Print this Article


පූජාච පූජනීයානං

තෙමසකට පෙර අපවත් වී වදාළ දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමි

ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණානුස්මරණ පින්කම නිමිත්තෙනි.

අපවත් වී වදාළ දවුල්දෙණ ඤාණිස්සර මහ නාහිමිපාණන් වහන්සේ භික්ෂු ජීවිතයකට සැබෑ ආදර්ශයකි. මනුෂ්‍යත්වයට සැබෑ උපමා දර්ශකයකි. උන්වහන්සේ අවංක සෘජු, කතා ඇත්තෙකි. ප්‍රතිපත්ති ද එසේම ය. ආගමික, ජාතික දේශපාලනික ඕනෑම ගැටලුවක දී යථාවබෝධයෙන් පෙරමුණ ගෙන කරුණු ඉදිරිපත් කළ සංඝ පීතෘන් වහන්සේ නමකි. .

සිය ජීවිතයේ 13 වියේ දී මෙලොව ලැබිය හැකි උතුම් සැපය වූ පැවිදි සුවය සඳහා ප්‍රවුජ්‍යාභූමියට ඇතුළත්ව මූලික සාමණේර බණදහම් හැදෑරීමෙන් පසු වැඩිදුර අධ්‍යයනය කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනේදි එහි දක්ෂතම ශිෂ්‍යයාට හිමිවන ‘ස්‍යාම රාජ ත්‍යාගය’ ලබා ගැනීමට පවා සුදුසුකම් ලැබූහ. එයින් පසු ප්‍රාචීන භාෂා අධ්‍යාපන කටයුතුවල නිරතව ඒවායින් ද ප්‍රථම ස්ථානය ලබා වෛද්‍යසේකර ත්‍යාගය හා ස්ටබිස් ත්‍යාගය වැනි ත්‍යාගලාභී වූහ. උපසම්පදා පුණ්‍ය කර්මයේ දී ද උපාධ්‍යායන් වහන්සේ වූයේ පණ්ඩිත ශිරෝමණී විදුරුපොල පියතිස්සාභිධාන උඩරට අමරපුර නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. මෙයින් පසුව ද භාෂාන්තර දැනුම වර්ධනය කර ගනිමින් දෛවිභාෂා විශාරද සංස්කෘත භාෂා චක්‍රවර්ති ෂඩ් භාෂා පර්මේශ්වර ආදී ගෞරවනාම ලාභී වූහ. නිකායත්‍රයේ සාමගි‍්‍රය හා උන්නතිය, අභිවෘද්ධිය වෙනුවෙන් අනතිමානී බවින් යුක්තව වයෝවෘද්ධ භාවය පවා යටපත් කොට විශාල කැපකිරීම් කළ මහතෙර නමක් වූහ. එනිසාම තෛ‍්‍රනිකායේ ම මහානාහිමිවරුන් මූලික කොට ගත් මහා සංඝයා වහන්සේලාගේ ගෞරව අභිමානයට අපේ නාහිමිපාණෝ පාත්‍ර වූහ. අපවත් වන විට වයස අවුරුදු 102 ක් විය. අපවත් වීමට දින 04 කට පෙර දිනයේ ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයේ සභාපති වශයෙන් නිතියෙන් පවත්වන රැස්වීමකටද අපත් සමඟ සහභාගි වී නිතර කියන සිනහ කතා සමගින් පරිවර්තන කටයුතුවලට අදාළ ව මෙදින මතු වූ ‘අප්පටිභාගො’ ‘අප්පටිපුග්ගලො’ යන බුදුගුණ දෙක පිළිබඳව මනා පැහැදිලි කිරීමක් කළහ. සිහිබුද්ධිය නොවෙනස්ව අවසන් දින කීපය දක්වා පැවැති බවට සාධක එසේ ය. එසේම අවසන් මොහොත දක්වා ආරාධිත සියලු ආගමික ජාතික උත්සව කටයුතුවලට සහභාගී වී එම කටයුතු සම්භාවනීය තත්ත්වයට පත් කළේ ය.

