබාගත් බව
ලක්දිව ගුහාවක් තුළ සිටි කිරි වවුලන් පන්සියයක් සතිපට්ඨාන ධර්මය මැනවින් අසා
සුගතිගාමී වූ බවට ධර්ම ග්‍රන්ථයන්හි දැක්වෙන පුවතින් පැහැදිලි වෙයි. අසනීප
තත්ත්වයක් නොවේ නම් උස් වූ ඇඳ පුටු ආදියෙහි සිට ධර්ම ශ්‍රවණය කිරීම සුදුසු නොවේ.
එසේ කිරීම ධර්මයට කරන නිගරුවකි. කවියෙහි දැක්වෙන්නේ ධර්ම ශ්‍රවණයෙ දී නුසුදුසු
ක්‍රියා කීපයක් පමණි ධර්ම ග්‍රන්ථයන්හි දැක්වෙන තවත් කරුණු කිපයකි. .න පාදුකා
රූළ්හස්ස අගිලානස්ස ධම්මං දෙසිස්සාමිති සික්ඛා කරණීයා. යන දේශනාවට අනුව නො ගිලන්ව
පාවහන් දමාගෙන සිටින අයට ධර්මය දේශනා කිරීම සුදුසු නොවේ. තවත් විදියකින් කියතොත්
පාවහන් දමාගෙන ධර්ම ශ්‍රවණය කිරීම නුසුදුසු ය. එසේම වාහනයක නොගිලන්ව වාඩි වී සිට
ධර්ම ශ්‍රවණය කිරීමත්, නොගිලන්ව ඇඳක සිට බණ ඇසීමත් සුදුසු නොවේ. අසනීපයක් නොවේ නම්
වකුටු වී පොරවාගෙන බණ ඇසීමත් එවැනි කෙනෙකුට ධර්මය දේශනා කිරීමත් වරදකි. මාර්ගයෙහි
ඉදිරියෙන් යන තැනැත්තාට පසුව ගමන් කරමින් ධර්මය දේශනා කිරීම ද සුදුසු නොවේ. සත්වයා
ලෞකික වශයෙන් උසස් තත්ත්වයට පත් කිරීමටත්, සතර අපායෙහි නො වැටී ගලවා ගැනීමටත් හැකි
පුදුම බලයක් ධර්මය සතුව පවති. ලෝකයේ පහළ වූ සියලු බුදුවරයෝ ම ධර්මය ගුරු තන්හි තබා
ගෙන මහත් සේ ගෞරව කළහ. අප ගෞතම බුදුහු සත් සතිය ගතකරද් දී පස්වෙනි සතියෙහි දී අජපාල
නුග රුක මුල වැඩසිටියහ. එහිදී තමන්ට ගුරුවරයෙකු අවශ්‍ය යි සිතා ධර්මය ගුරු තන්හි
තබා ගත් බව සඳහන් වේ. ධර්මයට බුදුහු පවා ගෞරව දැක් වූයේ ඒ අන්දමිනි. ධර්මය ගෞරව
ඇතිව ඇසීමෙන් ලෞකික - ලෝකෝත්තර සම්පත් ළගා කර ගත හැකිය.
ආලවක සූත්‍රයෙහි සුස්සූසා
ලභතෙ පඤ්ඤා යනුවෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ප්‍රඥාව ලැබෙන බව බුදුහු දැක්වූහ. කරුණු
පහකින් ධර්ම ශ්‍රවණය කරණ තැනැත්තාට උසස් ප්‍රතිඵල ලබාගත හැකි වෙයි. තමා මෙතෙක් නො
ඇසූ වැදගත් කරුණු අසන්නට ලැබීම එක් ප්‍රතිඵලයකි. අසා ඇති කරුණු තව දුරටත් තහවුරු
වීම තවත් කරුණකි. සැක කටයුතු යමක් තිබුණේ නම් එය පහව යාම හා තමන්ගේ නිවැරදි දෘෂ්ටිය
බෙහෙවින් ශක්තිමත් වීම තවත් කරුණු දෙකකි. පැහැදුනු සිතක් ඇතිවීමෙන් තම ජීවිතය තව
තවත් දහම් මගට යොමු වීම පමණක් නොව ධර්මාවබෝධයට ද හේතු වෙයි. රහත් භාවය ලබා ගැනීමට
වාසනාව ඇති ත්‍රිහේතුක ප්‍රතිසන්ධිලාභී කෙනෙකුට ඒ බලාපොරොත්තු වූ උතුම් තත්ත්වය
ළඟාකර ගැනීමට පරතොඝොසප්‍රත්‍යය හෙවත් වෙනත් කෙනෙකු ප්‍රකාශ කරන ධර්මයක් කන වැටිය
යුතුම ය. එසේ නොහැකි වුවහොත් ලැබෙන්නට තිබෙන උතුම් අධිගමයන් ලබාගත නොහැකි වෙයි.
පෙස්ස නම් ඇතරු පුත් බුදුරදුන් ඉදිරියෙහි බණ අසමින් ටික වේලාවක් සිට නැගිට ගියේ ය.
සෝවාන් භාවයට පත්වීමට තරම් වාසනාව තිබූ ඔහු නැගිට නොගියේ නම් ඒ තත්ත්වය ළගාකර
ගැනීමට වාසනාවන්ත වනු ඇත. එහෙත් එය නො ලැබුණි. මහධන සිටුපුත්‍රයාට මගඵල ලැබීමේ
වාසනාව උපතත් සමග හිමිව තිබුණි. එහෙත් ඔහුට ඒ උතුම් තත්ත්වය අහිමි වූයේ ධර්ම
ශ්‍රවණය නො කිරීම හේතුවෙනි.
මේ තත්ත්වය වටහාගත් බොහෝ අය එකඟ වූ සිතින් තුණුරුවන්
කෙරෙහි සැදැහැයෙන් ධර්ම ශ්‍රවණය කළ බව පෙනේ. ගවරවාල අංගනයෙහි පිණ්ඩපාතිකාංගය සමාදන්
වූ එක්තරා භික්ෂු නමක් රාත්‍රියෙහි සෙනග සිටින පෙදෙසෙන් බැහැරව විවේකීව එකඟ වූ
සිතින් බණ අසන්නට විය. එහි දී සර්පයෙකු විසින් දෂ්ට කරන ලදුව ඒ කිසිවක් කිසිවෙකුට
නො අඟවා ඒ භික්ෂු නම එකග වූ සිතින් ධර්ම ශ්‍රවණය කළ බව සඳහන්ව ඇත. මිහින්තලයේ
කලුදිය පොකුණ ලඟ කලුතිඹිරි ගසක් යට කලුබුද්ධරක්ඛිත හිමියෝ එක් දිනක් කාලකාරාම
සූත්‍රයෙන් ධර්මය දේශනා කළහ. සද්ධාතිස්ස රජතුමා ධර්ම දේශනාව ආරම්භ කළ සැන්දෑ කාලයේ
සිට එළිවෙන තුරා නිසොල්මන්ව, එකඟ වූ සිතින් ධර්ම ශ්‍රවණය කිරීමේ පුවත තවත් එක්
නිදසුනකි. |