Print this Article


බුද්ධිමත් බවේ සලකුණ

බුද්ධිමත් බවේ සලකුණ

" කාමය වනාහි සංසිඳුවාගත නොහැකි පිපාසයකි. වෛරය වනාහි නිවාගත නොහැකි ගින්නකි. ඊර්ෂ්‍යාව වනාහි සුව කළ නොහැකි රෝගයකි. මාන්නය වනාහී ඔසවා ගත් කොඩියකි. මුලාව වනාහී බිඳ ගත නොහැකි අඳුරකි."

මානව සමාජය වරින් වර විවිධ යුගයන්ට මුහුණ දෙයි. විවිධ වෙනස්වීම්වලට බඳුන් වෙයි. එමෙන්ම මිනිසා සතුව ඇති බුද්ධිමය සම්පත වන මනස මෙහෙයවීමේ හැකියාවද වරින් වර විපර්යාසයන්ට බඳුන් වෙයි.

වත්මන් මිනිසා භුක්ති විඳින බොහෝ පහසුකම් අතීත මිනිසාට නොතිබුණි. එකල ජීවත් වූ මිනිසාට මෙවැනි පරිසරයක් ගොඩනඟා ගත නොහැකි වූයේ නුවණ මදකම නිසාද? නැතහොත් යම් මිථ්‍යාවක වෙලී සිටි නිසාද? එසේ නැතිනම් ඔවුන් අතරේ විමංසන බුද්ධිය නො තිබුණ නිසාද? යන්න අප විමසිය යුතුව ඇත.

මින් සියවස් විසිපහකට පෙර තිබු ලෝකය ගෝලීයකරණයට හසු නො වී තිබු බව සැබෑය. වත්මන් තාක්ෂණික දියුණුව එදා නොතිබුණි. ගමන් පහසුව නොතිබුණි. මහා පර්වත, සුවිශාල වෘක්ෂ. නදී, කඳු වැටි ඔවුන් ගේ දෙවිවරු විය. හිරු සඳු රැස් විහිදුවන විට ඔවුන් දුටුවේ එය දේවානුභාවය ලෙසයි. වළාකුළු දෙවියන් විසින් මලු පුරවා අහසේ රැඳවූ දිය බඳුන් ලෙස සැලකූහ.

එකල මිනිසුන්ගේ ලෝකය ඉතා පුදුමාකාර විය. නා ලොව නාගයින් සමඟ,දෙව්ලොව දෙවියන් සමඟ ඔවුහු කතා බස් කළහ. පේ‍්‍රතයෝ ඔවුන් ඉදිරියේ පෙනී සිටියහ. පින් ඉල්ලුහ. දෙවිවරුන්ගෙන් උපදෙස් පැතූහ. නිරය ගැන අසා ඔවුහු බියෙන් සලිත වූහ. ඉපදෙන මැරෙන ජීවිතය ඔවුන්ට පුදුමාකාර ප්‍රහේලිකාවක් විය. වත්මන් මිනිසාට මෙය සිනහවට කරුණකි. වත්මන් මිනිසාගේ බුද්ධිමත් බව එතරම්ම පහත වැටී ඇත.

නූතන මිනිසා තමා කෙතරම් දියුණුයැයි පැවසුවද, එකල මිනිසාට සම විය නොහැකිය. ඒ යුගයේ මිනිසා තුළ එක්තරා සුවිශේෂි මනෝභාවයක් ඉස්මතු වී තිබුණි. එනම් සත්‍යය අවබෝධ කිරීමේ නොපසුබට ආශාවයි. මෙම ආශාව ඔවුන් තුළ පැන නැඟුණේ ජීවිතය හා ලෝකය පිළිබඳව ඔවුන්ගේ දැක්ම කිසියම් ප්‍රසාරණයකට ලක්වීම නිසාය. ඔවුහු සත්‍යාවබෝධය උදෙසාම කැපවී සිටියහ.

ඒ වගේම ඔවුහු මේ සිත පිළිබඳව විස්මයට පත්ව සිටියහ. ජීවිතය හා මරණය විසඳා ගත නොහැකි ප්‍රහේලිකාවක් විය. මනුෂ්‍යයා මෙන් ම අන් සත්ත්වයා ද යම්කිසි දුක්ඛදායක ගමනක පැටලී සිටින බව ඔවුහු දුටුවහ. සැප, දුක අබියස දෝලනය වන ජීවිතය මෙහෙය වන නොපෙනෙන ශක්තිය කුමක්දැයි ඔවුහු විමසන්නට වූහ. සිත දමනය කිරීමත්, බවුන් වැඩීමත්, සමාධිය උපදවා ගැනීමත්, ඔවුන්ට ආනන්දයක් පී‍්‍රතියක් විය. ඒ වනාහි සත්‍යය අවබෝධ කිරීමේ යුගයයි. මානව වංශ කතාවේ මෙතෙක් සනිටුහන් වූ ස්වර්ණමය යුගය එයයි. මේ යුගයෙන් ඒ යුගය වෙනස් වන්නේ ඔවුන් ලබාගත් සත්‍යාවබෝධය නිසා නොවේද?

මේ යුගයේ මිනිසාට කාමය වනාහි සංසිඳුවාගත නොහැකි පිපාසයකි. වෛරය වනාහි නිවාගත නොහැකි ගින්නකි. ඊර්ෂ්‍යාව වනාහි සුව කළ නොහැකි රෝගයකි. මාන්නය වනාහී ඔසවා ගත් කොඩියකි. මුලාව වනාහී බිඳ ගත නොහැකි අඳුරකි. එකල සමහර මිනිසුන් තුළ අතරින් පතර මෙම දුබලතා දකින්නට ලැබුණද, සත්‍යාවබෝධ කිරීමෙහිලා ඔවුන් දැක්වූ විස්මිත කුසලතාවය අදහාගත නොහැකි තරම්ය.

”බුද්ධ” නම් වූ ඒ අසිරිමත් මනුෂ්‍යයා පිළිබඳව සත්‍යයේ සංදේශය දඹදිව තලය පුරා පැතිර ගියේ මෙවන් පුණ්‍යවන්තයින්ගේ යුගයකය. උන්වහන්සේ අමුතුම සිතක් ඇති උතුමෙකි. එම සිත ලොව කිසිදු උපකරණයකින් මැනිය නොහැකිය. එම සිතෙහි රාගය නැත. කාමාශාව නැත. රස තෘෂ්ණාව නැත. ද්වේශය නැත. පළිගැනීම නැත,වෛරය නැත. භය නැත, තැති ගැනීම, සැක සංකා නැත. ලොව කිසිදු විෂයක කිසිදු අධ්‍යාපනික ආයතනයක, කිසිදු සමාජ ස්ථරයක සාකච්ඡාවට බඳුන් නොවූ ඉතා අපූර්ව වූ පරිපූර්ණ වූ ලෝක දර්ශනයක් උන්වහන්සේ සතුව තිබිණි. උන්වහන්සේ ගේ දෛනික ජීවිතය දේශනා ක්‍රම, සමාජ සන්නිවේදනය, සදාචාරාත්මක විවරණය හා ප්‍රායෝගික ජීවිතය හැසිරවීම ඉතා අසිරිමත් විය.

සත්‍යවබෝධය නම් වූ සුවිශේෂි අරමුණට වශීකෘත වූ ජනතාව මේ බුද්ධ නම් වූ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයේ වාග් චාතුර්යයට, තර්ක ප්‍රතිහානියට, විස්මිත දේශනා විලාශයට හා පවිත්‍ර ජීවිතයට අදහා ගත නොහැකි විස්මයකින් ළං වී සිටියහ.

එකල සිටි මනුෂ්‍යයට බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්ය යටතේ සත්‍යාවබෝධ කිරීමේ වාසනාව උදාවූයේ ඒ මිනිසුන් සතුව තිබුණු කිසියම් විශේෂතා නිසා නොවේද? ඔවුහු සිහිනුවණ දියුණු කර ගැනීම සිත, කය, වචනය සදාචාරාත්මක පදනමක් තුළ හසුරුවා ගැනීම, ඉන්ද්‍රිය දමනය, පාපී මනෝභාවයන් බැහැර කිරීමේ වීර්යය, චිත්ත සමාධිය, ධ්‍යාන ඇතිකර ගැනීම ආදිය සඳහා නො පසුබටව කි‍්‍රයා කරන්නට සමත් වූහ. එනිසා ඔවුහු ක්‍රම ක්‍රමයෙන් සත්‍යාවබෝධ කරා පිය නැඟූහ. ජීවිතය හා මරණය පිළිබඳව රැව් දුන් සියලු සැක සංකා මතිමතාන්තර ප්‍රහේලිකා සදහට ම විසඳා ගත්හ. සතුට සොම්නස පිරී නිකෙලෙස් මනසක ඇති වීතරාගි සුන්දරත්වය අත්විඳ ගන්නට ඔවුහු සමත් වූහ.

බාහිර උපකරණ වලින් තොරව ඔවුහු අහසේ ගමන් කළාහු. දෙව්ලොව, බඹලොව චාරිකාවේ වැඩියාහුය. සත්‍යාවබෝධය පිළිබඳව සුන්දර සංදේශය දෙව්ලොවට ද රැගෙන ගියහ. ඔවුන් ගේ ගමන්වලට බාධා කරන්නට හිමාල පර්වතයට හෝ ගංගා නදියට හෝ රැළි විසුරුවන මහ සයුරට හෝ නොහැකි විය. පෙනෙන නො පෙනෙන සියලු දෙය ඔවුහු ජය ගත්හ. ඔවුන් ඒ ජයග්‍රහණය ලබන ලද්දේ අවි බලයෙන් නොවේ. යටත්විජිත වාදයෙන්ද නොවේ. එකපිට එක එන සන්නිවේදන තරගකාරීත්වයෙන්ද නොවේ. භාෂා විපරිණාමයකින්ද නොවේ. එකම එක් සුවිශේෂි පුද්ගලයෙකුගේ අතිශයින්ම නිවැරැදි වූ මාර්ගෝපදේශකත්වයේ මහිමය නිසාය. එනම් මෙතෙක් ලොව පහළ වූ ආශ්චර්යවත් ම මනුෂ්‍ය රත්නය වන භාග්‍යවත් බුදුරජාණාන් වහන්සේ නිසාමය.

ඒ යුගයේ මිනිසුන් ලබාගත් ඒ විස්මිත කුසලතා සපිරි ඤාණය අද මනුෂ්‍යයාට ලබා ගත නො හැක්කේ මන්ද? ඔවුන් තුළ මුල්බැස අතුරිකිලි ලියලා පිළිලයක් ලෙස වැඩී ඇති අහංකාර බවත්, දුස්සීලකමත්, දෙබිඩි පිළිවෙතත්, පුහු මාන්නයත්, ආත්ම වංචාවත්, අනුකම්පා විරහිත ගැරහීමත්, ජාති, කුල භේදයත් නිසා නොවේද? නිහතමානි බුද්ධිමත් මනුෂ්‍යයාට ඉතා සුළුවෙන් හෝ වේවා අධ්‍යාත්මික වටිනාකමක් ලබා ගැනීමට නම් ලෝ සතුන් ගේ සත්‍යාවබෝධය උදෙසා ලොව පහළ වූ එකම ශාස්තෘන් වහන්සේ වන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම් තුළ සිත පහදවා ගෙන ඉගෙනගත යුතු වෙයි. එවිට ජලප්‍රසාද මාණික්‍යය බොර දියක දැමූ කල්හි ඒ දිය මැනවින් පැහැදී යන්නා සේ ඒ බුද්ධිමත් මනුෂ්‍යයා ගේ සිතද අතිශයින්ම පැහැදී යනු ඇත. එවිට ඒ සිත නිකෙලෙස් මාර්ගයේ ගමන් කරනු ඒකාන්තය.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් කෙනෙකු ගේ සිත එසේ පහදින්නේ නම් එය වනාහි මෙකල ජීවත් වන මනුෂ්‍යයන්ගේ බුද්ධිමත් බවේ සලකුණ වෙයි.