මිතුරුකම දුරුවී සතුරු වන්නේ ඇයි
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
"මට වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ අපමණයි යනුවෙන් පමණක් නොසිතා තමන්ට පරලොවක් තියෙනවා,
සංසාර ගමනක් තියෙනවා , අපායෙන් අත්මිදී , සුගතියක වාසය කළ යුතුයි, නිවන් දකින්න ඕනෑ
යනුවෙන් සිතා මෙත් වැඩීම ප්‍රගුණ කරන්න. ලක්ෂ , කෝටි වාරයක් මෙත් සිත පතුරුවද්දී
තමන්ට ලැබෙන දියුණුව කියා නිම කරන්න බැහැ."
සසරේ එක්තරා ආත්ම භාවයක මහ බෝසතාණන් වහන්සේ, දැන උගත්, කතාවට චතුර, දක්ෂ කුමාරයෙක්
වුණා. එකල මේ කුමාරයාගේ පියාණන් වුණේ සතුරු දේවදත්තයි.
මේ පියාණන් බෝසත් කුමාරයාට අපමණ වෛර කළා. පුංචි කුමාරයාගේ අතපය කෑලිවලට කපා දැම්මා.
ඒත් අතපය නැති කුමාරයා තමන්ගේ පියාණන්ටත්, වධකයාටත් මෛත්‍රිය පැතිරුවා. අත පය නැති
කුමාරයා කඳ කොටස පමණක් තිබියදී මෙසේ මෛත්‍රී කරනවානම් උස් මහත් වුණොත් කොහොම
වෙයිදැ’යි සිතූ මේ සතුරු පියාණන් කුමාරයාගේ කඳ කොටස කීතු කීතු වලට කැබලි කළා. මේ
පියාණන්ගේ වෛරය බෝසත් කුමාරයා කෙරෙහි කෙතරම් දැ’යි සඳහන් කළොත් සුනු විසුණු කළ මස්
කැබලි දුන්නක අමුණා හිමාලයට විසි කළා. මෙලෙස සතුරු පිය රජතුමා සසරේ ආත්මයක් පාසා
බෝසත් කුමාරයා පසු පස පැමිණ කළ කර්ම විපාක අපමණයි. මේ නිසා මිත්‍රත්වය නැතිවී පව
බලවත් වුණා. අදත් අපේ ජන සමාජයේ මව් පියන් තම දරුවන්ට සහ දරුවන් තම මව් පියන්ට
සතුරු වී වාසය කරන ශෝචනීය සිදුවීම් අපමණයි. මේ සෑම දෙයක්ම සිදුවන්නේ මෙත් සිත නැති
නිසයි.
අප මේ ගැන හොඳින් කල්පනා කළ යුතුයි. කොයි කා සමඟත් කරුණාවෙන්, මෛත්‍රියෙන් ජීවත්
විය යුතුයි. මිතු දහම හොඳින් ආරක්ෂා කළ යුතුයි. ලොවුතුරා බුදු දහම පිළිබඳ හසල
දැනුමක් ඇති කරගෙන මෛත්‍රී භාවනාවෙන් ඉදිරියට යන්නට උත්සාහ කළ යුතුයි.
අද සමාජයේ ජීවත්වන සැමටම අවශ්‍යවන්නේ මිත්‍රත්වයයි. තරහ, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව,
පළිගැනීම ආදී පවිටු සිතිවිලි තුරන් කර හොඳ අදහස්වලින් ජීවත් වීමට මෛත්‍රී භාවනාව
අත්‍යවශ්‍යයයි.
භික්ෂූන් වහන්සේලාට අවවාද කරන විටත් ධර්ම දේශනාවලදී විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව
වඩන්නැ’යි උපදෙස් දෙනවා. එහි අනුසස් ගැන සිතා අවංකව භක්ත්‍යාධරයෙන් මෛත්‍රිය
පැතිරවිය යුතුයි.
සත්ත්ව හිංසනයෙන් වැළකී, මස් මාංශ අනුභවයෙන් වැළකී මෛත්‍රී භාවනාව වැඩුවොත් අනුසස්
බහුල වෙයි. ස්වර්ණ හංස ජාතකයට අනුව මහ බෝසතාණන් වහන්සේ මෛත්‍රී භාවනාව වඩා
වනාන්තරයේ සියලුම සත්ත්වයෝ ඔවුනොවුන්ට මිතුරු වුණා. මස් මාංශ භක්ෂණයෙන් තිරිසන්
සතුන් පවා වැළකුණේ මෛත්‍රියේ බලය නිසයි.
තමන්ටත්, මව්පිය, ගුරුවරුන්ටත් මෙත් වැඩුවා සේම තමන් වාසය කරන ප්‍රදේශයටත් මෙත්
වැඩිය යුතුයි. පන්සලක්නම් මේ විහාරයට, නිවසක් නම් මේ නිවසේ සියලු සත්ත්වයෝ යන
වදනින් අරඹා සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, සියලු පුද්ගලයෝ, සියලු ආත්මභාව ඇත්තෝ,
සියලු ස්ත්‍රීහු , සියලු පුරුෂයෝ, සියලු ආර්යයයෝ, සියලු අනාර්යයෝ , සියලු දෙවියෝ,
සියලු මනුස්සයෝ, සියලු දුක් විඳින සත්ත්වයෝ ආදී වූ සත්ත්ව කොට්ඨාශ දොළහටම එකක්
පාසාම වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා,
යන කරුණු පහෙන් මෙත් වඩන්න. එවිට හැට වාරයක් මෛත්‍රී කළා වැනියි.