ඉතා පි‍්‍රයශීලී, සිනහමුසු බවින් යුත් සැහැල්ලු දිවියක් ගතකළ අප ගුරු දේවයාණෝ ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයෙකි. ඒවායින් භාරතීය සංස්කෘත පඬිවරුන් පවා මවිත කරවන, බුද්ධභක්ති මඤ්ජරී, යතිදූතම්, මහාමහේන්ද්‍රක්ෂිණ ශ්‍රවාගමනම්, යසෝධරාචරිතම්, ධර්මචින්තා, වෛරාගාචින්තා, මාරංගනාවිජයම් වැනි කෘතීහු විශේෂ වෙති. අභිධජමහාරට්ඨගුරු අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියෝ පවා වෛරාග්‍යචින්තා කෘතිය අරභයා ප්‍රශස්ති විචාරයක් ලිවීමෙන් ද ග්‍රන්ථ රචනයෙහි ලා අප මහානාහිමියෝ සම්භාවනීය වූහ.

මෙසේ උපන් ජීවිතය තුළ උපරිමයෙන් තම රට, ජාතිය, ශාසනය වෙනුවෙන් පමණක් නොව තම ශිෂ්‍ය භික්ෂු පුත්‍රයන් වෙතද සියලු යුතුකම් ඉටුකළ මෙම සංඝ පීතෘන් වහන්සේ ලෝසසුන් වැඩ සලසනු වස් මතු මතු ද මහ සඟ පරපුරට සුවඳවත් පුෂ්පයක් ම වේවායි අපගේ ප්‍රාර්ථනාවයි.

අප ගුරු දේවයාණන්ගේ තෙමස් පූර්ණ පින්කම 2017 ජූලි මස 02 දින රාත්‍රී ගුණානුස්මරණ ධර්ම දේශනාවක් ද පසුදින දවල් සංඝගත දක්ෂිණාවක්ද උන්වහන්සේ දිගු කලක් වැඩ සිටි නුගේගොඩ දවුල්දෙණ ඤාණිස්සර හිමි මාවතේ පාගොඩ විද්‍යාවිජය ආරාමයේ දී පැවැත්වේ.


මාවතගම මාරාකඩ සුමනසිරි නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පොළොන්නරුව ප්‍රාදේශීය සංඝ සභාවේ අධිකරණ සංඝනායක (අනුවිජ්ජක ධුරන්දර) පලුගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ආරම්භක ලේඛකාධිකාරි , වත්මන් නියෝජ්‍ය සභාපති , නිට්ටඹුව දෙබහැර ශ්‍රී ජනනන්දනාරාම පුරාණ විහාරය, මීවිටිය බෝධියංගණාරාම විහාරය, නාමල්පුර විසුද්ධාරාම ටැම්පිට රජමහා විහාරය යන විහාරත්‍රයාධිපති මාවතගම මාරකඩ සුමනසිරි නාහිමියන් වහන්සේ පසුගිය ජුනි 05 වෙනි දින (80) අසූවිය සපුරන ලදී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෑඋඩ විල්ලි හත්පත්තුවේ අකාඩේ කෝරලේ මාරාකඩ මාරසිංහ පතිරත්නැහෙලාගේ උඩගෙදර උක්කුරාල සහ කුරුකැප්පිටියේ ගෙදර සලෙලු මැණිකේ යන මව්පිය දෙපළට අයත් පවුලේ දූ දරුවන් පස් දෙනාගෙන් පස්වන දරුවා වශයෙන් මව්පිය සෙනෙහස ලබමින් හැදී වැඩී අකුරු කරන වයසට පැමිණි කල වෑඋඩ ප්‍රාථමික පාසලේ අධ්‍යාපනය ලබමින් සිට දාහතර වියට පත්ව සිටි පේ‍්‍රමදාස දරුවා කුරුණෑගල බෞද්ධාලෝක මහා පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක දෙනගම ප්‍රඥාසාර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ කුරුණෑගල හේවාපොල ශී‍්‍ර සුදර්ශනාරාම විහාරය, මීපිටිය බෝධියංගනාරාම පුරාණ විහාරය, දෙබහැර ශ්‍රී ජනනන්දනාරාම පුරාණ විහාරය, යන විහාරත්‍රයාධිපතිව වැඩ විසු අපවත් වී වදාළ විචිත්‍ර ධර්ම කථික පරිත්තභාණක ධර්මාචාර්ය පැලපිටිගම විමලසිරි මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1951 අගෝස්තු මස 09 වෙනි දින හේවාපොල ශී‍්‍ර සුදර්ශනාරාම මාවතගම මාරාකඩ සුමනසිරි නමින් සසුන්ගත විය. 1951 සිට පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කරමින් 1953 දක්වා කුරුණෑගල විද්‍යාරක්ෂක පිරිවෙනේ අධ්‍යාපනය ලැබීය. පසුව උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේගේ ආචාර්ය වූ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය පැලපිටිගම මහින්දානන්ද හිමියන්ගේ ආධිපත්‍යය දැරූ වැඩසිටි කඩුගන්නාවේ ශ්‍රී නිවාස පිරිවෙනට වැඩම කොට 1959 දක්වා අධ්‍යාපනය ලැබීය. විසිවස් සම්පූර්ණ වු සාමණේර සුමනසිරි පොඩිහාමුදුරුවන් වහන්සේ 1958 දී (මාර්තු 16 වෙනි දින) වැල්ලව ජජ්ජර නදී උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා වූහ. උන්වහන්සේ 1961 පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනට ඇතුළත්ව වැඩිදුර පිරිවෙන් අධ්‍යාපනය ලබමින් සිටින අතර 1970 ගුරු හාමුදුරුවන්ගේ දැනුම් දීම අනුව විහාරස්ථාන කිහිපයකම සංවර්ධන කටයුතු සඳහා නැවත දෙඹහැර ජනනන්දනාරාම විහාරයට වැඩම කිරීමට සිදුවිය. එහිදී ගුරු හිමියන් සමඟ උන්වහන්සේට අයත් විහාරස්ථාන කිහිපයකම දියුණුව සඳහා ශාසනික මෙහෙවරක යෙදෙන්නට සිදුවිය. පේරාදෙණිය සාරානන්ද පිරිවෙනේ එවකට අධ්‍යාපන කටයුතුවල යෙදී සිටියදී හඳුනාගත් පොළොන්නරුව පැරකුම්බා මහා පිරිවෙන් විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ පොළොන්නරුව සංඝ සභාවේ දිසාපාලක පණ්ඩිත මාපේගම පියරතන හාමුදුරුවන් වහන්සේගේගේ ආරාධනාව පරිදි උන්වහන්සේ ගරු දේවයාණන් වහන්සේ වැඩ සිටි ගලෙන්බිඳුනුවැව මඩවල (නාමල්පුර) ටැම්පිට විහාරස්ථානය සංවර්ධනය කිරීම සහ පණ්ඩිත පියරතන හාමුදුරුවන්ගේ ආරාධනාව පිළිගෙන තම ගුරු හාමුදුරුවන්ගේ අවසරය ලබා 1991 නොවැම්බර් මස 21 දින එම විහාරස්ථානයට වැඩම කරන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාමල්පුර 598 තුලානේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක්ද ඉදිකරවා ඇත. 1995 දී ප්‍රදේශයට විදුලිය ද නාමල්පුර තැපැල් කන්තෝරුවට දුරකථන පහසුකම් ලබාදී ඇත.

එවකට සිටි උතුරු මැද මහා ඇමති ජී.ඩී. මහින්දසෝම මැතිතුමා අතින් අභිනව දෙමහල් විහාර මන්දිරයක් 1992 ආරම්භ කොට එහි සියලු කටයුතු 2000 වසරේ නිමා කර බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය සිදුකර ඇත.

එමෙන්ම නාහිමියන්ගේ අනුශාසනා පරිදි බෝධින්වහන්සේ වටා අටවිසි බුදු කුටිවලින් සමන්විත බෝධිඝරයක් සහ බෝධිය වටා වළාකුළු බැම්මක්ද ඉදිකර ඇත.

විහාරස්ථ පුද බිමට පිවිසෙන ප්‍රධාන දොරටුවේ ඉදිකර ඇති දර්ශනීය සාංචි තොරණ නාහිමිගේ අනුශාසනා පරිදි විහාරස්ථ එක්සත් තරුණ බෞද්ධ සමිතිය විසින් ඉදිකරවා ඇත.

සෑ රඳුන් වහන්සේ නාහිමියන්ගේ අනුශාසනා යටතේ විසුද්ධාරාම ටැම්පිට රාජමහා විහාරස්ථ මහ දායක සභාව විසින් 2006 වසරේ මුල්ගල තබා 2600 සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කිරීම් වස් ඉදිකර නිරාවරණය කර ඇත.

මෙම ස්ථානය විහාරස්ථානයක් සතු සියලු අංගෝපාංගයන්ගෙන් සම්පූර්ණ කොට මෙහි ඓතිහාසික වටිනාකම මතුවට ආරක්ෂා වන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාරදී පුරා විද්‍යා දෙපාරත්මේන්තුව සතු පුදබිමක් බවට පත්කර ඇත.

දැනට වසර දහයකට (10) පමණ ප්‍රථම ආරම්භ කරන ලද නාමල්පුර ප්‍රජාමූල ජල ව්‍යාපෘතියට නායකත්වය සහ අනුශාසකත්වය ලබාදෙමින් විහාරස්ථානය සතු ඉඩම් කැබලි ඒ ඒ දේවලට පරිත්‍යාග කොට ඒ සඳහා මහා පරිමාණයේ ලිං දෙකක් සෑදීමට ප්‍රථම පස්පිඩැල්ල කපා ජල ව්‍යාපෘතියට භාර දෙන ලදී. එමෙන්ම ඒ සඳහා ජල පොම්පාගාර දෙකක්ද ඉදිකර ගැනීමට ඉඩම් නිදහස් කර දෙන ලදී. දැනට ප්‍රදේශයේ ගම් හතරක පමණ සිටින ජනතාවට ඉතා පිරිසුදු පානීය ජලය ලබාගැනීම හා පින්කමට නාහිමි නායකත්වය ලබාදී ඇත.


කහවත්තේ සිරි සුබෝධි හිමි

අඹතැන්න, හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති සහ මාවතගම ඩෙනවර්වත්ත ශ්‍රී ධර්ම විජයාරාමාධිපති, උඩරට අමරපුර නිකායේ ශාසනජෝතික කාරක සංඝ සභික මධ්‍යම පළාත් උප ප්‍රධාන අධිකරණ සංඝ නායක, මාතලේ විද්‍යානන්ද පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත බටුගොඩ සංකිච්චායන නා හිමියන්ගේ ශිෂ්‍ය අලවතුගොඩ කොණකලගල ශ්‍රී සද්ධානන්ද මහ පිරිවෙනේ සහ අස්ගිරිය මහා විහාර පිරිවෙනේ මූලික හා ප්‍රාචීන අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටින කහවත්තේ සිරි සුබෝධි සාමණේර හිමියන් ජූනි 24 වෙනි දින මහනුවර ගැටඹේ වරාතැන්න මහවැලි නදී සිරිමහ බෝධි උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාශීලයෙහි පිහිටවනු ලැබීය.