මෙලෙස මෛත්‍රී කළේ තමන් වාසය කරන විහාරය, නිවහන , හෝ භූමියට පමණයි. දැන් අප තමන්ගේ
විහාරය හෝ නිවස පිහිටා ඇති ප්‍රදේශයේ ගම්වාසී සත්ත්ව කොට්ඨාශ වලට සහ අවට ගම්මාන වලට
ඉහත සඳහන් අයුරින් මෙත් වැඩිය යුතුයි. තව දුරටත් මෙත් සිත පතුරුවා තමන්ගේ නිවස
පිහිටා ඇති නගරයට, මේ රටට, දඹදිව් තලයට සහ ලෝක ධාතුවේම වාසය කරන සත්ත්ව කොට්ඨාශ
හැත්තෑ දෙකකට බෙදා මෙත් වඩන්න. මෙසේ ලොවේ වාසය කරන අපමණ සත්ත්ව කොට්ඨාශයකටම මෙත්
වැඩීමේ පින කෙතරම්දැ’යි බලන්න. මේ පාඩමට හසු නොවන සත්ත්වයෙක් ලෝකයේ නැහැ.
මෙත් සිත පැතිරවීම විනාඩියකට, දෙකකට සීමා නොකර බොහෝ වේලාවක් වැඩීමට හුරු පුරුදු විය
යුතුයි. මෙය වදනකින් දෙකකින් නොසිතා පැය භාගයක්, පැයක් දක්වා මෛත්‍රී භාවනාව
ක්‍රමයෙන් වැඩිය යුතුයි.
මට වැඩ තියෙනවා, දරුවන්ගේ වැඩ අපමණයි යනුවෙන් පමණක් නොසිතා තමන්ට පරලොවක් තියෙනවා,
සංසාර ගමනක් තියෙනවා , අපායෙන් අත්මිදී , සුගතියක වාසය කළ යුතුයි, නිවන් දකින්න ඕනෑ
යනුවෙන් සිතා මෙත් වැඩීම ප්‍රගුණ කරන්න. ලක්ෂ , කෝටි වාරයක් මෙත් සිත පතුරුවද්දී
තමන්ට ලැබෙන දියුණුව කියා නිම කරන්න බැහැ. එවිට පාරමී දහම් සම්පූර්ණ වී බෝධි
පාක්ෂික ධර්ම ඉබේම වැඩෙනවා.
බස් රියේදී, දුම්රියේදී රැකියාවට යන වේලාවේදී , ගමනක් බිමනක් යද්දී , අතුපතු
ගාද්දී, නිවසේ වැඩ කටයුතු කරද්දී සැමටම මෛත්‍රිය කරන්න. එවිට ඒ ඉරියව්වෙන්ම සිහි
කල්පනාවෙන් වැඩ ටිකත් හොඳින් කෙරී විශාල කුසලයකුත් ලැබෙයි.
බුද්ධ ශාසනයකදී පමණක් කළ හැකි මේ භාවනා ක්‍රම අප අනුගමනය කළ යුතුයි. මෙත්තා
පාරමිතාව රහත් වීම සඳහාත්, ,මෙත්තා උප පාරමිතාව පසේ බුද්ධත්වය සඳහාත්, මෙත්තා
පරමත්ථ පාරමිතාව ලොවුතුරා බුද්ධත්වය සඳහාත් වැඩිය යුතුයි. පාරමිතාවෝ සම්පූර්ණ කළ මහ
බෝසතාණෝ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බෝධි මූලයේදී ලොවුතුරා බුද්ධත්වය ලැබුවා.
එසේනම්, ලොවුතුරා බුද්ධත්වය, පසේ බුද්ධත්වය, අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක තනතුරු
ලබාදෙන ක්‍රමයක් වන්නේ මෛත්‍රී භාවනාවයි.
ලොවුතුරා බුදු දහමට අනුව ශිල, සමාධි, ප්‍රඥා ගුණ බෝධි පාක්ෂික ධර්ම දියුණු කළ
යුතුයි. මේ සඳහා සිහි කල්පනාව සහ නුවණ අවශ්‍යයයි. එවිට තමන්ගේ ගුණ සම්පත්තිය හොඳින්
දියුණු කරන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ
අනුදැන වදාළේ උන් වහන්සේ ඒ මඟ ගමන් කළ නිසයි. එය අමා මහ නිවනට මඟයි. උන් වහන්සේ
අසරණ ලෝක සත්ත්වයා වෙනුවෙන් මධ්‍යම ප්‍රතිපදාව පැහැදිලිව දේශනා කර වදාළේ ඔවුන්
දුකෙන් මුදා ගැනීමටයි.
මධ්‍යම ප්‍රතිපදාව ප්‍රථමයෙන් වදාළේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙන්. පංච වර්ගී
භික්ෂූන් වහන්සේ උදෙසා බරණැස් නුවර ඉසිපතනාරාමයේදී ආරම්භ කළ මේ සුමධුර සදහම්
දේශනාවෙන් ලෝවැසි සැවොම ඉමහත් සැනසුමක් ලැබුවා.
මෙසේ ලෝකෝත්තර වශයෙන් පමණක් නොව ලෞකික වශයෙන් ද සියලු පැතුම් ඉෂ්ඨ සිද්ධ කරන
ක්‍රමයක් වන්නේ මෛත්‍රී භාවනාවයි. එය නිවන් දකින තුරු සුගතියක වාසය කිරීමට වාසනාව
ලැබෙන සුවිශේෂී භාවනාවක්. එසේනම්, මේ අනුසස් හොඳින් කල්පනාකර අනන්ත බුදු, පසේ බුදු,
මහ රහතන් වහන්සේ නිවී සැනසී වදාළ අමා මහා නිවන් සම්පත් අවබෝධ කරගන්න පින්වත් ඔබටත්
මෛත්‍රී භාවනාව හේතු වාසනා වේවා!
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |